සේවකයන් 59දෙනා යළිත් ගැනීමට දුන් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

06 February 2014 – wedabima.lk

 

වැලිවේරිය අවට පෙදෙස්වල භූගත ජලය අපවිත්‍ර කිරීමේ ආන්දොලනාත්මක සිද්ධියට නම ගෑවී ඇති ඇන්සල් ලංකා පෞද්ගලික සමාගමේ සේවයෙන් ඉවත් කරනු ලැබූ සේවකයන් 59 දෙනා නැවැත සේවයට බඳවා ගැනීමට ගම්පහ අභියාචනා මහාධිකරණය කළ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙබරවාරි 6 වැනි දින දක්වා අත්හිටුවනු ලැබීය. අගවිනිසුරු මොහාන් පීරිස්, චන්ද්‍රා ඒකනායක, රෝහිණි මාරසිංහ යන විනිසුරු මඬුල්ල එලෙස අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කළේ ඇන්සල් ලංකා සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ අභියාචනය සලකා බැලීමෙන් පසුවය.

 

පෙබරවාරි 5 වැනි දින අද යළිත් මේ අභියාචනය අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය. ඇන්සල් ලංකා සමාගමේ අභියාචනා පෙත්සමේ සඳහන් වන අන්දමට එම සමාගම සෘජුවම ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන ගෙනෙන සමාගමකි. ආයෝජන මණ්ඩලය අනුමත කළ ආයතනයකි.

 

ලොව ප්‍රකට මෙම සමාගම අත්වැසුම් නිෂ්පාදනය කරන අතර ඊට රසායනික මිශ්‍ර කෙරෙන අතර ඒවා පිටතට කාන්දු වුවහොත් ඉතා භයානක අනතුරක් සිදුවීමට ඉඩ තිබේ.
වැඩ වර්ජනය කළ සේවකයන්ගේ ඉල්ලීම් නොදුන් හොත් විස සහිත රසායනික ද්‍රව්‍ය අඩංගු ටැංකි පුපුරුවා හැරීමට තර්ජනය කළේය. එම අවස්ථාවේදී එය නතර කෙරුණේ පොලිසියේ මැදිහත් වීමෙනි.

 

වසර 2013 ඔක්තෝබර් මාසයේදී 1994 හටගත් සිද්ධිය යළිත් ඇති කෙරිණි. එම අවස්ථාවේදීත් සේවකයන්ගේ ඉල්ලීම් නොදෙන්නේ නම් විස රසායනික ද්‍රව්‍ය ටැංකි පුපුරුවා හැරීමට තර්ජනය කළ බව සමාගම ගොනු කළ අභියාචනා පෙත්සමේ සඳහන් වේ.
මේ සිද්ධියට සම්බන්ධ සේවකයන් ගම්පහ අභියාචනා මහාධිකරණයට ගොස් ඔවුන්ගේ සේවය අත්හිටුවීමට සමාගම ගත් තීරණයට එරෙහිව නියෝග ලබා ගෙන ඇති අතර එම නියෝග අත්හිටුවන ලෙස සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

 

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාධිකරණයේ තීන්දුව තාවකාලිකව අත්හිටු වූ අතර පෙබරවාරි 6 වැනි දින යළිත් විභාග කිරීම ඇරැඹේ. සුදත් පෙරේරා නීතිඥ සමාගමේ උපදෙස් මත එල්. පෙරේරා, මනෝජ් බණ්ඩාර, කුසාන් ද අල්විස් සහ නයිජෙල් හැච් ජනාධිපති නීතිඥවරු සමාගම වෙනුවෙන් පෙනී සිටියහ. නීතිඥ ෆාර්මන් කරිම් මහතා සේවකයන් වෙනුවෙන් පෙනී සිටියේය.

 

මුලාශ්‍රය – mawbima.lk

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435