සෞදියේ අසරණවී සිටින ලක් කත ගෙන්වා දෙන ලෙස ඥාතීන්ගෙන් ආයාචනයක්

සවුදි අරාබියේ ගෘහ සේවයට ගිය තම දියණියගේ ස්වාමියා හදිස්සියේ මිය යෑමෙන් පසු අසරණ වූ ඔවුන්ගේ දරු තිදෙනා රැක බලා ගන්නට සිදුවී ඇත්තේ තමන්ට බවත් හෘද රෝගී තත්ත්වයක් හා ආදායමක් නැතිකම නිසා තමන්ට එම දරුවන් රැක බලා ගැනීමට අපහසු බවත් එබැවින් දියණිය ලංකාවට ගෙන්වා දෙන්නැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කර මාස තුනකට ආසන්න කාලයක් ගතවී ඇතත් එහි නිලධාරීන් ඊට උත්සාහයක් දරන්නේ නැතැයි ගිරිතලේ සංඝමිත්තා මාවත පදිංචි මාතාවක් දුක් සුසුම් හෙළන්නීය.

දරුවන් 5 දෙනකුගේ මවක් වූ ඇයට ස්වාමියා අහිමි වුවත් කුලී වැඩ කරමින් තම දරුවන් හදා වඩා දීග දී අද අසනීප තත්ත්වයෙන් පසුවෙයි. ඇය නමින් ටී.එල්. මේරි ඇග්නස්ය. වයස අවුරුදු 64 කි. පෙර පරිදි කය වෙහෙසා වැඩක් පළක් කරගත නොහැකිව සිටින ඇය ළඟපාත තේ කඩවලට කඩ කෑම හදා දෙමින් සුළු මුදලක් උපයාගෙන ජීවිතය ගැට ගසා ගනී. ඒ අතරතුර සවුදි ගිය ඇගේ දියණියක වන ගේ්‍රස් නිලූකා ප්‍රියදර්ශනීගේ දරු තිදෙනා රැක බලා ගන්නට සිදුව තිබේ.

ඇය චමිදු, පුබුදු, කවිඳු යන තම මුනුපුරන් රැක බලා ගන්නේ විවිධ අපහසුතා මැදය. ඔවුන් අතරින් පුබුදු සහ කවිඳු තවමත් පාසල් යන අතර වැඩිමහල් දරුවා වන චමිදු පාසල් ගමන නවතා අසරණකමෙන් තරමක් හෝ ගොඩ එන්න කිරි මවට උදවු වෙන්නට රැකියාවක් සොයමින් සිටී. මෙම හතර දෙනාට තරමක් හෝ අස්වැසිල්ලක් ගෙන දෙන්නේ මේ දරුවන්ගේ නැන්දණියක වන අරුණිගෙන් ඉඳහිට ලැබෙන උදවු උපකාරවලිනි. එම පවුලේ අයටද ස්ථිර ආදායම් මාර්ගයක් නොමැත. රැකියා සඳහා විදේශගත වීමේදී විදේශ ගතවන්නන්ගේ පවුල් සඳහා ලබාදිය යුතු මුදලද මේ පවුලේ අයට ගෙවා නැත.

මෙවන් අපහසුතා මධ්‍යයේ ජීවිතය ගැටගසා ගන්නා මෙවන් දරු පවුල් ගැන සොයා බලා එම පවුල්වලට උපරිම සේවාව සහ උපකාර ලබාදීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීත්‍යනුකූල වගකීමක් හා යුතුකමක් නොවන්නේද?

මේ පිළිබඳව එම දරු තිදෙනා රැක බලා ගන්නා ටී.එල්. මේරි ඇග්නස් මෙසේ පැවැසුවාය. මගේ දුව ජේ.ඒ. ගේ්‍රස් නිලූකා ප්‍රියදර්ශනී විවාහකයි. එයා සවුදි රටේ ගෘහ සේවයට ගියේ 2016 ජුනි 17දා දුව ගිහිල්ලා මාස 6-7කට පස්සේ දුවගේ ස්වාමියා හදිස්සියේ අසනීප වෙලා මිය ගියා. එයාලට හිටියේ පිරිමි දරුවන් තුන්දෙනෙක්. දරුවන් තුන්දෙනා අසරණ වුණා.

ඊට පස්සේ ඒ දරුවන් මගේ ළඟට ගන්නවා හැර වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. ඒ දරුවන්ගෙන් ලොකු පුතා චමිදු දැන් පාසල් යන්නේ නෑ. එයා රස්සාවක් හොයනවා. පුබුදු පුතා ලබන වසරේ සාමාන්‍ය පෙළ ලියනවා.

පොඩි පුතා රවිඳු එයා ඉන්නේ පහ වසරේ. ඉතින් මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට කන බොන දේට සහ වෙනත් වියදම් දරා ගන්න ඉතාමත් අමාරුයි. මට කුඹුරු ඉඩම් නෑ. පදිංචි ඉඩම විතරයි තියෙන්නේ. මම කඩ කෑම හදලා තමා මේවාට යන්තම් වියදම් කරන්නේ.

ළඟ පදිංචි වෙලා ඉන්න ලොකු දුව අරුණිත් වේලාවකට පුළුවන් විදියට උදවු කරනවා. මගේ දුව රට ගියේ කුරුණෑගල ඒජන්සියකින්. ඒකේ මහත්තයා මගේ දුව රට ගියාට පස්සේ අපිට දෙන්න ඕන රුපියල් ලක්ෂ 3ක මුදල දුන්නෙත් නෑ. කීප විටක් ඒ මුදල ඉල්ලුවා. එයා කියන්නේ ඒ මුදල මගේ දුව නිලූකා ලංකාවට ආවම දෙන්නම් කියලා. ඒ මුදලවත් අපිට තිබුණා නම් මේ දරුවන්ගේ කටයුතු හොඳින් කරගන්න තිබුණා.මගේ දුව මේ ප්‍රශ්න දන්න නිසා ආපසු ලංකාවට එන්න සූදානම් වුණා. ඒත් ඒ රටේ ගෙදර මිනිස්සු එන්න දෙන්නේ නෑ කියලා මගේ දුව කියනවා. ඒ නිසා විදේශ සේවා කාර්යාංශයට කියලා එයාව ගෙන්න ගන්නලු.

දුවගේ අවුරුදු දෙකේ සේවා කාලයත් අවසන් කරල තමයි එන්න හැදුවේ. ඒත් එන්න දෙන්න නැත්තේ ඇයි? ඒ නිසා 2018 ජූලි 9දා ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාංශයට ඒ ගැන පැමිණිල්ලක් කළා. පැමිණිලි අංකය ඛ්ච් ව්ධ 141-1806 ලබා දුන්නා. ඊට පස්සේ අපි නිතරම ඒ කාර්යාලයට කතා කළා. එයාලා කීවා ජූලි 17 වෙනකොට දුව ගෙනත් දෙනවා කියලා. ගෙනත් දුන්නේ නෑ. ඊට පස්සේ අගෝස්තු 17දා අගෝස්තු 30 වශයෙන් දින ලබා දුන්නත් තවම දුව ලංකාවට ගෙනත් දුන්නේ නෑ.

අගෝස්තුවල සවුදි එම්බසියටත් කතා කළා. කාට කතා කළත් මගේ දුව තවම ලංකාවට ගෙන්න ගන්න බැරි වුණා. ජනාධිපතිතුමාගේ කාර්යාලයෙන් දුන්න ලිපියක් අරගෙන විදේශ සේවා එකට ගියත් වැඩක් වුණේ නෑ. ජනාධිපතිතුමා කියන දේ අහන්නෙත් නැත්නම් මම මේ ප්‍රශ්නය කාට කියන්නද?

මේ සම්බන්ධව විදේශගතව සිටින නිලූකාගේ සහෝදරිය ජේ.ඒ. අරුණි දර්ශනී දිල්රුක්ෂි මහත්මිය මෙසේ කීවාය.

මගේ නංගි කසාද බැඳලා අඹන්පොළ පදිංචියට ගියා. එයාලට පිරිමි දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. ආර්ථික ප්‍රශ්න නිසා මගේ නංගි සවුදි ගියා. රට ගිහිල්ලා ටික කලකින් එයාගේ මහත්තයා මිය ගියා. මළ ගෙදරටවත් දානයටවත් එන්න දුන්නේ නෑ. ඊට පස්සේ ඒ දරුවන් තුන්දෙනා අම්මා ළඟට ගත්තා. අම්මත් අසනීපයි. ඒ වගේම හරි ආදායමකුත් නෑ. මමත් ළඟ පදිංචි නිසා පුළුවන් වේලාවට පුළුවන් විදියට උදවු කරනවා.
මටත් පාසල් යන දරුවන් ඉන්නවා. ස්ථිර ආදායමකුත් නෑ.

ඒ නිසා මටත් ලොකුවට උදවු කරන්න බෑ. මමත් නංගි ලංකාවට ගෙන්න ගන්න උත්සාහ කළා. සවුදි අරාබියේ එම්බසියටත් කතා කළා. තොරතුරුත් ලබා ගත්තා. විදේශ සේවා කාර්යාංශයේ 011-4380315 අංකය 10 කාමරයේ නෝනටත් කීප විටක් කතා කළා. ඒ වුණත් නංගි තවමත් ගෙන්වා ගන්න බැරි වුණා. දරුවන්ගේ ප්‍රශ්නය නිසා නංගි ඉන්නෙත් හිතේ අමාරුවෙන්. ඒ නිසා කොහොම හරි මගේ නංගි ලංකාවට ගෙනත් දෙන්න කියලා ඉල්ලා සිටිනවා.

මූලාශ්‍රය – මව්බිම

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435