සුදුසුකම් ලැබූ රැකියා විරහිත උපාධිධාරින්ට රැකියා ලැබෙයිද?

“උපාධිය ලබා වසරකට වැඩි කාලයක් රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩ සටහන – 2020” යනුවෙන් 2020.02.07 වන සිකුරාදා පුවත්පත් දැන්වීම් සහ www.presidentsoffice.gov.lk වෙබ් අඩවියේ දක්වන ලද මූලික සුදුසුකම් සම්පූර්ණ කරන ලද උපාධිධාරීන් හට පත්වීම් ලිපි එවීම හා www.pubad.gov.lk  වෙබ් අඩවියේ නම් ප්‍රසිද්ධ කිරීම පසුගිය දිනවල සිදු කරන්නට විය.

එම ලිපි පෙබරවාරි 27 දින සිට speed post (අභ්‍යන්තර සේවය) හරහා  ජනාධිපති ලේකම් කාර්යාලය මගින් උපාධිධාරීන් වෙත ලැබෙන්නට සලස්වන්න විය. නමුත් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා සිදුකළ එම කර්තව්‍යය නිසි අයුරින් සිදු නොකිරීම හේතුවෙන් මේ වනවිට පත්වීම්  ලිපිය හෝ වෙබ් අඩවියේ නම් සඳහන් නොවූ උපාධිධාරීන් පිරිසක් විශාල  අසාධාරණයකට ලක්ව ඇත.

එහිදී මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මැතිවරණ කොමසාරිස්තුමා විසින් එම පත්වීම් ලිපි තාවකාලිකව අත්හිටුවන්නට වූ නිසා පත්වීම් ලිපි නොලැබූ අප හට මැතිවරණයෙන් පසු ලිපි ලබා දෙන බව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පවසන්නට විය.

නමුත් වර්තමානයේ රටේ පවතින තත්ත්වය හේතුවෙන් මැතිවරණය කල් දමන ලදී. උපාධිධාරී අභ්‍යාසලාභීන් ගේ පුහුණුව ද ස්වදේශ කටයුතු අමාත්‍යංශය වෙත පවරා ඇත. එහි ලේකම් වරයා විසින් විවිධ චක්‍රලේඛන නිකුත් කොට පත්වීම් ලිපි ලද වෙබ් අඩවියේ නම සදහන් වූ උපාධිධාරීන් හට පමණක් විවිධ පියවරයන් ගනිමින් සිටී.

ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය හරහා සිදුකළ මෙම පත්වීම් ලිපි බෙදා දීම ඉතාමත් අක්‍රමවත්  එකක් විය. ලිපි  එවීමේ සිට වෙබ් අඩවියේ නම් ප්‍රසිද්ධ කිරීම දක්වා ඔවුන්ගේ කාර්යය ඉතාමත් අවිධිමත් එකක් විය. ඒ හේතුවෙන් මේ වන විට පහත අයුරින් උපාධිධාරී කොටස් හතරක් හඳුනාගත හැකි වෙයි.

  1. පත්වීම් ලිපිය ලද හා වෙබ් අඩවියේ නම සදහන් උපාධිධාරීන්
  2. පත්වීම් ලිපි ලද නමුත් වෙබ් අඩවියේ නම් සදහන් නොමැති උපාධිධාරීන්
  3. පත්වීම් නොලැබූ නමුත් වෙබ් අඩවියේ නම සදහන් වන උපාධිධාරීන් සහ
  4. පත්වීම් ලිපිය නොලැබූ සහ වෙබ් අඩවියේ ද නම සඳහන් නොවූ   උපාධිධාරීන් ලෙස‚

කණ්ඩායම්  හතරක් හඳුනාගත හැකිවිය. ඉහත දැක්වූ 1‚ 2‚ සහ 3 යන කණ්ඩායම් සඳහා කල යුත්ත පිළිබඳව අමාත්‍යාංශය මගින් අදාළ නිලධාරීන් වෙත ලිඛිතව මේ  වෙන විට කරුණු දක්වා ඇත. (ස්වදේශ කටයුතු චක්‍රලේඛ 12/2020(1)  )

නමුත් 4 කණ්ඩායම වන‚ පත්වීම් ලිපිය නොලැබූ  සහ වෙබ් අඩවියේ ද නම සඳහන් නොවූ  උපාධිධාරීන්  පිළිබඳව එම ලේඛන වල කිසිවක් අන්තර්ගත වී නොමැත. නිකුත් කළ චක්‍රලේඛනයට අනුව සියලුම සුදුසුකම් සම්පූර්ණ කොට ඇති අප නියමිත දිනට අයදුම්පත්ද යවන ලදී. එහෙත් කුමන හෝ හේතුවක් මත ජනාධිපති ලේකම් කාර්යාලය හරහා සිදුකළ එම පත්වීම් ලිපි බෙදා හැරීමේදී අප හට විශාල අසාධාරණයක් සිදුවී ඇත.

ඔවුන්ගේ මෙම අවිධිමත් භාවය නිසා පත්වීම් ලිපිය නොලැබුණු වෙබ් අඩවියේ නම සඳහන් නොවූ අප විශාල අපහසුතාවයකට පත්ව ඇත. නමුත් මේ  වෙනුවෙන් කිසිදු වැඩ වැඩපිළිවෙලක් මේ වෙන තෙක් කිසිම වගකිවයුතු බලධාරියෙක් ප්‍රකාශයට පත් කොට නොමැත. සියලු සුදුසුකම් සම්පූර්ණ කොට ඇති අප පමණක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සිදුවූ අතපසුවීම් වලට පීඩාවට පත්වී ඇත.  ඔවුන් පවසන්නේ පත්වීම් ලිපි මැතිවරණ සමය නිසා ලබාදිය නොහැකි බවයි.

නමුත්  වර්තමානයේ රටේ පවතින තත්ත්වය නිසා මැතිවරණය පසුවට කල් ගොස් ඇති බැවින් ලිපි නොලද අප හට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සුදුසුකම් පරීක්ෂා කොට පත්වීම් ලිපි නිකුත් කිරීමට හැකි විගස අවස්ථාවක් සලසා දෙන මෙන් කාරුණිකව අදාළ බලධාරීන්ගෙන් මෙසේ ඉල්ලා  සිටිමු.

ලිපි නොලද DO අපේක්ෂක උපාධිධාරීන්

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435