හොර ලියකියවිලි වලින් කටාරයට ගොස් යුරෝපයට යන්න ගිය ලාංකිකයා කොටුවෙයි

යුරෝපය වෙත පැන යාමට තැත් කළ ශ‍්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ නිලධාරීන් පිරිසක් විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ව්‍යාජ ලෙස සකස් කළ ලියකියවිලි ඉදිරිපත් කරමින්, වෙළෙඳ නෞකාවක සේවය කිරීම සදහා නාවිකයෙකු ලෙස පෙනී සිටිමින් ඔහු මෙරටින් පිටත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

වයස අවුරුදු 36 ක් වන සැකකරු යාපනය, කෝපායි ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු සෙසු නාවිකයන් සමග කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විගාමික අංශය වෙත තම ලියකියවිලි ඉදිරිපත් කර තිබුණා. එහිදී ඔහුගේ හැසිරීම් රටාව ගැන සැක සිතූ ආගමන – විගමන නිලධාරීන්, ඔහු නැවියෙකු බවට ඉදිරිපත් කළ ලියකියවිලි තහවුරු කර ගැනීම සදහා තාක්ෂණික පරීක්ෂාවන්ට යොමු කර තිබේ.

සිදු කළ මෙම තාක්ෂණික පරීක්ෂණවලදී, ඔහු ඉදිරිපත් කළ මෙම සියලූ ලිපි ලේඛන කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ඒවා බවට තහවුරු වී තිබෙනවා. අදාළ ව්‍යාජ ලියකියවිලි ද සමග වැඩිදුර විමර්ශන කටයුතු සදහා සැකකරු කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී ඇත.

තම රැකියාවට අදාළ ව ඔහු ඉදිරිපත් කළ වරාය සහ නාවික කටයුතු අමාත්‍යාංශය මගින් නිකුත් කෙරෙන, නැවියෙකු බව සනාථ කෙරෙන සහතිකය, ඇපකරු සහතිකය, නැව් සමාගමකින් ඔහුට රැකියාව ලබා දෙන බවට වූ සහතිකය සහ නැවියෙකු ලෙස පුහුණුව ලද බවට වන සහතිකය ද ඒ අතර විය.

එහිදී මෙම පුද්ගලයාගෙන් මේ පිළිබඳ ව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදුකළ  ප්‍රශ්න කිරීම් වලදී , මෙම ලියකියවිලි තමාට රැකියා නියෝජිතවරයෙකු විසින් සකස් කර දුන් බව සැකකරු ප්‍රකාශ කර තිබේ.

එසේම තමන් දෝහා සිට වෙනත් ගුවන් යානයකින් යුරෝපය වෙත ගමන් කිරීමට සැළසුම් කර ගෙන සිටි බවද වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කර ඇත.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435