සේවක අර්ථසාධක අරමුදල් අවභාවිතය පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන්න

වෝහාරික විගණන වාර්තා වලින් හෙළදරව් වන සේවක අර්ථසාධක අරමුදල් අවභාවිතයට හවුල් වූ සියල්ලන්ට එරෙහිව අධිකරණ කි‍්‍රයාවලියක් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස විගණකාධිපති වෙත ලිපියක් යොමු කරමින් නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය ඉල්ලා සිටී.

එම නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ,

මහ බැංකුව විසින් 2002 ජනවාරි සිට 2015 පෙබරවාරි දක්වා බැඳුම්කර හා සේවක අර්ථසාධක අරමුදල පිළිබඳව සිදුකරවන ලද ඔබ සතුව පිටපත් ඇති ඇමුණුම් සහිත වෙළුම් 05 කින් යුත් වෝහාරික විගණන වාර්තා පිටපත් පසුගිය ජනවාරි 22 වන දින පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට නිල වශයෙන් ලබා දුනි.

එම වාර්තාවන්හි සඳහන් කරුණු හා දත්ත පිළිබඳව අනතුරුව ප‍්‍රධාන මාධ්‍යයන්හි කෙරුණු හෙළිදරව් වලට අනුව, සේවක අර්ථසාධක අරමුදල යොදා ගනිමින් සිදුකර ඇති අයථා ගනුදෙනු හේතුවෙන් පෞද්ගලික අංශයේ සේවකයින්ට සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 8.7 කි. ‘‘ගණුදෙනු 346 කින් 94 ක් සඳහා මහජන ණය දෙපාර්තමේන්තුවෙන් (Public Debt Department – CB)  ඉදිරිපත් කළ ලාභ රේට්ටුව වෙළඳපල (Secondary market) ලාභ රේට්ටු වලට වඩා අඩු විය.’’ යනුවෙන් වෝහාරික විගණන වාර්තාවේ උපුටනයක්, මාධ්‍යන්හි පලකර තිබිණ.

එවැනි ගණුදෙනු සඳහා මහජන ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද හවුල්ව ඇති බව එම වෝහාරික විගණන වාර්තා වලින් හෙළිවන්නේ යැයිද මාධ්‍ය වාර්තා තිබිණ.

අවසාන වරට මහ බැංකුව විසින් සේවක අර්ථසාධක අරමුදලේ වාර්ෂික වාර්තාව ප‍්‍රසිද්ධකර ඇත්තේ 2016 වසර සඳහා ය. එහි දත්ත වලට අනුව සේවක අර්ථසාධක අරමුදලේ හිමිකාරිත්වය 2016 දී සේවක සේවිකාවන් මිලියන 17.3 ක් සතු විය. ඉන් මිලියන 2.6 ක් එහි සකී‍්‍රය සාමාජිකයින් වූහ. එවැනි පසුබික ඔවුන්ට ලැබිය යුතුව තිබූ ලාභ මුදලින් රුපියල් බිලියන 8.7 ක් අහිමිව ඇත්තේ සමාගම් 19 ක් සමග මහජන ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේද හවුලක් ඇතිව යැයි අපි විශ්වාස කරමු.

එය මහා මූල්‍ය අපරාධයක් බැව් ඔබද පිළිගන්නවා නිසැකය. එබැවින් ඔබ සතුව ඇති වෝහාරික වාර්තා මගින් සේවක අර්ථසාධක අරමුදල් අයථා ලෙස යොදා ගනිමින් එම මුදල් අවභාවිත කළේ යැයි සනාථ කෙරෙන සමාගම් හා මහ බැංකුවේ නිලධාරීන්ට එරෙහිව නොපමාව අධිකරණ කි‍්‍රයාවලියක් ආරම්භ කිරීම සඳහා පියවර ගන්නා මෙන් අපි මෙයින් ඉල්ලමු. ඒ සඳහා රාජකාරීමය වගකීමක් ඔබට ඇති අතර, සේවක සේවිකාවන් මිලියන 2.6 ක් වෙනුවෙන් සමාජීය වශයෙන්ද ඔබට වගකීමක් ඇතැයි අපි විශ්වාස කරමු. එබැවින් සේවක අර්ථසාධක අරමුදල් අවභාවිතයට හවුල් වූ සියල්ලන්ට එරෙහිව අධිකරණ කි‍්‍රයාවලියක් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසත් එසේ ගන්නා පියවර අපවෙත නොපමාව දන්වන ලෙසත් පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් නියෝජනය කරන සහ ජාතික කම්කරු උපදේශක සභාවෙහි සාමාජික වෘත්තීය සමිතියක් ලෙස මෙයින් අපි නැවත අවධාරණය කරමු.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435