සෞඛ්‍යාරක්ෂිත ක්‍රම ජනතාව ඈත්වෙමින් පැවතීම එතරම් හොඳ තත්ත්වයක් නොවෙයි

අද වනවිට කොවිඩ් 19 තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාවගේ අවධානය වැඩි වශයෙන් යොමු විය යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූයේ කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය හා නිවාරණය පිළිබඳ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

මෙරට වාර්තා වී ඇති සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3224 බවත් රෝගීන් 3129 සුව වී ඇති අතර රෝගීන් 182 ක් රෝහල්තගව ප්‍රතිකාර ලබන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙහිදී පැවසීය. එසේම බාහිර සමාජය තුළින් මේ වන විට කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා නොවන බවත් වාර්තා වන සියලුම රෝගීන් විදේශයන්හි සිට පැමිණෙන නිරෝධායනය වෙමින් පවතින පිරිස් අතරින් බවත් ඒ මහතා මෙහිදී කීය. කෙසේ වුවත් මේ වන විටත් මෙරටින් කොරෝනා අවදානම සම්පූර්ණයෙන්ම තුරන් වී නොමැති බවද සිහි තබා ගත යුතු බවද අවධාරණය කරන ලදී.

අද වන විට සෞඛ්‍යාරක්ෂිත ක්‍රම ජනතාව තුළින් යම් මට්ටමකට ඈත් වෙමින් පවතින බවත් මෙය රට තුළ පවත්නා එතරම් හොඳ තත්ත්වයක් නොවන බවත් මෙහිදී පැවසීය. එබැවින් ජනතාව නිරන්තරයෙන් මුඛ ආවරණ පැළදීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, සබන් යොදා අත් සේදීම යන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් පෙර පරිදිම ජනතාව අනුගමනය කළ යුතු බව මෙහිදී කීය.

මාතර දිස්ත්‍රික්කය තුළින් කොරෝනා රෝගියෙකු වාර්තා වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසූයේ එම පුද්ගලයා රුසියාවේ සිට පැමිණි ගුවන් කණ්ඩායමට අයත් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු බවයි. ඔවුන් නිරෝධායනය වෙමින් සිටි බවත් ඔහු යම් අවස්ථාවකදී සමාජයට ගොස් ඇති බව වාර්තා වූ බවයි. මේ වන විට ඔහුගේ සියලු ආශ්‍රිතයන් හඳුනා ගනිමින් ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ සිදු කරගෙන යන බවත් අවශ්‍ය ක්‍රියාමාර්ග සියල්ල ගෙන ඇති බැවින් ඒ පිළිබඳ අනවශ්‍ය බියක් ඇති නොකර ගත යුතු බවද මෙහිදී පැවසීය.

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සම්බන්ධයෙන්ද කරුණු දැක්වූ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ මුල් දින කිහිපයෙහි ප්‍රදර්ශනය තුළ ජනතාවගේ යම් පාලනය කළ නොහැකි තත්ත්වයක් පැවති බවත් මේ වන විට යම් මට්ටමකට එම තත්ත්වය පාලනය වී ඇති බවයි. එසේම මෙම ප්‍රදර්ශනය සඳහා දෛනිකව විශාල ජනතාවක් පැමිණෙන බැවින් ජනතාව අතර සමාජ දුරස්ථභාවය තුළ යම් ගැටලුවක් පවතින අතර එම තත්ත්වයන් පාලනය කිරීමට ආරක්ෂක අංශයන් හට උපදෙස් ලබා දී ඇති බවත් සඳහන් කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435