සේවා ගිවිසුම සැකසෙන්නේ කෙසේද?

හෝටල් සේවක අත්වැල 03

පත්වීම් ලිපිය

ඔබ හෝටල් සේවකයෙකු නම් ඔබ හෝටලයට සේවයට ගිය පළමු දිනයේදී ඔබ හට පත්විම් ලිපියක් ලබා දිය යුතුය. මෙය සාප්පු හා කාර්යාල සේවක පනත යටතේ පනවා ඇති රෙගුලාසි අංක 15 යටතේ සඳහන් වේ. එම පත්වීම් ලිපියට පහත සඳහන් දේ අඩංගු විය යුතු බවට සඳහන් කර ඇත. ඔබට ලැබී ඇති පත්වීම් ලිපියෙහි පහත සඳහන් දෑ අන්තර්ගත වී තිබේදැයි විමසා බලන්න. මේ වන විටත් ඔබට හෝටලයේ පාලක පක්ෂය විසින් පත්වීම් ලිපියක් ලබා දී නොමැති නම් ඔබට එම ලිපිය ඉල්ලිම සඳහා සම්පූර්ණ අයිතියක් ඇති බැව් මතක තබා ගන්න.

පත්වීම් ලිපියෙහි අඩංගු කළ යුතු කරුණු :
  • ඔබගේ නම හා තනතුර
  • පත්වීමේ දිනය
  • ඔබගේ වැඩ අනුව ඔබට හිමි ශ්‍රේණිය
  • ඔබට ලැබෙන මූලික වැටුප හා වැටුප් වැඩිවීම ලැබෙන ආකාරය
  • ඔබගේ වැටුප ලබා දෙනුයේ, සතියකට වරක්ද, සති දෙකකට වරක්ද නැතහොත් මාසිකවද යන වග
  • ඔබට වෙනත් දීමනා ලබා දෙන්නේ නම් ඒවා මොනවාද යන්න සඳහන් විය යුතුය
  • පරිවාස කාලයක් ලබා දෙන්නේ නම් ඒ පිළිබඳව විස්තර සඳහන් විය යුතුය
  • සේවය අවසන් කිරීම සඳහා අදාල වන කොන්දේසි කවරේද යන්න වග
  • වැඩ කරන සාමාන්‍ය වේලාවන් කවරේද යන්න ගැන
  • ඔබට හිමිවන නිවාඩු ගණන: එනම් සති නිවාඩුව, වාර්ෂික නිවාඩු, අනියම් නිවාඩු හා වරප‍්‍රසාද නිවාඩු කවරේද යන්න වේ
  • ඔබට හිමි අතිකාල ගෙවීම් වල ප‍්‍රමාණයන්
  • සේව්‍යයා විසින් ඔබ හට ලබා දෙන වෛද්‍ය පහසුකම් කවරේද යන වග
  • ඔබ හට හිමි, අර්ථසාධක අරමුදල් ප‍්‍රමාණයන්, විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් තිබේ නම් එය කවරේද යන්න, පාරිතෝෂික
  • දීමනාව ගැන සඳහන් විය යුතුය
  • ඔබට උසස්වීම් ලබා ගැනීමට ඇති අවස්ථා පිළිබඳව විස්තරයක්

ඔබට ලබා දෙන පත්වීම් ලිපිය ඔබ අත්සන් කර භාරගත යුතු වේ.

hotel - appointment letter

 සේවා ගිවිසුමක් යනු කුමක්ද?

සේවා ගිවිසුමද අන් ගිවිසුම් මෙන් පාර්ශ්වයන් දෙකක් අතර යම් කාර්යයක් ඉටු කිරීම සඳහා ගිවිස ගනු ලබන ගිවිසුමකි. රැකියා ක්ෂේත‍්‍රයේදී මෙය භාවිතයට යෙදෙන්නේ වැටුපක් හෝ වේතනයක් වැනි මූල්‍යමය ප‍්‍රතිෂ්ඨාවක් උදෙසා කිසියම් පාර්ශ්වයක් (සේවකයකු) අනෙක් පාර්ශ්වය (සේවායෝජකයා) හට සිය ශ‍්‍රමය සැපයීම සඳහා වන එකඟතාවයක් ලෙසිනි.

සේවා ගිවිසුමක ස්වරූපයෙහි ඇති විශේෂිත ලක්ෂණ මොනවාද?

සේවා ගිවිසුමක් අනිවාර්යයෙන්ම අන්‍යොන්‍ය වගකීම් උද්ගත කරවනවා. එයින් ගම්‍ය වන්නේ සේවකයා හා සේවායෝජකයා යන දෙපාර්ශ්වයම සේවා ගිවිසුමක් තුළින් යම් යම් යුතුකම් හා වගකීම් ඉෂ්ඨ කිරීමට බැඳී සිටීමයි. සෑම සේවා ගිවිසුමක්ම නිවැරදි හා නිශ්චිත විය යුතු සේම සේවායෝජකයා විසින් එය අයුතු ප‍්‍රයෝජන ලබා ගැනීම උදෙසා යොදවා ගැනීමට ඇති ඉඩ ප‍්‍රස්ථාවන් අහුරා තිබිය යුතු වෙනවා. සේවායෝජකයාගේ ප‍්‍රධාන වගකීම වනුයේ ඔහු ගෙවීමට බැඳී සිටින වැටුප හෝ වේතනය සේවකයා හට ගෙවීමයි. සේවකයාගේ ප‍්‍රධානතම වගකීම වනුයේ ඔහු සේවායෝජකයා වෙත ඉටු කිරීමට බැඳී සිටින සේවය නොපිරිහෙලා ඉටු කිරීමයි. එලෙසම නිවාඩු, පඩි වැඩි කිරීම්, උසස්වීම් හා සේවය අවසන් කිරීම වැනි කාරණා පිළිබඳව විවිධ යුතුකම් හා වගකීම් සේවා ගිවිසුමක් තුළින් උද්ගත වෙනවා.

සේවායෝජකයකුට හෝ සේවකයකුට සේවා ගිවිසුමක් තුළට තමන් කැමති  ඕනෑම කොන්දේසියක් ඇතුළත් කර ගැනීමට අයිතියක් තිබෙනවාද?

නැත. සේවා ගිවිසුමක් සෑම විටම රටේ පවත්නා මූලික නීති රීති හා අණපනත් වලට යටත්ව නිර්මාණය විය යුතු වෙනවා. එම නිසා සේවා ගිවිසුමක නියමයන් හා කොන්දේසි රටේ ව්‍යවස්ථාපිත නීතිරීති හා ගැටෙන විට හෝ ඒවාට පටහැනිව යන අවස්ථා වලදී එම සේවා ගිවිසුමේ එකී අදාල කොන්දේසි බලරහිත වනවා සේම එම කාරණාවන්ට අදාළ ව්‍යවස්ථාපිත නීතිය ප‍්‍රකාර කටයුතු කිරීමට සියලූ පාර්ශ්වයන් කෙරෙහි වගකීමක් උද්ගත වනවා.

රටේ ව්‍යවස්ථාපිත නීතිය සේවා ගිවිසුම්වල ක‍්‍රියාකාරිත්වය කෙරෙහි බලපාන්නේ කෙසේද?

සේවා නියුක්තියේ කොන්දේසි හා නියමයන් වලට අදාලව විශේෂිත අණපනත් නීතිගත කොට තිබෙනවා. එකී නියමයන් හා කොන්දේසි සම්බන්ධයෙන් එම ව්‍යවස්ථාපිත ප‍්‍රතිපාදන අනිවාර්යයෙන්ම බලපැවැත්වෙනවා. යම් යම් අවස්ථාවලදී එකී ව්‍යවස්ථාපිත අවම සීමාවන් සේවකයාගේ කැමැත්ත ඇතිව වුවද, සේවායෝජකයෙකුට ඒවා අත්හැරීමට හැකියාවක් නොලැබේ. පහත දැක්වෙන කාරණා සම්බන්ධයෙන් සේවා ගිවිසුමේ කොන්දේසි අභිබවා ව්‍යවස්ථාපිත නීතියේ ප‍්‍රතිපාදන ප‍්‍රමුඛස්ථානය ගනු ලබනවා.

  • සේවක අර්ථසාධක හා සේවක භාරකාර අරමුදල් පනත තුළින් අනිවාර්ය කොට ඇති දායකවීම්
  • පාරිතෝෂික දීමනා
  • සේවක ආපදා වන්දි
  • සේවය අවසන් කිරීම, සේවයෙන් ඉවත් කිරීම, නැවත
  • සේවයේ පිහිටුවීම, සේවක වන්දි යනාදී කාරණා
  • අවම වැටුප් හා අතිකාල ගෙවීම්
  • නිවාඩු හා විවේකය
  • සෞඛ්‍ය හා ශුභසාධන ගෙවීම්
  • මාතෘ ප‍්‍රතිලාභ පහසුකම්

එලෙසම ඉහත දක්වා ඇති ව්‍යවස්ථාපිත කාරණාවලට යටත්ව සේව්‍ය – සේවක සාමූහික ගිවිසුම්වල ප‍්‍රතිපාදන, කම්කරු අධිකරණයන්හි හා කාර්මික බේරුම්කරණ ක‍්‍රියාවලීන් තුළින් ප‍්‍රධානය කරන නියෝගයන්ද සේවකයින්ගේ පෞද්ගලික සේවා ගිවිසුමේ කොන්දේසි බවට පත් කෙරෙන අතර එයින් උද්ගත කරන වගකිම් ඉෂ්ඨ කිරීමට සේවායෝජකයින් බැඳී සිටියි.

මීළඟ කොටස : වැඩ කරන වේලාවන් හා එයට අදාළ ගෙවීම්
මෙම හෝටල් සේවක අයිතිවාසිකම් අත්වැලේ මීළඟ කොටස ලබන සතියේ ජුනි මස 10 වන බදාදා පල කෙරේ.

වැඩබිම

 

මේ හා සබැඳි වෙනත් ලිපි :
හෝටල් සේවක අත්වැල 1 – ඔබව ආවරණය කෙරෙන නීති රීති මොනවාද ?
හෝටල් සේවක අත්වැල 02 – අවම වැටුප් සැකසෙන්නේ කෙසේද?
Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435