සෞඛ්‍ය නීති අපට පමණක් ද ?

තම ප්‍රාණ සමවන් පියාගේ පීතෘ සෙනෙහස අහිමිව හදගිනිගත් ජීවන් තොණ්ඩමන් තරුණයා වෙත වත්මන් ආණ්ඩුව පිරිනැමීමට නියමිත පාර්ලිමේන්තු ජිම්කානාවේ රශ්මියෙන් පුරා දින පහක් සමස්ත කඳුකරයම බැබැලුනේය. එය සංවේගප්‍රාප්ත කන්ද උඩරට සිසාරා හමාගිය දේශපාලන සුළඟකි. මිය පරළොව යන කවුරුන් වුව, ඔහු හෝ ඇය වෙත සදාතනිකව හිමිවිය යුතු නෛසර්ගික ගෞරවය මත්තේ අවසන් ගමන් යායුතුමය. එනමුදු ලොව කළඹන වසංගතයක් අභිමුව දින පහක් තිස්සේ අවමංගල්‍යයක් කරතබා ගෙන ගම් දනව් සිසාරා කරක් ගැසීම යනු ගාර්ෂියා මාර්කේස්ගේ මායා යථාර්ථමය අනුභූතියේ පිහිටා රචිත නවකතාවක පමණක් ම සටහන් වන විකාරසහගත යමකි.

මහාචාර්ය රත්නජිවන් හූල් මැතිවරණ කොමිෂන් සභාව වෙත නිසි ලෙස නිරෝධායනයට ලක්වූ දියණිය රැගෙන ආ සිද්ධියේ සුළමුල කන වැකෙන්නටත් පෙර අනිල් ජාසිංහ මැතිඳුන් පැවසුවේ එය සදාචාරාත්මක නොවන එකක් ලෙසිනි. පුවත්පතක් එය පොල්ගෙඩි අකුරෙන් ඔහු ‘නොහොබිනා වැඩක්’ කළ බව සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා කීවේ යැයි ලීවේය. (සෞඛ්‍ය අංශ පවසන සේ ඇය තවත් දින 14 ක් නිවසේ හුදකලාව සිටිය යුතුයැයි අප ද විශ්වාස කරන්නෙමු).

නිරෝධායන නීතිය වෙත ගම්පහ මහේස්ත්‍රාත් උසාවිය දුන් නිර්වචනයෙන් පණ ලත් අප හිතවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මැතිඳුන් ද නිති පුනරුච්චාරණය කල වදනක් ඇත්තේය. එනම් නිරෝධායන නීතිය කඩන්නෝ ජාති ද්‍රෝහීන් බවයි.

රූපවාහිනී තිරමත උදාරම් ඉරියව් පාමින් කොරෝනාවෙන් ගැලවිය යුතු මඟ දෙසු තවත් කෙනෙක් ඇත්තේය. ඒ යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මැතිඳුන්ය.

මා දැන් අසමි. සමස්ත ශ්‍රී ලංකාවට ම අවැසි මොහොතක ඉහත සුධිෂ්මතුන් තිදෙනා පෑ පෙළහර වෙසෙස් එකකි. එය නිරාකූල හා අව්‍යාජ එකක් වන්නේ කෙසෙල්වත්තේ බණ්ඩාරනායක පුරයට පැණෙන නීතීන්, කොටගල වැවෙන්ඩන් වත්තටද පොදු වන්නේ නම් පමණි. රටක අනාගත ඉරණම විසඳෙන්නේ මෙවැනි නිලදරුවන්ගේ අව්‍යාජ භාෂිතයෙන් හා ඍජු අණෙනි. තොන්ඩමන් මරණය අභියස මෙකී ඇත්තන්ගේ කිතුගොස හිරු දුටු කදෝ පැනියක්ව ඇත්තේය.

ජීවන් තොන්ඩමන් යෞවනයා ගම දනව් සිසාරා නේක ආංගික අභිනයන් පාමින් විථි සංචාරය කල දින උදයේ මැතිවරණ කොමිසම ශ්‍රී ලංකා පොලීසියෙන් ඇසුවේ අවමඟුල හා සබැඳි නීති උල්ලංඝනයක් වේද යන්නයි. එහි තුෂ්නිම්භූතව සිටි පොලිස් නිලදරුවෝ යටත් පිරිසෙන් පිය දේහය අසළ ජන්ද සිඟමනේ ගිය තරුණයා ඉන් බිමට බැස්සවීමට හෝ නොසිතුවේය. සදාචාර දේශපාලනයක ඉම නොදත් මිසදිටු දේශපාලකයන් අභියස පොලීසිය මුඛ ආවරණ නැති අසරණ ගැමියන් කූඩුව වෙත කුදලන් යන්නේ කවර සිතකින්ද?

එහෙයින් ඒ තිදෙනා වෙතම ඓතිහාසික කතා පුවතක් සිහි කිරීමට මා කැමැත්තෙමි.

දේශදේශාන්තරයන්හී කිතුගොස නැංවූ අධිරජ මහා ඇලෙක්සැන්ඩර් වරෙක මැසිඩෝනියාවේ ප්‍රත්‍යන්ත ජනපදයක සංචාරය කරන්නේයැයි සන්දේශකරුවෙකුගේ දැනුම්දීමෙන් ප්‍රමුදිත යටත් වැසියෝ මහාධිරාජයා පිළිගැනුමට අනේකාකාරයෙන් පෙළගැසුනෝය. ඒ සියලු හරසර විඳිමින් වීථි සංචාරයට බට අධිරාජයා තමා දුටු දසුනින් මුසප්පු නොවුණා පමණි. යටත් වැසියෙක් තාර පීප්පයක කිසිවක් සිදු නොවුනා ගාණට වසන්නේය. තමා දුටුවන එකත්පසවන රටවැසියන් සමුහයක් අභියස තමාගේ සම්ප්‍රාප්තිය අලුයම ලූ කෙල පිඩක් තරම හෝ ගණනකට නොගත් මේකා කවර නම් අරුමැසි මිනිස් ප්‍රානියෙක්දැයි දැනගනු රිසින් ලංවූ අධිරාජයා තාර පීප්පය තුළ රැඳුනු තැනැත්තාගෙන් ”අධිරාජයා වන මාගෙන් ලබා ගනු රිසි යම් උපකාරයක් තිබේදැයි ඇසුවේය. තිබේයැයි පිළිවදන් ලැබුණු බැවින් ඒ කිමෙක්දැයි පෙරලා ඇසූ අධිරාජයාට ලැබුණු පිළිතුර මෙපරිදිය. ”මදෙසට මෙතෙක් නිදහසේ වැටුණු හිරු එලිය අවහිර වී ඇත. ඒ ඔබ මා අභියස සිටගෙන ගෙන සිටින නිසාය, එබැවින් කරුණාකර පසෙකට වන්න”. ලොවක් භයින් ත්‍රස්ත කල මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා මායිම් නොකළ එකී මිනිසා වෙන අන් කවරෙක් හෝ නොව අති විශිෂ්ඨ ලේඛන හැකියාවෙන් මැසිඩෝනියාව පොබ කල මහා ලේඛක ඩයෝජිනියස්ය.

එවන් ස්වායක්ත වූ අදිනත්වයක් වගා කරගැනුමට මේ තිදෙනා හටම තවමත් අවස්ථාව ඇති බව පමණක් ලියා තබමි.

අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ආදිතම ඔටුණු නොපළන් රජුවූ සෞම්‍යමූර්ති තොණ්ඩමන් චරිතාපදානයේ දෙවැනි වෙළුමට පෙරවදනක් සපයන මහාචාර්ය රැල්ප් බුල්ජන් මෙවැනි ප්‍රකාශයක් සටහන් කොට ඇත්තේය. ”The story of Savumiamoorthy is a blend of fantasy and reality, of chance and vision”. ……..එයම ඔහුගේ සදාදරණිය මුණුබුරාගේ අවමඟුල පැවති මෙදින වෙනත් අරුතකින් වර නැංවිය හැක්කේය.

එනම් ආරුමුගම් තොණ්ඩමන් අභාවය හා අවමඟුල යනු අසමාන සමාජ ධනයක් උපයාගනිමින් වසංගතයක් නිමාකෙරුමට පෙළහර පෑ වීර වික්‍රමාන්විත හැකියාවෙන් සපිරි චරිත ත්‍රිත්වයක්, බලවත් දේශපාලන ව්‍යාපෘතියක් හමුවේ පරඬලාපත් සේ හැකිලී ගිය අමිහිරි මතකයක් ඉතිරි කල රාජකීය වියොවක් ලෙසිණි.

එකී හැකිලීමේ වන්දිය, අවිස්සාවේල්ලට නුදුරුව වැසි දියණියගේ මරණය නොදුටු පියාගේ කඳුළු ද, ප්‍රිය සැමියා වූ නාවික ලුතිනන් කර්නල්වරයාගේ දයාර්ද්‍ර වතමඬල නොදුටු බිරිඳගේ කඳුලේ බරද සදාකල් දරනු ඇත්තේය!!

මංජුල ගජනායක

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435