හදිසියේ පත්වීම් දුන් උපාධිධාරීන්ට වැටුප් නෑ

උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මාර්තු මාසයේදී රජයේ පත්වීම් ලබාදුන් උපාධිධාරී අභ්‍යාසලාභීන් සඳහා මාර්තු සහ අප්‍රේල් මාසවල වැටුප් ලබාදී නොමැති බව වාර්තා වේ.

රටේ මේ මොහොතේ පවත්නා අයහපත් පසුබිම හමුවේ මාසික වැටුපක් නොලැබීම හේතුවෙන් උපාධිධාරීන් දැඩි අපහසුතාවකට පත්ව තිබේ.

මෙම ව්‍යවසනකාරී තත්ත්වය එළඹීමට ප්‍රථම රු. 20,000ක මාසික වැටුපක් ලබාදෙන බව සඳහන් කරමින් උපාධිධාරී අභ්‍යාසලාභී පත්වීම් ලෙස 45,585 දෙනෙකු රාජ්‍ය සේවය සඳහා බඳවාගෙන තිබුණි.

මෙලෙස පත්වීම් ලැබූ පිරිස අතර පෞද්ගලික රැකියා සහ ස්වයං රැකියා අත්හැර මෙම පත්වීම් ලැබූ පිරිස්ද සිටින නමුත් අප්‍රේල් මාසයේ අලූත් අවුරුදු සමයේදී වැටුපක් නොලැබීම නිසාත්, ඇඳිරි නීතිය නිසා වෙනත් ආර්ථික කටයුත්තක යෙදීමට නොහැකි වීමත් නිසා තමන් විශාල අපහසුතාවකට පත්ව සිටින බව ‘වැඩබිම‘ කළ විමසීමකදී උපාධිධාරීන් කිහිපදෙනෙක් කියා සිටියහ.

මේ පිළිබඳ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් නම සඳහන් කිරීමට කැමැත්තක් නොදැක්වූ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරියෙකු කියා සිටියේ මෙම උපාධිධාරීන් කිසිදු රාජකාරියකට අනුයුක්ත කිරීමට නොහැකි වූ නිසා වැටුප් ගෙවීමට බාධාවක් වූ බවය. වසංගත සමය උදා වීමත්, පාර්ලිමේන්තුව විසුරුවාහැරීමෙන් පසුව මැතිවරණ කොමිෂන් සභාව මෙම උපාධිධාරීන්ට පුහුණුව ලබා නොදෙන ලෙස නියෝග කිරීමත් නිසා මැතිවරණය අවසන් වනතුරු මෙම උපාධිධාරීන් රාජකාරියකට අනුයුක්ත කිරීමට නොහැකි වනු ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

2020 මාර්තු 02 වැනිදා රාත‍්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ නියෝගය නිකුත් කළ අතර, ඊට පෙර සිටම එදින පාර්ලිමේන්තුව විසුරුවාහරින බව දන්වා තිබුණි. නිදසුනක් ලෙස ‘නීත්‍යනුකූලව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අවස්ථාව ලැබෙන පළමු මොහොතේම එය සිදුකෙරෙනු ඇති බව“ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජයේ කැබිනට් අමාත්‍යවරුන් අවස්ථා කිහිපයකදීම ප්‍රසිද්ධියේ පවසා තිබුණි.

කෙසේ වෙතත් මාර්තු 02 වැනිදා දහවල් කාලයේදී රැකියා සඳහා ඉල්ලුම් කළ උපාධිධාරීන් 45,585 දෙනෙකු වෙත පත්වීම් ලිපි යවා තිබුණු අතර එම උපාධිධාරීන් පුහුණුව සඳහා ඉන්පසුව වාර්තා කළ යුතු බව දැනුම් දී තිබුණි. එම පත්වීම් ලිපියෙන් නියෝග කර තිබුණේ සියලූ උපාධිධාරීන් ප‍්‍රාදේශීය ලේකම්වරුන් වෙත වාර්තා කළ යුතු බව හා පුහුණුවක් ලැබිය යුතු බවය.
මෙලෙස මැතිවරණ සමයක රාජ්‍ය සේවයේ බඳවාගැනීම මැතිවරණයට බලපෑමක් විය හැකි නිසා මැතිවරණ කොමිෂන් සභාව එම උපාධිධාරීන්ට පුහුණුව ලබාදීම මැතිවරණය අවසන් වන තුරු නවත්වන ලෙස නියෝග කර තිබුණි.

‘‘මැතිවරණ සමයක රාජ්‍ය සේවයේ රැකියා ලබාදීම කළ නොහැකි බව නොදැන කළ කටයුත්තක් සේ දකින්න බෑ. මෙය පැහැදිලිවම මැතිවරණ ප්‍රචාරණය සඳහා අයථා බලපෑමක් කළ හැකි ඡන්ද ගුණ්ඩුවක් විතරයි“ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ ප්‍රකාශකයෙක් පෙන්වා දෙන ලදී.

කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාවේ තීන්දුවට ප‍්‍රතිචාර දක්වමින් මාර්තු 04 වැනිදා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක බන්දුල ගුණවර්ධන ප‍්‍රකාශ කර තිබුණේ මැතිවරණ කොමිෂන් සභාව විසින් එවැනි තීන්දුවක් නිකුත් කළේ මන්දැයි තමා නොදන්නා බවත්, බඳවාගත් අභ්‍යාසලාභීන් සඳහා මාර්තු 01 වැනිදා සිට වැටුප් ගෙවන බවත්ය. රජය පොරොන්දුව ඉටු කළ බවත්, පත්වීම දී තිබෙන බවත්, ඒ අනුව මාර්තු 01 වැනිදා සිට රුපියල් 20,000ක වැටුප ගෙවන බවත් තමන් උපාධිධාරීන්ට පවසන බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කියා තිබුණි.

ඒ අනුව මෙම පත්වීම්ලාභීන් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ කොවිඞ්-19 ව්‍යාපෘතියට යෙදවීම සඳහා යැයි මාර්තු 27 වැනිදා චක‍්‍රලේඛයක් නිකුත් කර තිබුණි. ඒ අනුව උපාධිධාරී පත්වීම්ලාභීන්ට තමන්ගේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් වෙත වාර්තා කරන ලෙස ලිපි ලබාදී තිබුණි. ඒ සමඟම වැටුප් ගෙවීම සඳහායැයි උපාධිධාරීන්ගේ බැංකු ගිණුම් විස්තර ලබාදෙන ලෙසද නියෝග කර තිබුණි.

කෙසේ වෙතත්, පසුව එම නියෝගය ක‍්‍රියාත්මක කර නොතිබුණු අතර මේ වන විට කොවිඞ්-19 මැඩපැවැත්වීමේ ව්‍යාපෘතියටද එම පත්වීම්ලාභී උපාධිධාරීන් සම්බන්ධ කරගෙන නොමැත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. ජෙරි says:

    මා උපාධිධාරී අභ්‍යාසලාභියෙකි දැනට රජයෙන් ලබාදෙන රු 5000 දීමනාව මාගේ පියාට නොලැබී ගියා මා රජයේ සේවකයෙක් නිසා යනුවෙන් ග්‍රාම සේවක මහතා සහ සංවර්ධන නිලධාරීතුමා ගේ ප්‍රකාශ වලට අනුව නමුත් මේ වන තෙක් කිසිදු වැටුපක් 20000 වත් නොමැති අපට පියාට හිමි වීමට ගිය රු5000 ක මුදලත් එම නිලනොතල් පත් වීම් නිසා අපට අහිමි උනා ඇයි මෙවැනි අසාධාරන සිදුකරන්නේ

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435