සේවක අර්ථසාධක අරමුදල සේවකයන්ට වැදගත් වන අයුරු

හෝටල් සේවක අත්වැල 10
සේවක අර්ථසාධක අරමුදල පරිපාලනය වන්නේ කෙසේද?

මෙම අරමුදල කම්කරු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහ බැංකුව එක්ව හවුලේ පරිපාලනය කරනු ලබයි. අරමුදලේ සාමාජිකයන්ගේ පෞද්ගලික වාර්තා පවත්වාගෙන යෑම, සේවායෝජකයින් ලියාපදිංචි කිරීම සාමාජිකයින්ගේ ඉල්ලීම් පිළිබඳව කටයුතු කිරීම සහ 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත බලාත්මක කිරීම කම්කරු දෙපාර්තමේන්තුව විසින් සිදු කෙරේ. දායක මුදල් එකතු කිරීම ගිණුම් පවත්වාගෙන යෑම සහ කම්කරු දෙපාර්තමේන්තුව නිර්දේශ කරනු ලබන සාමාජිකයන්ට ප්රතිලාභ ගෙවීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කෙරේ.

සේවක අර්ථසාධක අරමුදල සඳහා සේවකයින් හා සේවායෝජකයින් සිය මාසික වැටුපෙන් දායක විය යුතු ප්‍රතිශතයන් කවරේද?

මෙහිදී අදාල ප්‍රතිශතයන් ගණනය කෙරනුයේ සේවකයාගේ මුළු ඉපයීම් වලට සාපේක්ෂවය. ඒ අනුව එකී මුළු ඉපයීම් වලින් සේවායෝජකයා විසින් 12% ක ද සේවකයා විසින් 8% ක් ද මෙම අරමුදලට දායක විය යුතුය.

මෙකී දායක වීම ගණනය කිරීමට යොදා ගැනෙන සේවකයෙකුගේ මුළු ඉපයීමට අන්තර්ගත වන්නේ කුමක්ද?

මූලික වැටුප, වේතනය, ජීවනාධාර මුදල්, විශේෂ ජීවනාධාර මුදල් හෝ ඒ හා සමාන දීමනාවත් නිවාඩු දිනවල වැඩ කළහොත් ලැබෙන දීමනාවත්, කෑම සඳහා කම්කරු කොමසාරිස්ගේ අනුමැතිය ඇතිව ගෙවන මුදල කෑම සඳහා වන දීමනාවන්.

කෙසේ නමුත් අතිකාල ගෙවීම්, ගෙවල් කුලී දීමනා, ප්‍රවාහනය සඳහා වැය වූ මුදල් ආපසු ලබා දීම්, ප්‍රසාද දීමනා, සේවා දීමනා යන ගෙවීම්වල එකතුව සේවක අර්ථසාධක අරමුදල සඳහා වන මුළු ඉපයීම් වලට අන්තර්ගත නොවේ.

හෝටල් සේවකයින්ට සේවක අර්ථසාධක අරමුදල් නීතිය අදාළ වේද?

සියලූම සේවකයින්ට සේවක අර්ථසාධක අරමුදල බලපැවැත්වෙන අතර එක් සේවකයෙකු සිටියද එක් දිනක් වැඩ කළද දායක විය යුතුය. එලෙසම ආධුනිකයින් වැඩ පුහුණු වන්නන් හා තාවකාලික සේවකයින්ටද අර්ථසාධක අරමුදල් ගෙවිය යුතුය.

යම් නව සේවකයෙකු අර්ථසාධක අරමුදල හා සම්බන්ධවීමට අදාල ක්‍රියා පිළිවෙත කවරේද?

යම් සේවායෝජකයෙකු අළුතින් ආයතනයක් ආරම්භ කොට සේවක ලැයිස්තුවක් කම්කරු කොමසාරිස්වරයා වෙත යැවූ විට ඔහු හට සේවායේජක අංකයක් ප්‍රධානය කෙරේ. අලූතෙන් බැඳෙන සියළුම සේවකයින් හට සේවායෝජකයා විසින් එකී අංකය යටතේ නව අංකයක් ලබාදීම සිදු කෙරේ. සේවකයාගේ ඇඟිලි සලකුණු විස්තර, මරණින් පසු උරුමය හිමි අය අඩංගු ලේඛනයනක්ද ඒ සමග සේවකයා විසින් පිරවූ පසු එකී ලේඛන අදාල බලධාරීන් වෙත යැවීම සේවායෝජකයා විසින් සිදු කළ යුතුය. එවිට සේවකයා හට ”බී” කාඞ්පත නිකුත් කෙරේ. යම් සේවකයෙකු විසින් එක් සේවා ස්ථානයකින් වෙනත් ආයතනයකට සේවයට ගිය විට එම බී කාඞ්පත තමා මුලදී සේවය කළ ස්ථානයෙන් රැුගෙන නව සේවායෝජකයා හටලබා දිය යුතුය. එවිට එයට අළුත් අංකයක් ඇතුළු කොට පරණ අංකය රතු ඉරකින් පැහැදිලිව පෙනෙන පරිදි කපා හැරිය යුතුය. එවිට මුලින් ආරම්භ කළ අර්ථසාධක අරමුදල් ගිණුම නොකඩවා ඉදිරියටත් පවත්වාගෙන යාමට හැකිවේ.

සේවායෝජකයා විසින් අර්ථසාධක අරමුදලේ මුදල් ගෙවීම පැහැර හැර ඇති විට කුමක් සිදුවේද?

එලෙස ගෙවීම් පැහැර හැරීමක් සිදුව ඇති බව සේවකයා විසින් දැනගත් වහාම ඒ බව ඔහු කම්කරු කොමසාරිස් දෙපාර්තමේන්තුව වෙත දැන්වීමට කටයුතු කළ යුතුය. මෙලෙස නියමිත කාලය තුළ අදාල මාසයේ ගෙවීම් පැහැර හැර ඇති අවස්ථාවන්හිදී එලෙස පැහැර හැර ඇති කාලසීමාවට අනුව අතිරේක අධිභාරයක් සහිතව ගෙවිය යුතු වේ.

කෙසේ නමුත් දිගින් දිගටම දායක මුදල් ගෙවීම යම් සේවායෝජකයකු පැහැර හරියි නම් කම්කරු දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කරන පරික්ෂණයකින් පසු මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ නඩු පවරා එකී මුදල් අය කර ගැනීමට ප්‍රතිපාදන ඇත. මෙය කම්කරු දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරේ. මෙලෙස හිඟ හිටවා ඇති මුදල රජයට අයවිය යුතු මුදලක් සේ සලකා නඩු පැවරෙන අතර යම් සේවායෝජකයෙකු වස්තු භංගත්වයට පත්වූ විට එකී අර්ථසාධක අරමුදල් හිඟ ඔහු සතු දේපල වලින් ගෙවිය යුතු ප්‍රථම වගකීම් තුළට අයත් වේ.

මීළඟ කොටස : අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීම

මෙම හෝටල් සේවක අයිතිවාසිකම් අත්වැලේ මීළඟ කොටස ලබන සතියේ ජුලි 29 වන බදාදා පල කෙරේ.

වැඩබිම

මේ හා සබැඳි වෙනත් ලිපි :

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435