හොර පාරේ පත්වීම් වලට එරෙහිව ගුරුවරුන් හෙට මහ පාරේ!

දේශපාලන පළිගැනීමට ලක්වූයේ යයි කියමින් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට, ශ්‍රී ලංකා විදුහල්පති සේවයට, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයට නීති විරෝධී පත්වීම් 1200ක් ලබාදීම ආණඩුව සූදානම්වන බව ලංකා ගුරු සංගමය පවසයි.

මෙම සේවාවන්ට අදාළව සේවා ව්‍යවස්ථාවක් තිබුණත් එකී සේවා ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් මෙම පත්වීම් ලබාදීමට ක්‍රියා කරමින් සිටින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පවසයි.

වැඩබිම විසින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ මේ පිළිබඳව කල් තියා සැලවීමෙක් ඉක්බිතිව අවස්ථා ගණනාවදීම මෙම නීති විරෝධී හා සදාචාර විරෝධී ක්‍රියාව නතර කරන මෙන් ඉල්ලා සිටියද, කිසිදු ඵලක් නොවූ බවයි.

මේ වනවිට මෙම නීති විරෝධී හා සදාචාර විරෝධී පත්වීම් සඳහා කැබිනට් මණ්ඩල අනුමැතියද, ලැබී ඇති බව හෙතෙම සඳහන් කළේය.

ඒ නිසාම  දිනයේ (04) ගුරු-විදුහල්පති-අධ්‍යාපනඥ-අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍ර නියෝජනය කරන සියලුම දෙනා දීප ව්‍යාප්තව වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹෙන බව ඔහු පෙන්වාදුන්නේය.

කෙසේ වෙතත් මේ පිළිබඳව අද (03) පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවක් පැවැත්වූ බවත්, එහිදී අග්‍රාමාත්‍යවරයා නිසි සාධනිය පිළිතුරක් ලබා නොදී සාකච්ඡා කොට තීරණයක් ගත යුතුව ඇති බව පමණක් අවසානයේදී දැනුම්දුන් බවත් ස්ටාලින් මහතා සිහිපත් කළේය.

මේ හේතුව නිසා සැලසුම් කළ පරිදි වෘත්තීය ක්‍රියාමාර්ගය හෙට දිනයේ දියත් කරන බවත්, බත්තරමුල්ල – බුද්ධදාස ක්‍රීඩාංගණය අසළින් ආරම්භ කරන විරෝධතා පාගමන, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය දක්වා ගමන් කරන බව ඔහු අවධාරණය කළේය.

ගුරු විද්‍යාල 8ක, අධ්‍යාපන විද්‍යා පීඨ 20ක, ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් මෙම වර්ජනයට එක්වන බවත්, අධ්‍යාපන අමාත්‍යංශය, විභාග දෙපාර්තමේන්තුව, පළාත් අධ්‍යාපන කාර්යාල, කලාප කාර්යාල, අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන්, ගුරුවරුන් විදුහල්පතිවරුන් සියලුමදෙනා හෙට දිනයේ වැඩවර්ජනයට එකතුවනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435