සේවක අර්ථසාධක අරමුදල ගැන අවධියෙන් සිටිමු

පසුගිය මාස දෙක තුල ශ්‍රී ලංකාවේ උද්ගත වූ දේශපාලන අස්ථාවරත්ව නිසා ආර්ථික මට්ටම හා සමාජය කඩා වැටෙමින් පැවැතිමින් තිබුණි. එම තත්ත්වය තුළ තම සේවා ස්ථානයේ කටයුතු කරන ආකාරය පිළිබඳ “වැඩබිම” විසින් කිහිපවරක් දැනුවත් කිරීමට කටයුතු කරන ලදි.

මෙම තත්ත්වයත් සමගම ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ඉතා දරුණු අවදානමකට පත්ව ඇති බව ණය ශ්‍රේණිගත කිරීමේ ප්‍රධාන ආයතන තුන වන, මූඩි ආයතනය, පිච්රේටින් ආයතනය හා ස්ටුන්ඩඩ් ඇන්ඩ් පුවර් සමාගම යන සමාගම් තුන ශ්‍රී ලංකාව සමප්‍රේක්ෂණ රේඛාවෙන් පහලට දමා ඇත. එය තීරණය කරණු ලබන්නේ, රටේ විදේශ ණය ගෙවීමට ඇති නොහැකියාව හා ආණ්ඩු කිරීමට ඇති නොහැකියාවයි. (ස්ථාවර ආණ්ඩුවක් පවත්වාගෙන යාමට ඇති නොහැකියාව) ශ්‍රී ලංකාවට ඉදිරි 2019 – 2022 දක්වා ඉතාම දූෂ්කරම කාල පරිඡේදය වනුයේ මෙම වසර කිහිපය තුළ විදේශ ණය ගෙවීමට ඇති නිසාය. එය නිවැරිදි ලෙස කළමණාකරණය කිරීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකාව ග්‍රීසිය කඩාවැටීමටත් වඩා අන්ත තත්ත්වයට පත්වෙමින් පැවැති බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය විය.

මෙම දේශපාලන අර්බුදය මත 2019 වර්ෂය සඳහා අයවැයක් හෝ අතුරු සම්මත ගිනුමක් ඉදිරිපත් කිරීම සඳහා ස්ථාවර රජයක් බිහිකිරීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටියහ.

මේ වන විට ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ශ්‍රී ලංකාවට ණය හා ආධාර (ආපසු නොගෙවන ආධාර) ලබාදෙන රටවල් සියල්ල නවතා දමා තිබුණි. මේ වන විට මෙම තත්ත්වය යම් දුරකට නිරාකරණය වෙමින් පවතී.

මේ වන විට සිය දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් ආරම්භ කළ අරගලය තවදුරටත් දිග්ගැසමින් පවතී. කම්කරුවන් වැඩිදුරටත් කියා සිටින්නේ සිය ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් ලබා දෙන තෙක් මෙම අරගලය අත්නොහරින බවයි.  ඉදිරියේදී වතු හිමියන් පවසන්නේ දිගින් දිගටම මෙම වැටුප් අරගලය මත වැඩ වර්ජනය හා උද්ඝෝෂණ හමුවේ ඉදිරියේදී තේ කර්මාන්තය කඩා වැටීමේ අනතුරකට වැටී ඇති බවයි. තමන් වෙත ලැබී ඇති තේ අපනයනය අඛණ්ඩව පවත්වා ගැනීමට නොහැකි වුවහොත් මෙම තත්ත්වය ඇතිවීම වැළැක්විය නොහැකි බවද වතු පාලනාධිකාරිය පවසයි.

2019 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ නියුක්ත සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් හා අනෙකුත් ක්ෂේතත්‍රයට සම්බන්ධ අය තම ශ්‍රමය, ධනය වැය කරමින් ලෝකය පුරා ඇවිදිමින් සංචාරකයින් මෙරටට ගෙන්වා ගනිමින් හා ඔවුන්ට සේවා සපයමින් ගත් මහත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රථම වරට 2019 වර්ෂයේ ලෝකයේ හොඳම සංචාරක රට වශයෙන් ශ්‍රී ලංකාව පත්විය. එයට ප්‍රධාන හේතුව වූයේ රටේ පැවැති දේශපාලන ස්ථාවරත්වයය. මෙම සංචාරක ව්‍යාපාරය තුලින් උපයාගන්නා විදේශ විනිමය ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයකට පත්වෙමින් පැවැති අතර, එම තත්ත්වය තුළ ලංකාව තුල හෝටල් ඉදිවෙමින්, සංචාරක ආයතන බිහිවෙමින්, ක්ෂේත්‍රයට අදාළ සේවකයින් පුහුණු කිරීමේ ආයතන ඉදිවෙමින් වූ පැවැති අතර, එය විශාල පිරිසකට රැකියා අවස්ථා උදාකරන තත්ත්වයක් උදාවෙමින් පැවැතිණි.

කෙසේ වෙතත් මේ වන විට දේශපාලන මේ තත්ත්වය යම් තරමකට සමනය වෙමින් පවතින අතර විදේශ් ණය ගෙවීම සඳහා රාජ්‍ය බැංකු මගින් ණය ගැනීම ආරම්භ කරන බව වත්මන් රජය ප්‍රකාශ කර ඇත. මෙම වසර තුල ඩොලර් බිලියන් 5කට වැඩි ප්‍රමාණය විදේශ ණය ගෙවීමට ශ්‍රී ලංකා රජයට සිදුව ඇත.

මේ තත්ත්වය තුළ සේවක අර්ථ සාධක අරමුදල (EPF)  පිළිබඳ දැඩි අවධානයකින් පසුවිය යුතු කාලයකට එළෙඹ ඇත. එය දකුණ අසියාවේ රාජයක් සතු විශාලතම සමාජ ආරක්‍ෂණ අරමුදල වේ.  විශේෂයෙන් යම් පුද්ගලයෙන් තම රැකියාවට විශ්‍රාම වැටුපක්‌ නොලැබෙන්නේ නම්,  එම පුද්ගලයාගේ විශ්‍රාම දිවිය සුරක්ෂිත කිරීමේ අරමුනින් මෙම අරමුදල ගොඩනගා ඇත.

මීට පෙරද සේවක අර්ථසාධක අරමුදල දේශපාලකයන්ගේ පටු අරමුණු සඳහා විවිධ ආයෝජනයන් සඳහා කටයුතු කරන ලදි. එයද අසාර්ථක ආයෝජනයන් වූ අතර, දේශපාලකයන්ගේ මඩි තරගැනීමටද ඉවහල් විය.

ඉදිරියේදී සේවක අර්ථ සාධක අරමුදලට අත්විය හැකි ඉරණම සම්බන්ධයෙන් ආර්ථික විද්‍යා විශ්ලේශකයන් හා වෘත්තීය සමිති නායකයින් ඇතුළු මේ සම්බන්ධයෙන් කටයුතු කරන දැනටමත් අනතුරු අඟවා ඇත. එයට හේතුව වි ඇත්තේ ඉදිරියේ ඇති වන මූල්‍ය අර්බුදයට විසඳුමක් ලෙස මෙම අරමුදල ඇපයට තබා විශාල පොලියක් මත විදේශයන්ගෙන් ණය ගැනීම හෝ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා මෙම අරමුදල් ලබාදීමට කටයුතු කිරීමට සැලසුම් කිරීමට ඇති හැකියාවයි.

(සේවක අර්ථසාධක අරමුදල, වාර්ෂික වාර්තාවේ පෙරවදන)

“ශ‍්‍රී ලංකාවේ විශාලතම විශ‍්‍රාම පාරිතෝෂික අරමුදල වන රුපියල් ටි‍්‍රලියන 1.8 ක් ඉක්මවූ වත්කමක් පාලනය කරනු ලබන සේවක අර්ථසාධක අරමුදල, එහි වත්කම් පදනම 2016 වසරේ දී ද අඛණ්ඩ වර්ධනය තවදුරටත් පවත්වා ගන්නා ලදී. එසේම අරමුදල සිය සාමාජිකයන්ට සපයන සේවාවන් හි ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සහ සාමාජිකයන්ට සාධාරණ ප‍්‍රතිලාභයක් ලබා දීමට මෙන්ම අරමුදලේ සුරක්ෂිතභාවය තහවුරු කරගැනීමට සමත් විය. ඒ අනුව, අරමුදලේ ශුද්ධ වටිනාකම 2015 වසර අග වාර්තා වූ රුපියල් බිලියන 1,664.9 ට සාපේක්ෂව 2016 වසර අගදී රුපියල් බිලියන 1,841.5 ක් දක්වා සියයට 10.6 කින් වර්ධනය විය. වර්ෂය තුළදී, සේවක අර්ථසාධක අරමුදල එහි සුරක්ෂිතභාවය සහ වර්ධනය පවත්වා ගනිමින් එහි සාමාජිකයන්ට ඵලදායී සේවාවන් රැසක් සමග ඉහළම විශ‍්‍රාම ප‍්‍රතිලාභ සපයන ලදී.

සේවක අර්ථසාධක අරමුදල, අරමුදල් කළමනාකරණ කාර්යයන් සාර්ථක ලෙස මෙහෙයවමින් මෙතෙක් වාර්තා වූ වැඩිම ආයෝජන ආදායම් වාර්තාව වන රුපියල් බිලියන 193 ක ආදායමක් උපයා ගැනීමට 2016 වසරේදී සමත් විය. ඒ අනුව, අරමුදලේ මුළු ආයෝජන වටිනාකම රුපියල් බිලියන 1,772 ක් දක්වා

ළඟා විය. එසේම කොටස් වෙළෙඳපළේ ඇති වූ අයහපත් වාතාවරණය සහ වෙළඳපළ පොලී අනුපාතවල පැවති ඉහළ උච්ඡාවචනය යටතේ වුවද සේවක අර්ථසාධක අරමුදලට සිය සාමාජිකයන් හට සියයට 10.5 ක ආකර්ෂධෑය ප‍්‍රතිලාභ අනුපාතයක් ලබා දීමට හැකියාව ලැබී ඇත.

(සේවක අර්ථසාධක අරමුදල, වාර්ෂික වාර්තාව, 2016)

මෙම තත්ත්වය අනුව දැනට ශ්‍රී ලංකාවේ විශාලතම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදල රජයේ ආයෝජන සඳහා නැවත වරක් ලබාගැනීමට ඉඩ ඇත. මේ පිළිබඳව අපගේ යුතුකම වන්නේ අපගේ උරුමය හා අයිතිය වන මෙම අරමුදල රැකගැනීම සඳහා අවදියෙන් සිටීම පමණි. එය රැකගැනීමට එක්සත්ව සටන් කිරීම හැර වෙනත් මගක් අපට නැත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435