හෙද, පරිපූරක සේවා ඇතුළු වෘත්තිය සමිති 16 ක් හෙට වර්ජනයේ

ඉල්ලීම් 10ක් මුල්කරගනිමින් හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති 16ක් හෙට (8) පෙරවරු 7.00 සිට දීපව්‍යාප්ත එක් දින වැඩ වර්ජනයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

 රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය, අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය ඇතුළු වෘත්තීය සමිති 16ක් මෙම වැඩවර්ජනයට එක් වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පුංචි බොරැල්ලේ පිහිටි එම සංගම් කාර්යාලයේදී අද (7) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

 ඒ අනුව රජයේ රෝහල්වල හෙද සේවාවන්, ඖෂධ නිකුත් කිරීම්,  එක්ස් කිරණ පරීක්‍ෂණ, ස්කෑන් ආදී රෝග හඳුනාගැනීමේ පරීක්‍ෂාවන්, ඇස්,  දත් පරීක්‍ෂා කිරීම්, ශල්‍යාගාර කටයුතු ආදී සේවාවන් රැසක් අඩපණ වනු ඇතැයි ද සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.

මෙම වැඩවර්ජනය අනිද්දා (9) උදෑසන 8.00 දක්වා ක්‍රියාත්මක වන අතර එම කාලය තුළ අත්‍යාවශ්‍ය සේවාවන්හි පමණක් නිරත වන බව ද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල කාසල්වීදිය කාන්තා රෝහල ද සොයිසා කාන්තා රෝහල සහ මහරගම පිළිකා රෝහල යන රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක නොකරන බව ද රත්නප්‍රිය මහතා කීවේය.

වෛද්‍යවරුන්ට පළමු උසස්වීම වසර දෙකකින්, පරිපාලන සේවයේදී වසර 6කින් වශයෙන් ලබාදුන්නද හෙද හෙදියන්ට පළමු සේවා උසස්වීම් ලබාදීමේදී වසර 10ක් බලා සිටින්නට සිදුව ඇතැයි කී රත්නප්‍රිය මහතා එම ගැටලුව විසඳාගැනීමට වසර 4ක් තිස්සේ සාකච්ඡා පැවැත්වූවද මෙතෙක් සාර්ථක වූයේ නැතැයි සඳහන් කළේය.

එමෙන්ම හෙද, පරිපූරක උපාධිධාරීන්ට වැටුප් වර්ධක 10ක් ලබාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවත් ඉදිරිපත් කර ඇතත්, වැටුප් කොමිසම හා මහා භාණ්ඩාගාරය එයට විරුද්ධවීම නිසා එම ඉල්ලීමද මෙතෙක් ඉටුව නැති බව කී රත්නප්‍රිය මහතා පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් පත්කළ රනුග්ගේ කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක කරන ලෙස ද තම සංගම් රජයෙන් ඉල්ලා සිටින බව කීවේය.

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ කැඳවුම්කරු රවි කුමුදේශ් අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති උපුල් රෝහණ යන මහත්වරුන්ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

මූලාශ්‍රය -ලංකාදීප

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435