හොරෙන් යුරෝපයට යන්න ගිය තරුණයාගේ සිහිනය බොඳවෙයි

ව්‍යාජ වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් අප්‍රිකාවේ ඝානා රාජ්‍යය ඔස්සේ යුරෝපය වෙත පැන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු කටුනායක ගුවන්තොටුපළේ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයා මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ද්‍රවිඩ ජාතික තරුණයෙකි.

මුල් කාළයේ ගොවිතැන් කටයුතු සිදු කළ මොහු පසුව සෞදි අරාබිය වෙත ගොස්, එහිදී විදේශ රැකියාවක ද නිරත වී සිටි අයෙකු බව වාර්තා වෙයි.

මෙම පුද්ගලයා පසුගිය 05වෙනි දින රාත්‍රී 9.30ට ඩුබායි බලා පිටත්ව යන එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 653 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

එහිදී කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විගමන කවුළුව වෙත පැමිණි මොහු, සිය ලියකියවිලි ඉදිරිපත් කළ විට, ඩුබායි බලා පිටත්ව යන මොහුගේ ඝානා රාජ්‍යයේ වීසා බලපත්‍රයක් තිබෙන දුටු ආගමන විගමන නිලධාරීන්, ඒ පිළිබඳව සැක සිතී එම බලපත්‍රය ගුවන් තොටුපළ දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත විමර්ශන කටයුතු සඳහා ඉදිරිපත් කර තිබේ.

එහිදී සිදු කළ රසායනාගාර පරීක්ෂණ වලදී, මෙම වීසා බලපත්‍රය කූඪ ලෙස සකස් කළ එකක් බවට තාක්ෂණික නිරීක්ෂණ මඟින් තහවුරු විය.

මීට පෙර අවස්ථාවක දී  මෙම තරුණයා ඩුබායි වෙත ගොස් සිටියදී, එම ගුවන් තොටුපළ තුළ දී මුණගැසුණු තැරැව්කරුවෙකු විසින් මෙම ව්‍යාජ වීසා බලපත්‍රය සකස් කර දුන් බව සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය කර ගැනීමට ආගමන විගමන නිලධාරීන් සමත් විය.

ඝානා රාජ්‍යය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයක් නොමැති අතර , එම කටයුතු ආවරණය කරන්නේ තායිලන්තයේ පිහිටි ඝානා තානාපති කාර්යාලයේ සිටය .

ඒ අනුව ඝානා රාජ්‍යය වෙත යෑමට අදහස් කරන සියලුම මගීන් තායිලන්තයේ පිහිටි එම තානාපති කාර්යාලය වෙත ගොස් වීසා බලපත්‍ර ලබා ගත යුතුය .

එහෙත් මෙම තරුණයා කිසි දිනෙක තායිලන්තය වෙත ගොස් නොමැති බව, ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය ඇසුරෙන් සිදු කළ පරීක්ෂණ වලදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් අනාවරණය කර ගැනීමට ද සමත් වී තිබේ .

මීට පෙර අවස්ථාවක දී ද, මෙම තරුණයා අප්‍රිකා මහාද්වීපයේ ලෙසතෝ රාජ්‍යය වෙත ගොස්, යුරෝපය වෙත පලා යෑමට තැත් කරමින් සිටියදී, ලෙසතෝ රාජ්‍ය නිලධාරීන්, මොහු අත්අඩංගුවට ගෙන සිර කර තබා, පසුව මොහු ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබේ .

අප්‍රිකා මහාද්වීපයේ ඝානා සහ ලෙසතෝ රාජ්‍යය වෙත ගොස්, එතැන් සිට යුරෝපය වෙත පලා යෑමේ මාර්ගයක් මිනිස් ජාවාරම්කරුවන් විසින් සකස් කර ඇති බවට තොරතුරු අනාවරණය වීම නිසා, එම රාජ්‍යය වෙත පිවිසෙන්නට අනුග්‍රාහකයෙකු සහ අනිවාර්ය මුදල් තැන්පතුවක් ඉදිරිපත් කළ යුතු බවට එම රටවල් නීති පනවා තිබේ.

මෙම තරුණයා මෙම ගුවන් ගමන සදහා රුපියල් හැට තුන් ලක්ෂයක් වැය කර ඇති බවද පසුව ආගමන විගමන නිලධාරීන් විසින් හෙළිදරව් කරගෙන තිබේ.

පසුව මෙම තරුණයා සහ ඔහු විසින් රැගෙන ආ ව්‍යාජ වීසා බලපත්‍රය ද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව වැඩිදුර විමර්ශන ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදු කරයි.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435