14(1)(ඈ) සමග ආණ්ඩුවයි හාම්පුතයි ATG සේවක අපි

නිදහස් සැමරුම 71 වන වරටත් අවසන් වූ පසු මේ මාතෘකාව මේ විදියෙන් ගත්තම ඒක එක්තරා ආකාරයක අපභ‍්‍රංසයක්ම තමා.

නමුත් ඒ විදියෙන් ඒක ගත්තෙ අවුරුදු 05 ක ATG සිලෝන් පුද්ගලික සමාගමේ සේවකයින්ගේ මූලික අයිතිවාසිකම් හාම්පුතා විසින් ඉතාම මෘග ආකාරයෙන් අහෝසි කිරීමේ කතාව අනෙක් බොහෝ සේවක සේවිකාවන්ටත් බලපාන නිසයි.

මේ අවුරුදු 05 ක ATG සිලෝන් සමාගමේ කතාව ඉතාම කෙටියෙන් කියනවා නම්, අපේ වෘත්තීය සමිති ශාඛාව හැදූ දවසේ සිට එය කඩා දමන්නට සේවක සේවිකාවන්ට තර්ජනය කළ, සල්ලි වලට ගැනීමට තැත් කළ, බොරු චෝදනා මත දඩුවම් කළ, මැරයින් ලවා මගතොටදී පහර දුන්න, සේවක මත විමසුමේදී සාමුහිකව කේවල් කිරීමේ තම නියෝජිතයා ලෙස වෘත්තීය සමිතිය පිළිගැනීමට බහුතර සේවකයින් ඡුන්දය දුන්නත් එයද පිළිගැනීමට හාම්පුතුන් සූදානම් නොවුනු, ඒ සියලූ තර්ජන ගර්ජන සමග සමිති ශාඛාවට දෙවසරක් පිරීම නිමිත්තෙන් නිල වශයෙන් ලේ දන්දීමේ ව්‍යාපාරයක් සංවිධානය කර එහි ප‍්‍රචාරක දැන්වීමක් ආයතන දැන්වීම් පුවරුවේ ප‍්‍රදර්ශනය කිරීම විනය විරෝධී යැයි සමිති ශාඛාවේ 05 දෙනෙකු ගැන වසර 03 ක් පුරා ඊනියා විනය පරික්‍ෂනයක් පවත්වා අවසානයේ නීති විරෝධී ලෙස ඔවුන් සේවයෙන් පහ කිරීමට විරුද්ධව පසුගිය මාසයේ සියලූ සේවකයින් වැඩ වර්ජනයක් කිරීම දක්වා හාම්පුතුන්ගේ නීච, අශීලාචාර කතාවය.

එය අපි ඔබට ඉදිරිපත් කරන්නේ හුදෙක් ATG සිලෝන් සමාගමේ කතාව හැටියටම නෙවෙයි. එය අප ඉදිරිපත් කරන්නේ ATG සිලෝන් සමාගමේ සේවක සේවිකාවන්ට සහයෝගය දැක්වීමට හවුල් වෙන්න යැයි ආරාධනා කරන අතරම, එය මුලූ කම්කරු පංතියටම බලපාන බරපතල කාරණාවක් යැයි අවධාරණයක්ද ඇතිවයි.

ඒ නිසා තමයි අපි අහන්නේ දන්නවද මොකද්ද 14(1)(ඈ) කියන්නෙ කියලා?

14(1)(ඈ) කියන්නේ තවමත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි තුන්වන පරිච්ඡේදයේ සෑම පුරවැසියෙකුටම ‘‘වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැඳීමේ නිදහස’’  කියලා සහතික කර තියෙන මූලික අයිතිවාසිකම.

ඒ මූලික අයිතිය මේ රටේ ලක්ෂ 80 ක් පමණ වන පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට තිබෙනවාද? මොවුන්ගෙන් ATG සිලෝන් වැනි රබර් ආශි‍්‍රත නිෂ්පාදන, සම්භාණ්ඩ නිෂ්පාදන වැනි නිෂ්පාදනද කෙරෙන කර්මාන්ත ක්ෂ්ත‍්‍රයට අමතරව, ලක්ෂ 4.4 ක් විතර වැඩ කරන්නේ ඇඟළුම් අපනයන නිෂ්පාදන කර්මාන්ත ශාලා 350කය. මේ ඇඟළුම් නිෂ්පාදන අපනයනය කිරීමෙන් පසුගිය අවුරුද්දේ ඩොලර දස ලක්ෂ 5,000 ක ආදායමක් රටට උපයා දුන්නා යැයි මාධ්‍ය වාර්තා තිබුණා. මේ ආදායම සොයා දුන්න අර ලක්ෂ 4.4 ක සේවක සේවිකාවන්ගෙන් කී දෙනෙකුට ‘‘වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැඳීමේ නිදහස’’ ලබාදී තිබෙනවාද? ඇඟළුම් කර්මාන්ත 350 න් කීයක වෘත්තීය සමිති පිළිගෙන තියෙනවාද?

නිදහස් වෙළඳ කලාප හා කාර්මික ප‍්‍රදේශ 14 හි ATG සිලෝන් වැනි හාම්පුතුන් යටතේ ඉන්නා සේවක සේවිකාවන් කී දෙනෙකුට මේ මූලික අයිතිය බුක්ති විඳීමේ අවසරය දීලා තියෙනවාද?

දැන් අපේ ප‍්‍රශ්නය මේකයි. මේ ලක්ෂ 80 ක් කියන්නේ ඡුන්ද අයිතිය තියෙන පිරිසක්. මේ අයට 14(1)(ඈ) යටතේ ‘‘වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැඳීමේ නිදහස’’ සහතිකයි කියලා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ලියලා තිබුණට, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න ජනතාවගේ ඡන්දයෙන් පත් වෙන ආණ්ඩු කටයුතු නොකරන්නේ ඇයි?

අපි ඒක මෙහෙම ඇහුවොත් මොකද? ආණ්ඩුවේ සියලූ අනුග‍්‍රහ ඇතිව 14(1)(උ) යටතේ සහතික කෙරෙන මූලික අයිතියක් වන ‘‘එකලාව හෝ අන් අය හා සමග යම් නිත්‍යානුකූල  කර්මාන්තයක, වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්තවීමේ නිදහස’’ මේ රටේ වෙනත් නීති මගින්, රාජ්‍ය සංස්ථා හා අධිකරණ කි‍්‍රයාවලිය මගින්ද ආණ්ඩුවේ දේශපාලන වුවමනා මතින්ද ATG සිලෝන් වැනි පෞද්ගලික අංශයේ හාම්පුතුන්ට සහතික කරන විට, පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ටද 14(1)(ඈ) යටතේ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට එවැනිම සැළකීමක් ලබා දිය නොහැක්කේ ඇයි? ආණ්ඩුවත් රාජ්‍ය ආයතනත් හාම්පුතුන්ගේ ඓන්ද්‍රීය සංවිධාන ලෙස වාණිජ මණ්ඩල, හාම්පුතුන්ගේ සම්මේලන, වැවිලි හාම්පුතුන්ගේ සංවිධාන, ඇඟළුම් නිෂ්පාදන අපනයනකරුවන්ගේ සම්මේලන, කටුනායක අපනයන නිෂ්පාදකයින්ගේ සම්මේලනය වැනි සියලූ සංවිධාන පිළිගනිමින් ඔවුන්ට 14(1)(ඇ) යටතේ ‘‘සමාගමයට’’ ඇති අයිතිය සහතික කරන විට, පෞද්ගලික අංශයේ සේවකයින්ගේ 14(1)(ඈ) යටතේ වෘත්තීය සමිති අයිතියද එළෙසින්ම සහතික කරන්නට බැරි ඇයි?

තමන්ට  ඕනෑම ආකාරයකින් සංවිධානයවී තමන්ගේ ලාභ රේට්ටු වැඩි කර ගැනීමට අවශ්‍ය සහන සහ පහසුකම් ආණ්ඩු සමගින් කේවල් කිරීමට ඇති අයිතිය ATG සිලෝන් වැනි හාම්පුතුන් විසින් අඩු නැතිව බුක්ති විඳින අතර, ඔවුන්ගේ ලාභයට හවුල්වන තම සේවකයින් මම ඒ මූලික අයිතිය ඉල්ලා නීත්‍යානුකූල වැඩ වර්ජනය යෙදෙන විට එම වැඩ වර්ජන විසඳනවා වෙනුවට වර්ජකයින් සියලූ දෙනා පහකර වන්දි ගෙවන බවට උදම් ඇනීමට ATG සිලෝන් සමාගමට ඉඩ දී ආණ්ඩුව නිහඞව සිටින්නේ ඇයි?

පසුගිය දවස්වල මාධ්‍යයේ කතා කළ ‘‘අභිමානනීය ශී‍්‍ර ලංකාව’’ කියන්නේ මේ ශී‍්‍ර ලංකාවටද? සේවකයින්ට අයිතිවාසිකම් නොදෙන හාම්පුතුන්ගේ ශී‍්‍ර ලංකාවටද?

මේක ATG සිලෝන් සේවකයින්ගේ ප‍්‍රශ්නයක් විතරක් නෙවෙයි කියලා අපි කියන්නේ ඒකයි. මේක මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ හැමෝගෙම ප‍්‍රශ්නයක්. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අඩංගු මූලික අයිතිවාසිකම් සමාජයේ සුළු කොටසකට පමණක් සීමා කර බහුතරයකට අහිමි කෙරෙන විට, ඒ රට නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වෙන්නෙ කොහොමද කියලා අපි ඔබෙන් අහන්නේ?

ඒ නිසා මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ඔබ පෙනී සිටින්නේ අවංකව නම්, සේවකයින්ට වෘත්තීය සමිති ලෙස සංවිධානය වන්නට ඇති මූලික අයිතිය දිනා ගැනීමට අපත් එක්ක හවුල් වෙන්න. ATG සිලෝන් සේවක වර්ජනයට සහායක් ලෙස ආණ්ඩුවට සහ හාම්පුතුන්ට බල කරන්නට අපත් එක්ක හවුල් වෙන්න.

නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435