ෆ්ලෝටිං මාර්කට් මාර්කට් කරමුද?

පිටකොටුව පාවෙන වෙළෙඳපොළ ඉදිකොට ඇති බිම්කඩෙහි අපි එහා මෙහා වෙමු. විපරම් කරන අටියෙන් අප මෙහි ආ තෙවන වංගිය මෙයය. වෙළෙඳපොළ ඉදිකළ අලූත අප මෙහි ආවේ රහසෙනි. හතරඅත නිල-නොනිල ඇඳුමින් සැරසි හමුදා සෙබළුන්ය. වෙළෙඳපොළ ගෝඨා-ලන්තයක්ම වී තිබුණි. එළිපිට කතා කරන්නට මෙන්ම එළිපිට ප‍්‍රශ්න අසන්නට හැකි වාතාවරණයක් එහි නොවීය. එදාද සමහරු මෙහි අනාගතය කල්තබා දුටුවෝය. තවත් පිරිසක් වෙනම සුරංගනා ලොවක් තැනුවෝය. ඒ සියලූ දෑ අපි එකල අකුරු කළෙමු. ඉන් සය මසක් ගෙවෙන තැන අපි නැවත එහි ගෑටුවෙමු. පින්තූරවලට මුහුණ නොදී බොහෝ අය අප සමග දෙඩූහ.

සය මසක් ගෙවන තැන බේරේ වැව් තැටිය ඉස්මත්තේ සිහින මාලිගා තැනූ සියල්ලො අතරමංවී සිටියහ. එදා පිරිසිදුව තිබූ බිම ජරාජීර්ණව යමින් තිබුණි. කඩ බොහොමයක් හිස්ව පාළුවට ගොස්ය. වෙළෙඳපොළ විවෘත කළ දවසේ හරි ෂෝක්යයි එදා කියූ බොහෝ අය අද ගෝඨාභයගේ මෑණියන් සිහිකරන තැන සිටිති. ෆ්ලෝටිං මාර්කට් හරි නොයන බව අපි මුල් ගමනේදීම දුටුවෙමු. හැමදේම අසුබව දැකීම එහි තේරුම නොවනමුත් හැමදෙනාටම එකම අච්චුව හරි නොයන බව අපගේ දැක්ම විය. බැස්ටියන් මාවතේ වෙළෙඳාමට පදනමක් තිබුණි. ඒ සියලූ පදනම් රහිතව කොහෝ හෝ තැනකට ගාල් කළ පලියට වෙළෙඳාම සරි නොවන බව ආශ්චර්යය කරා යන ගෝඨාභයට නොවැටහුණි. කජුගමට වූ සන්තෑසියම මෙහෙත් සිදුවිය.

අපිද මෙවර නරඹන්නෝ වුණෙමු. නරඹන්නට ඇත්තේ හිස් කඩය. පාවෙන වෙළෙඳ කුටි හිස්ය. එකක පමණක් ගජරාමෙට අච්චාරු බිස්නස් එකේ යෙදේ. අච්චාරු හදන්නටම පස්හය දෙනෙකි. සියලූ වර්ගවල අච්චාරු බේසම් ගණන්ය. ෆ්ලෝටිං මාර්කට් එක දැන් නම් අච්චාරුවක්මය.

මෙහි මුලින් සඳහන් වූයේ කඩවල් 92කි. පාවෙන වෙළෙඳසැල් 10කි. ආහාර අවන්හල් හතරකි. විවෘත වනවිටම තිබුණේ කඩ 80කි. පාවෙන වෙළෙඳසැල් හයකි. අද ඒවා එකක් හැර ඉතිිිරි පහම පාළුවට ගොස්ය. කඩ අසූවෙන් පනහක් පමණ වැසී ගොස්ය. මුළු වෙළෙඳපොළම පාළුවට ගොස්ය. අවන්හලට හොඳ බිස්නස්ය. ඒ ෆ්ලෝටිං මාර්කට් එක පෙම්වතුන්ගේ පාරාදීසයක් වී ඇති නිසාය. අච්චාරු බිස්නස් එකටත් පැවැත්ම තහවුරු වී ඇත්තේ ඒ නිසාය.

නන්දනී අම්මා

පාවෙන වෙළෙඳසැලක පටු බංකුවකට වී ගිමන් හරින මහලූ මවකි. නිදිමතින් හෙම්බත් වූ ඇස් දෙක විවේකයක් ඉල්ලන පරිදිය. අපි යාප්පුවට ඇය සමග කතාවට වැටුණෙමු. වෙළෙඳාමක් නැති වෙළෙඳ කුටිය ඇයගේ නවාතැන වී ඇත. ඇය අපටද ඒ තුළට පැමිණ අසුන් ගන්නැයි ආරාධනා කළාය. විකුණන්නට දෙයක් නැති එහිදී ඇය අපට කතා වික්කාය.

‘කොහොමද බිස්නස්?’

‘මොන බිස්නස්ද පුුතේ. අපිව නැතිම කළා. මේ කෙහෙල්මලකට ගෙනත් දාලා. මම බැස්ටියන් පාරට ඇවිල්ලා මුලින්ම වික්කේ කොස් ඇට. ඒ මගේ දරුවන්ට කන්න දෙන්න. කොස්ඇට ගන්න මිනිස්සු ඕනතරම් හිටියා. මගේ දරුවන්ගේ බඩ පිරෙව්වේ කොස් ඇට විකුණලා. ඊළඟට ටික ටික මාත් වෙළෙඳාමට හුරුවුණා. බැස්ටියන් මාවතේ කඬේ තියෙන කොට මම දවසට තුන් හාරදහක් ලාභ ඉපැයුවා. සමහර දවස්වලට හය හත්දාහ ලැබුණා. අපි එහෙම කීයක් හරි හම්බ කරගන්න කොට කොළඹට කැතයි කියලා අපිව මෙතනට ගෙනත් දැම්මා. කවුද එන්නේ මේවායේ බඩු ගන්න. පුතාලාට කියන්න එක කරපිංචා මිටියක් විකුණ ගන්න බැරිවුණ දවස් තිබුණා. උදේ ඉඳලා ? වෙනකම් අපි මේවට වෙලා එළවළු තියාගෙන බලා හිටියා. මුලදී මේවා බලන්න මිනිස්සු ආවා. පස්සේ ඒකත් අඩුවුණා. පස්සෙන් පහුව මේ උදේ ඉඳලා හැන්දෑ වෙනකම් ඔය ජෝඩු එන්න ගත්තා. ? වෙනකොට මේ අවට ලොජ්වල ඉන්න එවුන් දක්කාගෙන එනවා. ?ට මේක විගඩම් මඩුවක්.’ සැමට හරියන්න ඇය කතා කළාය.

‘මම මෙහෙම කිව්වට පුතාලා අමනාප වෙන්න එපා. අපිට මේ කළ දේට ඔය රාජපක්ෂලට හෙණ ගහන්න ඕනෑ. නිකං හෙණ නෙවෙයි වැහි නැති හෙණ ගහන්න ඕනෑ. ණයවෙලා බඩු ගෙනත් දාලා රුපියල් දහයක් හොයාගන්න බැරිවුණාම අපි මොනවද කන්නේ. අපේ දරුවෝ මොනවද කන්නේ. අපි අන්ත අසරණ වුණා. මාසේ අන්තිමට කඬේ කුලී, වතුර බිල් ගෙවන්න ඕනෑ. අපි මාස නෙමෙයි අවුරුදු ගාණකට ණයකාරයෝ වෙලා ඉන්නේ මේ ආණ්ඩුව ආව නිසා යන්තම් ඔළුව ඉස්සුවා.’

ඒ කොහොමද?

‘මේ ආණ්ඩුව ආවාට පස්සේ මේ කාර් පාක් කරන ඉඬේ වෙළෙඳාම් කරන්න අපි ඉල්ල ගත්තා. අපිට ඒ ඉඩ ලැබුණා. අපි පාන්දර තුනේ ඉඳලා එතන වෙළෙඳාම් කරනවා. උදේ අට නවය වෙනකොට බිස්නස් ඉවරයි. ඉතිරි වන බඩු දාන්න තමයි මේකට එන්නේ. මේ අපේ ගබඩා කාමරය.’

හතරට බෙදා ඇති පාවෙන වෙළෙඳසැල්වල සෙසු සාමාජිකයෝද ඒ අයගේ ඉතිරි බඩු ගොඩ ගසා තිබුණි. ෆ්ලෝටිං මාර්කට් එක දැන් ගබඩා කාමර බවට පත්වී ඇත. පාන්දර වෙළෙඳාම් කොට ලබන වෙහෙසට ගිමන් හරින නවාතැන මේ වෙළෙඳ කුටි ය. ඉතිරි බඩු දමන ගබඩාව මේ වෙළෙඳ කුටි ය. මේ ෆ්ලෝටිං මාර්කට් එකේ වර්තමාන තත්ත්වය ය.

බේරේ වතුර පිරිසිදු කළ ක‍්‍රම සියල්ල දැන් ක‍්‍රියා විරහිතය. දෙපළක් බෝට්ටුවක නැගී එහි කුණු පීරිගාමින් එක තැනකට ගාල් කරමින් සිටියෝය. දුම්රියේ යන අය පවා නාස් පුඩු වසා ගන්නා තරමට ෆ්ලෝටිං මාර්කට් අනන්‍යතාව තහවුරු කරගෙනය. වැසිකිළි පොදු වැසිකිළි ස්වරූපයට පරිවර්තනය වී ඇත.

වතුර බිල්

මාසික වතුර බිල් රැගෙන මනු කියවන්නා හිස් කඩකාමර අතර ඇවිදියි. අපි ඔහු සමග කතාබහකට වැටුණෙමු. මේවායේ බිස්නසුත් නැහැනේ. බිල් ගෙවනවාද? අපි ඇසුවෙමු.

‘මොන පිස්සුද? මුල් මාස දෙක තුන ගෙව්වා. ඊට පස්සේ බිල් ගෙවන්නේ නැහැ. බිල් ගන්න කඩවල්වල මිනිස්සුත් නැහැනේ. කඬේ නමට බිල රඳවලා යනවා. ඊළඟ මාසේ එනකොටත් ඒක එතන.’ ඔහු හිස්කඩ ඉදිරිපිට මුල්ලක බිල් රඳවමින් රාජකාරියෙහි යෙදේ. එදා මහත් ලීලාවෙන් මේ වෙළෙඳපොළ ගැන කතා කළ කඩහිමියෝ අද ආගිය අතක් නැතිය. ලක්ෂ 7ක් වූ කඩයක් මුලින් 1,75,000කට මිලදී ගත් අය එදා ලයිට් බිලට එකවර රු. 10,500 ගෙවූ අය අද එහි නැත. ඒ කඩ වසා දමාය.

‘මාස්පතා රුපියල් 6000ක් ගෙවන්න ඕනෑ. ලයිට්, වතුර බිල් ගෙවන්න ඕනෑ. බිස්නස් කෝ. මේවා වහල දාන එක වෙළෙන්දන්ට ලාභයි.’ කෙනෙකු කීවේ නෝක්කාඩුවටය.

ෆ්ලෝටිං මාර්කට් කඩවලින් අනාථ වූ මිනිස්සු කොහේදැයි සොයා ගැනීම අපහසුය. ඉන්නා කිහිපදෙනාද ඒ ගැන කතා කරන්නට මැලිය.

‘මේවා කතා කරලා වැඩක් නෑ. අරයා එනවා මෙයා එනවා. අර දේශපාලන පක්ෂයෙන් එනවා. අපිට දැන් ඔය කතා අහලාත් එපාවෙලා. අපේ ප‍්‍රශ්න කියලාත් එපාවෙලා තියෙන්නේ.’

බේරේ තරමට ඒ ජීවිතත් පල්වෙලාය. මේ සැම රාජපක්ෂලාට දෙස් දෙවොල් දෙති. මේ ආණ්ඩුව වාහන රථගාල උදෑසන වෙළෙඳාම් සඳහා වෙන්කර ඇති නිසා වෙළෙන්දෝ යම් සහනයක් ලබති. ඒ නිසා ඔවුන් නැවත පරණ රටාවට අනුගතවෙමින් සිටිති. ෆ්ලෝටිං මාර්කට් එකට එන පිරිසක් නැති නිසා රථගාලද හිස්ය. එයද අමතර වාසියක් වී ඇත. නැවතත් මේ ජීවිත පරණ පුරුදු රටාවට යමින් තිබේ.

ෆ්ලෝටිං මාර්කට් ගෝඨාභය කළද කවුරු කළද යන්න නොසලකා රැකගත යුතු ක‍්‍රමයක් සැකසිය යුතුව ඇත. එය මේ එළවළු, පලතුරු විකිණීමෙන් කළ හැකි නොවේ. එසේ නැතහොත් දුම්රියට යන එන ජනයා මේ හරහා යන වැඩපිළිවෙළක් සකස් කළ යුතුවේ. මේ ඉදිකිරීම්වලින් ගතහැකි ප‍්‍රයෝජන ගැනීම දක්ෂ ආණ්ඩුවක වගකීමක් වන්නේය. මේ අප කියන ගැටලූ මෙය ඉදිකළ දා සිටම තිබුණි. එහෙත් එය ඉදිකළවුන් එහි අඩුපාඩු ගැන විමසිලිමත් නොවූහ. කළයුතු විසඳුම් ගැන අධ්‍යයනයක් නොවීය. ඒ නිසා පවුල් ගණනාවක් අනාථ විය. මේවා මීට වඩා ව්‍යාපාරික ඇසකින් බලන ක‍්‍රමවේදයක් ඉදිරි ආණ්ඩුවකින් හෝ ඇති කළ යුතුව ඇත. එසේ නොකොට රාජපක්ෂලාගේ බංකොළොත් වැඩ ලෙස පෙන්වමින් මේවා විනාශ වන්නට ඉඩ හැරීමත් අපරාධයකි.

මීට පෙර එනවිට තිබූ සීඞී කඩ කිහිපය තාමත් එලෙසම තිබේ. ඒවායින් එදා ඇහුණේ ‘මම එන්නේ ඩුබායි රටේ ඉඳලා’ ගීතයය. එය මහ හයියෙන් වාදනය විය. අද ඒ වෙනුවට කන පැළෙන්නට ඇහෙන්නේ පිරිත්ය. බණය. මේ බණ කියනුයේ කාටද?

ටිරන් කුමාර බංගගමආරච්චි – රාවය

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435