කම්කරු දෙපාර්තමේන්තුව සේවකයින් බිලි දෙයිද?

කම්කරු දෙපාර්තමේන්තුව යනු සේවා යෝජකයා හා සේවකයා අතර අතරමැදි භූමිකාවක නියැළෙමින් ජාත්‍යන්තර කම්කරු ආඥාවන් හා දේශීය නීතිමය විධිවිධාන ආරක්ෂා කරලීමට බැඳී සිටින ආයතනයකි. යම් කම්කරුවෙකුට නැතිනම් සේවකයෙකුට යම් හාම්පුතෙකුගෙන් අකටයුත්තක්, කම්කරු අයිතිවාසිකම් උල්ලංඝණයක් සිදුවීනම් අගතියට පත් සේවකයාට ඒ පිළිබඳ පැමිණිලි කිරීමටත්, සාධාරණයක් ඉටුකර ගැනීමටත් හැකිය. එහිදී අදාළ ආරාවුල් විසඳීමට ඉදිරිපත් වන්නේ කම්කරු නිලධාරීන්ය. කම්කරු කොමසාරිස්වරුන්ය. කළුතර දිස්ත‍්‍රීක් නියෝජ්‍ය කම්කරු කොමසාරිස්වරයා (බස්නාහිර පළාත් අංක2) විසින් ඉකුත් පෙබරවාරි මස 12 වන දින තම නිල කාර්යාලය තුළ රැස්වීමක් කැඳවා ‘කළුතර දිස්ත‍්‍රීක් මානව සම්පත් සංවිධානය’ නමින් සංසදයක් පිහිටුවා ගැනීම තුළින් වෘත්තීය ආචාර ධර්මයන් උල්ලංඝණයවීමක් හා කම්කරු නිලධාරීන්ට බැඳියාවකින් තොරව නිදහසේ තම වෘත්තීය කටයුතු කරගෙන යාමට බාධාවක් එල්ලවී ඇතැයි කම්කරු නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි. ඔවුන් විසින් මේ පිළිබඳව කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට පැමිණිලි කර ඇති අතර කම්කරු දෙපාර්තමේන්තුව තුළ මේ සිදුවීම සම්බන්ධයෙන් යම් නොසන්සුන්තාවක් වර්ධනය වෙමින් පවතියි.

නියෝජ්‍ය කම්කරු කොමසාරිස් ආර්.ඩබ්ලිව්. එම් පොඩිනිලමේ මහතාගේ අනුග්‍රහයෙන් ‘කළුතර දිස්ත්‍රීක් මානව සම්පත් සංවිධානය’ පිහිටුවා ගැනීම පිළිබඳව රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අයි.සී ගමගේ මහතා ‘වැඩබිම’ ට මෙසේ අදහස් දැක්වීය.

” අප විසින් මෙම නි.කම්කරු කොමසාරිස්වරයා, හාම්පුතුන්ගේ පාර්ශවය නියෝජනය කරන මානව සම්පත් කළමනාකරුවන් සමග සංසදයක් පිහිටුවීම සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට ඒ අදාළ ලිපියත් සමග පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒක හදිසියේ ලැබුණු දැනුම්දීමක්. ඒ නිසා ලිඛිතව පැමිණිල්ල ඉදිරිපත් කරන්න ලැබුණෙ නෑ. එතුමා බොහොම ස්තූතියි කීවා මේ වගේ පැමිණිල්ලක් ඉදිරිපත් කළාට. මේ සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසීමක් කරන බව කීවා. ඒත් සුපුරුදු පරිදි අර නියෝජ්‍ය කම්කරු කොමසාරිස්වරයා, තම බඩගෝස්තරවාදී රැස්වීම රාජ්‍ය දේපළ අව භාවිතා කරමින් පවත්වලා තියෙනවා”

රාජ්‍ය නිලධාරියෙකු වන නියෝජ්‍ය කම්කරු කොමසාරිස්වරයාට ප්‍රදේශයේ පුද්ගලික අංශ හෝ වෙනයම් නිලධාරීන් සමග සහයෝගයෙන් කටයුතු කළ නොහැකිද? මෙමගින් සැබවින්ම කම්කරු නිලධාරීන්ට හෝ අන් කිසිවෙකුටත් අගතියක් විය හැකිද? ගමගේ මහතා ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වීය.

”කම්කරු දෙපාර්තමේන්තුවේ භූමිකාව වෙන්නේ ජාත්‍යන්තර කම්කරු ආඥා ප්‍රමිතීන් අනුවත්, ලංකාවෙ නීතියෙන් තහවුරු කර ඇති අණ පනත් අනුවත් , රාජ්‍ය පාර්ශවය හැටියට සේවා යෝජකයාගේත්, සේවකයාගේත් අතරමැදි තුන්වෙනි පාර්ශවයක් ලෙස කටයුතු කිරීමයි. ඒ දෙපාර්ශවයේම ගැටළු විසඳීමට පහසුකම් සලසන්නෙක් විදිහටයි. මේ ආකාරයෙන් අපගේ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් හාම්පුතුන්ගේ පාර්ශවයේ මානව සම්පත් කළමනාකරුවන් සමග සංගමයක් පිහිටුවන්නේනම් එැතනදී අපගේ ස්වාධීනත්වය ගිළිහෙනවා. හෙට වෙද්දි තවත් කම්කරු කොමසාරිස්වරයෙක් සෘජුවම හාම්පුතුන් සමග සංවිධානයක් හදාගත්තොත් තත්ත්වය මොකක්ද? අද වෙද්දී කළුතර දිස්ත්‍රීක්කයේ සේවක ප්‍රජාවට ලොකු අර්බුදයක් තියෙනවා. තමන්ව පීඩාවට පත්කරන මානව සම්පත් නිලධාරීන්, නි.කොමසාරිස් සමග එක සංගමයක් හදාගත්තම ඒ සේවකයින් තමන්ගෙ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්නෙ කොහොමද? ඒ වගේම කම්කරු පරීක්ෂණ ක්‍රමවේදයේදී කම්කරු නිලධාරියෙක් ක්ෂේත්‍රයට යාමේදී මෙතුමා අද සංධානගතවෙච්චි මානව සම්පත් නිලධාරීන් තමා අපත් සමග සම්බන්ධ වෙන්නෙ. ඒ අය තමා හාම්පුතුන් වෙනුවෙන් අපට අදාළ ලියකියවිලි දෙන්නෙ. හාම්පුතුන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරන්නෙ. කෙලින්ම මෙයින් පරීක්ෂණවලට බාධා එල්ල වෙනවා. මේ නිලධාරීන් අපේම කම්කරු කොමසාරිස්වරයෙකු නායකත්වය දරන සංවිධානයක සාමාජිකයින් නම් අපේ නිලධාරීන්ට සෘජුවම කොන්ද කෙලින් තියාගෙන රාජකාරි කරන්න බැරි තත්ත්වයක් උදාවෙනවා. ඒ මානව සම්පත් නිලධාරීන්, අපේ නි. කොමසාරිස්ගෙ ආරූඪ කරගත් බලයත් එක්ක අපේ නිලධාරීන්ට බලපෑම් එල්ල කරනවා. අද නීත්‍යනුකූලව මේ සන්ධානය පිහිටුවා ගත්තත්, මීට පෙරාතුව සිට මේ මානව සම්පත් නිලධාරීන් අපේ කම්කරු නිලධාරීන්ට බලපෑම් එල්ල කර තිබුණා. කම්කරු කොමසාරිස් ජනරාල්වරයා කම්කරු නිලධාරීන්ගේ පරීක්ෂණවල ප්‍රගතිය පරීක්ෂා කරමින් රට වටා යනවා. එතුමා මේ වෙද්දි හාම්පුතුන් සමග සන්ධනානගතවී සේවක අයිතීන් මර්දනය කිරීමේ වැඩපිළිවෙලකට අවතීර්ණවීමට නියෝජ්‍ය කොමසාරිස්වරුන්ට අවසර ලබාදී ඇති බවක් පේන්න තියෙනවා.”

කම්කරු නිලධාරීන්ගේ සංගමයේ චෝදනාව ඉතාමත් බරපතළය. තමාට මෙම කාරණයට අදාළව පැමිණිල්ලක් ලැබී ඇත්ද යන්න හා ඒ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග මොනවාදැයි අප විසින් කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතාගෙන් විමසීමක් කළෙමු.

”ඒක පැමිණිල්ලක්ම නෙවෙයි. නමුත් මේ කාරණය මට කිව්වා. මං අද ඔෆිස් එකෙන් පිට වෙනත් රාජකාරි වැඩකට ගිහින් හිටියෙ. ඒ නිසා හොයා බලන්න විදිහක් තිබ්බෙ නෑ. ඒ ගැන උඩින් පල්ලෙන් බලලා යමක් කියන්න බෑ. ඒ නිලධාරියාට රාජ්‍ය සේවකයෙකු හැටියට ඔහුට හිමි ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. එය උල්ලංඝණය කරමින් කටයුතු කර තිබුණොත් ඔහු සම්බන්ධ‍යෙන් විනයානුකූල පියවර ගන්නවා.
ඒත් එතුමට ප්‍රදේශයේ සිටින නිලධාරීන්, රජයේ කටයුතුවලට සහය දෙන ආකාරයට ඒ වගේම අපේ කාර්යයන් කාර්යක්ෂම කර ගැනීමට ඒ අයගෙන් සහය ලබා ගැනීමට ඒ වගේ දේවල් වලට නිලධාරියෙකුට රැස්වීමක් පැවැත්වීමට, අදාළ නිලධාරීන් ගෙන්වා සාකච්ඡා කිරීමට බාධාවක් නෑ. නමුත් මෙම සිද්ධියේදී ආචාරධර්මීය නොවන දෙයක් වෙලාද කියලා මං හොයලා බලනවා” කම්කරු කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේය.

කම්කරු නිලධාරීන්ගේ සංගමයේ චෝදනාවට ලක්වන කළුතර දිස්ත්‍රීක් නියෝජ්‍ය කම්කරු කොමසාරිස් (බස්නාහිර පළාත් අංක-02) ආර්.ඩබ්ලිව්. එම් පොඩිනිලමේ මහතා පවසන්නේ එවන් සංවිධානයක් පිහිටුවීමට පැවති අවශ්‍යතාවයි.

” අප හිතන විදිහට මානව සම්පත් කළමනාකරුවන් සඳහා එකමුතුවක් නෑ. සංවිධානයක් නෑ. එහෙම දෙයක් ඇති කිරීම තුළින් ඒ වෘත්තියේ සිටින අයගේ සුහදතාවය ඇති වෙනවා. අනෙක් අතට දැනුම බෙදාහදා ගන්න පුළුවන්. ඊළඟට කාර්මික සාමය ඇති කරලීම සඳහා සේවකයා හා සේවා යෝජකයා අතර මැද්දනේ සිටින්නේ මානව සම්පත් කළමනාකරුවන්. එයාලා තමා කම්කරු දෙපාර්තමේන්තුව සමග නිතර ගනුදෙනුවක ඉන්නෙ. හොඳ මානව සම්පත් ක්‍රියාකරුවන් පිරිසක් සිටිනවානම් අපට පහසුයි. කාර්මික සාමය ඇති කිරීමට ඒක හොඳ දෙයක්.”

එහෙත් කම්කරු නිලධාරීන් විසින් පෙන්වා දෙනු ලබන්නේම මෙම සුහදතාව හා බැඳීමම ස්වකීය රාජකාරි නිසි ලෙස ඉටුකිරීමට බාධාවක් වන බවයි. ඒ සම්බන්ධයෙන් විමසන ලදුව පොඩිනිලමේ මහතා මෙසේ ප්‍රතිචාර දැක්වීය.

“බාධාවක් වෙන්න බෑ. එහෙම වෙයි කියලා හිතන්නෙ ඇයි. මගෙත් එක්ක නෙවෙයි සම්බන්ධතාව තියෙන්නෙ. සාමන්‍යයෙන් බොහෝ අය වතුර වීදුරුවෙත් කිඹුල්ලු දකිනවා. එහෙම දකින අයට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මං දන්නෙ නෑ. ඕනෑම නිෂේධනීයව හිතන කෙනෙකුට නිෂේධනීයව හිතන්න පුළුවන්. අපි යමක් කරන්නේ යහපත් චේතනාවෙන් මිසක් අයහපත් චේතනාවෙන් නෙවෙයි. කාර්මික සාමය ඇති වෙනවනම් කම්කරු නිලධාරීන්ට ප්‍රශ්නයක් වෙන්න විදිහක් නෑ.” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙලෙස තම රාජකාරි කාර්යාලය තුළට බාහිර පාර්ශවයක් ගෙන්වා රැස්වීමක් පැවැත්වීමට අදාළව තම ආයතන ප්‍රධානියා වන කම්කරු කොමසාරිස් ජනරාල්වරයා දැනුවත් කර ඇත්දැයි ‘වැඩබිම’ වෙනුවෙන් අප කළ විමසුම‍ට ඔහු විසින් සැකෙවි ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ “මං නිල වශයෙන් අදාළ දැනුවත් කිරීම් කරලා තියෙන්නෙ”යන්නයි.

එහෙත් කම්කරු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අයි.සී ගමගේ මහතා පවසන්නේ මෙම රැස්වීම නිල රාජකාරි වේලාව තුළ නිල රාජකාරි ස්ථානය තුළ පැවැත්වීමම රාජ්‍ය දේපළ හා සම්පත් අවභාවිතා කිරීමක් බවයි.

”තමන්ට මොන හැකියාවන්, පෞරුෂයක් තිබුණත් තමන්ට නිල වශයෙන් රජයෙන් ලබාදී ඇති කාර්යාලය, රාජ්‍ය සම්පත් පුද්ගලික සංසද හා කාර්යයන් සඳහා යොදාගන්නට හැකියාවක් නෑ. මේ සංගමයේ රැස්වීමට නිල ලිපි ශීර්ෂය පවා යොදාගෙන ඒක පාවිච්චි කර තියෙනවා.” හෙතෙම අවධාරණය ක‍ළේය.

මේ වනවිටත් මෙම ගැටළුව නිසා කම්කරු දෙපාර්තමේන්තුව තුළ යම් නොසන්සුන්තාවක් හටගෙන තිබේ. එබැවින් කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ වගකීම විය යුත්තේ මේ පිළිබඳ නිසි විමර්ශනයක් කොට තත්ත්වය සමනය කිරීමට කටයුතු යෙදීමය. එමගින් තමන් යටතේ රාජකාරි කටයුතු කරන සියලුම නිලධාරීන්ට හා සේවකයින්ට ගෞරවනීය ලෙස වෘත්තීය කටයුතු කරගෙන යාමට ඉඩ ප්‍රස්ථාව සැලසෙන අතරම යම් ආයතනයින් පීඩාවට පත්ව සාධාරණත්වය පතා කම්කරු දෙපාර්තමේන්තුවට එන සේවකයින්ට ‘කබලෙන් ළිපට නොවැටී’ සිටින්නට හැකිය.

අදාළ ලිපියද පහතින් දැක්වෙයි..

– පී.ඩබ්ලිව් මුතුකුඩආරච්චි

වැඩබිම

 

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435