රේගු ප්‍රශ්නය අවුරුදු දොළහක් පරණයි!

(එළඹෙන ඔක්තෝම්බර් 4-5 යන දිනවල අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට අදාළව රේගු නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් සමීර වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි)

* වෘත්තීය ක්‍රිියාමාර්ගයට හේතුව මොකක්ද?

6/2006 චක්‍රලේඛය නිසා වැටුප් විෂමතාව නිසා රේගු නිලධාරීන්ට සිදුවන අසාධාරණය හේතුවෙන් තමා අපි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙන්නේ.

* මේ වෙද්දී ඒ ගැටළුවට අවුරුදු ගාණක් ගතවෙලා. ඇයි හදිසියේම වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්නේ?

මේක හදිසියේ යන ක්‍රියාමාර්ගයක් නෙවෙයි. මේ චක්‍රලේඛය ගෙනා මූලාරම්භයේ සිටම රේගු සේව‍යේ විවිධ වෘත්තීය සමිති විසින් තමන්ට සිදුවන අසාධාරණය සම්බන්ධයෙන්
දැනුම්දී තිබුණා. විශේෂයෙන්ම 2007 දී වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව විසින් ඉතා ඉක්මනින් විසඳුමක් ලබාදෙන බවට ලිඛිතව පොරොන්දු වෙලා තියෙනවා. අනෙකුත් සමාන්තර සේවාවල ගැටළු විසඳද්දී මේකට ප්‍රමුඛතාව දෙන බවටත් කියැවුණා. අවුරුදු 12ක් ගත වුණත් විසඳුමක් නෑ.

*වත්මන් ආණ්ඩුව යටතේ ලැබුණු ප්‍රතිචාර මොන වගේද?

මූලාරම්භයේ සිටම සාකච්ඡා කළා. මේ අවුරුද්දෙත් මුදල් ඇමති, ලේකම් වගේම වැටුප් හා සේවක කොමිෂන් සභාවේ නිලධාරීන් සමග සාකච්ඡා වට ගණනාවක් පැවත්වුණා. වැටුප් විෂතාව ඉවත් කිරීමට අදාළව අප විසින් ඉදිරිපත් කළ යෝජනා වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව වරින් වර සාකච්ඡා කරලා ඊයේ පැවති සාකච්ඡාවෙදි යම් එකඟතාවකට එන්න හැකිවුණා.

* ඒ එකඟතාව මොකක්ද?

මෙතුවක් පැවති සාකච්ඡාවලදී මෙම වැටුප් විෂමතාව ඉවත්කිරීමට අදාළව අපගේ යෝජනා හා දුක්ගැනවිලි සම්බන්ධයෙන් විෂයභාර ඇමතිවරයා ප්‍රමුඛ වගකිව යුතු සෙසු නිලධාරීන් බොහොමයක් නම්‍යශීලි බවක් දැක්වුවත් වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව තමා දැඩි අනම්‍ය ප්‍රතිපත්තියක හිටියේ. ඒත් ඊයේ පැවති සාකච්ඡාවේදී අපගේ යෝජනා සම්බන්ධව එහි සභාපතිවරයා සුභවාදී ස්ථාවරයකට ආවා. ඒ අනුව අපගේ යෝජනා කොමිෂන් සභාවට නැවත යොමු කොට එහි නිර්දේශ ලබාගැනීමට එකඟවුණා. ඒ අනුව මේ සාකච්ඡාව සාර්ථක සාකච්ඡාවක්.

* වෘත්තීය සමිති හැටියට මෙම සාකච්ඡාවට එක්වුණේ කවුද?

වැටුප් කොමිෂන් සභාවේ මූලස්ථානයේ පැවති එම සාකච්ඡාවේදී රේගු නිලධාරීන්ගේ සංගමය, රේගු අධිකාරීවරුන්ගේ සංගමය, රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය නියෝජනය වුණා.

* මේ වෙද්දි සැලසුම් කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවා තියෙනවද?

නෑ. දැනට අත්හිටුවා නෑ. මොකද අපි විසින් වෘත්තීය ක්‍රියාමාර්ගය සැලසුම් කර තියෙන්නේ ඔක්තෝම්බර් 4-5 යන දිනවල. අපට වැටුප් කොමිෂමේ එකඟතාව ලිඛිතව ලබාදීමට පොරොන්දුවුණේ 2දා. ඒ කියන්නෙ එන සතියේ අඟහරුවාදා. වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අවසන් තීරණයක් අඟහරුවාදාට ගන්න පුළුවන්.

* ඒ කියන්නේ වෘත්තීය ක්‍රියාමාර්ගය පැවැත්වෙනවා?

දැනට ඔව්. අඟහරුවාදා ලැබෙන තීරණය අනුව ඒ තීරණය වෙනස් වෙන්න පුළුවන්.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435