2015දී වෘත්තීය සමිති මුහුණ දෙන ගැටලු මොනවා ද?

 

ෂරන් බරෝ – ජාත්‍යන්තර වෘත්තීය සමිති සම්මේලනයේ මහ ලේකම්

2015දී ජාත්‍යන්තර වෘත්තීය සමිති ව්‍යාපාරය අභියෝග කීපයකට මුහුණ දෙනු ඇත. මහ ලේකම් ෂරන් බරෝ ඒ පිළිබඳ ඇගේ දැක්ම මෙහිදී ඉදිරිපත් කරයි. විශේෂයෙන් ම, 2015, 2016 වසරවලදී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සාකච්ඡා වීමට නියමිත වැඩ වර්ජනය කිරීමේ අයිතිය හා ගෝලීය සැපයුම් ජාල පිළිබඳ ඇය අවධානය යොමු කරයි.

ප්‍රශ්නය: 2014 වසර දෙස ආපසු බලන විට ජාත්‍යන්තර වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් අත්පත් කරගෙන තිබෙන ජයග්‍රහණ මොනවාද? වර්ධනය විය යුතු අංශ මොනවා ද?

පිළිතුර: ගෝලීය ආර්ථික පරිසරය වැඩ කරන ජනතාවට හිතවාදී තත්වයක නැහැ. ගෝලීය ආර්ථිකය තවම හැඩගස්වා නැහැ. විරැකියාව තවමත් ගෝලීය මුල්‍ය අර්බුදය ආරම්භයේදී තිබුණු මට්ටමට වඩා ඉහළයි. මිලියන ගණන් කම්කරුවන්ට රැකියා හා සමාජාරක්ෂණය නැහැ. බොහෝ රටවල ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය සීමා වෙමින් තිබෙනවා. ආණ්ඩු හා ආයතන කෙරෙහි විශ්වාසයේ මට්ටම මෑත ඉතිහාසයේ කවරදාටත් වඩා අඩු වී තිබෙනවා.

වෘත්තීය සමිති ව්‍යාපාරය මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා ශක්තිමත් කළ යුතු බව මැයි මාසයේදී බර්ලින්හිදී හමු වූ ජාත්‍යන්තර වෘත්තීය සමිති සම්මේලනයේ සමුළුව තීරණය කළා. ඉතාම නව්‍ය සහභාගිත්ව ස්වරූපයකින් සැලසුම් කර තිබුණු එහිදී ප්‍රධාන ක්ෂේත්‍ර තුනක වැඩ සැලසුම් අනුමත කරනු ලැබුවා.

  • වෘත්තීය සමිති වර්ධනය
  • ස්ථාවර රැකියා, සුරක්ෂිත ආදායම් හා සමාජ ආරක්ෂණය
  • හිමිකම් තහවුරු කිරීම

සමාජ හා ආර්ථික යුක්තිය ඉටු වන ලෝකයක් නිර්මානය කරන්නට නම් වෘත්තීය සමිති වර්ධනය වීම අත්‍යවශ්‍යයි. ජාත්‍යන්තර වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සංවිධාන විද්‍යායතනය වෘත්තීය සමිති වර්ධනය සඳහා ඉවහල් වන ප්‍රධාන ආයතනයක්. එමගින් පසුගිය වසර අවසානය වන විට පුද්ගලයන් 500කට වැඩි පිරිසක් පුහුණු කරනු ලැබුවා. එම වැඩසටහන ඔස්සේ ගොඩනැගුණු කුසලතා භාවිතා කරමින් තරුණ කාන්තාවන් හා පිරිමින් විශාල පිරිසක් ලෝකයේ සෑම කලාපයක ම පාහේ වෘත්තීය සමිති සංවිධාන කටයුතුවල යෙදී සිටිනවා. අප කරන සෑම කටයුත්තක ම වැදගත් ම දෙය වන්නේ සංවිධානයයි. සංවිධාන ඉලක්ක හා උපායමාර්ග අපගේ ක්‍රියාකාරකම්වලට ඇතුළත් කර ගැනීම සඳහා 2014දී විශාල පරිශ්‍රමයක් දැරුවා. ඒ සඳහා අනුබද්ධ සංවිධාන හා ගෝලීය වෘත්තීය සමිති සම්මේලන දායක වුණා.

ස්ථාවර රැකියාවලට, සුරක්ෂිත ආදායම්වලට හා සමාජ ආරක්ෂාවට අදාළව අපි පසුගිය වසරේදී සැබෑ ප්‍රගතියක් වෙත ළඟා වුණා. තවත් කළ යුතු දේ බොහොමයි. එක්සත් ජාතීන්ගේ 2015න් පසු අභිමතාර්ථ වැනි ජාත්‍යන්තර ක්‍රියාවලි තුළ අපගේ ඉල්ලීම්වලට පිළිගැනීම ලැබුණා. ආර්ථික යුක්තිය හා සංවර්ධන ප්‍රශ්න හා සම්බන්ධව වැඩ කරන වෙනත් සංවිධාන සමගත් අපි ශක්තිමත් සම්බන්ධතා ගොඩනගා ගත්තා.

මෙහි වැදගත් කොටසක් වන්නේ අවිධිමත් ආර්ථිකයේ කම්කරුවන් වෘත්තීය සමිතිවල සංවිධානය කිරීමට හා ඔවුන්ගේ රැකියා විධිමත් කිරීමට ගත් පියවරයි. එය දැවැන්ත කාර්යයකි. මෙම කම්කරුවන්ට තම අභිමානය හා වැඩ කිරීමේ හිමිකම වෙනුවෙන් සංවිධානය වීමට අවශ්‍යව ඇති බව දන්නා අපි නිරතුරුව ම ඔවුන්ට උපකාර කළා.

ස්ථායී රැකියාවලට අදාළවත් අපි විශාල ප්‍රගතියක් අත් කර ගත්තා. දේශගුණික විපර්යාස මෙලොව ජීවත් වන කාටත් මුහුණ දෙන්නට සිදු වන දැවැන්ත අභියෝගයක්. ඒ සම්බන්ධයෙන් ලෝකයේ රජයන්ගේ අවධානය ප්‍රමාණවත් තරම් යොමු වී නැහැ. එහෙත්, අපගේ න්‍යාය පත්‍රය සැකසී තිබෙන්නේ අඩුවෙන් කාබන් දහනය කරන ආර්ථිකයක් ගොඩනගන ගමන් ම රැකියා නිර්මානය කිරීම කෙරෙහියි. හිමිකම් දිනා ගැනීම ඉතිහාසය පුරා ම වෘත්තීය සමිති ව්‍යාපාරය හමුවේ තිබෙන අභියෝගයක්. අපි රටවල් ලේඛනයක් සකසාගෙන කම්කරුවන්ට හා කම්කරු අයිතිවාසිකම්වලට ඇති තර්ජන වැඩි ම රටවල් ප්‍රමුඛ ලෙස සලකා කටයුතු කරනවා. එමගින් අපට සහයෝගිතාව වැඩියෙන් ම අවශ්‍ය තැනට අවධානය යොමු කරන්නට හැකි වී තිබෙනවා. ඒ අතරතුර ම ලොව සැම තැන ම කම්කරු හිමිකම් සම්බන්ධයෙන් අපගේ ව්‍යාපාරය පවත්වාගෙන යා හැකි වී තිබෙනවා.

අපි අපගේ නීතිමය කටයුතු පුළුල් කර තිබෙනවා. 2014දී නීතිඥයන්ගේ ගෝලීය ජාලයක් ගොඩනැගීමට කටයුතු කර තිබෙනවා. ඔවුන් කම්කරු හිමිකම් ආරක්ෂා කර ගැනීම සඳහා මැදිහත් වීමට සූදානමින් සිටිනවා. අප ප්‍රකාශයට පත් කරන ගෝලීය දර්ශකයට ඇතුළත් වීම සඳහා බොහෝ රටවලින් තරගයක් තිබෙනවා. වෘත්තීය සමිතිකරණය ඉදිරියට ගෙන යාමේදී හා ගෘහස්ථ කම්කරුවන්ගේ හිමිකම් ප්‍රවර්ධනය කිරීමේදී අපි සාර්ථක වී තිබෙනවා. ශ්‍රම වෙළඳපොළේ හා වෘත්තීය සමිතිවල කාන්තා සහභාගිත්වය වර්ධනය කිරීම සඳහා වූ අපගේ “Count Us In” වැඩසටහන වෙත උණුසුම් ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා.

නූතන වහල් ශ්‍රමය පිළිබඳ අපගේ ව්‍යාපාරය ලොව පුරා ම පැතිරී තිබෙනවා. 2022 වසරේ ‍පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය අ‍පේක්ෂා කරන ක‍ටාර් රාජ්‍යය ඇතුළ ගල්ෆ් රටවල කෆාලා ක්‍රමයේ අර්බුදය අප මතු කර දක්වා තිබෙනවා. කටාර් පාලකයන් පමණක් නොව ලෝක පාපන්දු සම්මේලනයත් තවමත් මූලික ශ්‍රම හිමිකම් කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු කර නැහැ. එහෙත්,  අපි දිගට ම බලපෑම් කරනවා. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව කම්කරු හිමිකම් හා ක්‍රීඩා කටයුතු සම්බන්ධයෙන් ගෙන තිබෙන පියවරවලින් හොඳ නායකත්වයක් පෙන්නුම් කර තිබෙන බව කිව යුතුයි. අනාගතයේදී ඔලිම්පික් තරගාවලි සඳහා සත්කාරකත්වය අපේක්ෂා කරන රටවල් කම්කරු හිමිකම්වලට ගරු කරන ආකාරය පෙන්වා දිය යුතුයි.

අරාබි රටවල් වෙනුවෙන් උප කලාපීය ව්‍යූහයක් ගොඩනගා ගැනීමට හැකි වීම 2014දී ලබා ගත් වැදගත් ජයග්‍රහණයක්. කම්කරු හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් නම් දැරූ මෙම කලාපයේ අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී වෘත්තීය සමිතිවලට දැන් තමන්ගේ ම කලාපීය ව්‍යූහයක් තිබෙනවා. ඒ ජාත්‍යන්තර වෘත්තිය සමිති සම්මේලනයේ ආසියා-ශාන්තිකර හා අප්‍රිකානු කලාපයන්හි කලාපීය සංවිධානවලට අමතරවයි.

අපගේ න්‍යාය පත්‍රය සාර්ථක කර ගන්නට හැකි වුණේ ලොව පුරා අපගේ අනුබද්ධ සංවිධාන, ගෝලීය වෘත්තීය සමිති සම්මේලන හා වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් නිසායි. ලොව සෑම කොණක ම බොහෝ මිනිසුන් වැඩ කරන ජනතාව වෙනුවෙන් සමානාත්මතාව හා යුක්තිය වෙනුවෙන් දැක්වූ කැප කිරීම හා අධිෂ්ඨානය පිළිබඳ මගේ උපහාරය හිමි වෙනවා.

ප්‍රශ්නය: ඔබ ජාත්‍යන්තර වෘත්තීය සමිති  සම්මේලනයේ මහ ලේකම් ලෙස නැවත තේරී පත් වුණා. මෙම ධුර කාලයේදී ඔබ මුහුණ දෙන ප්‍රධාන අභියෝග මොනවා ද?

පිළිතුර: අපි ප්‍රධාන පෙරමුණු තුනක ක්‍රියාමාර්ග සැලසුම් කර තිබෙනවා. එවා සකසා ගත්තේ අපගේ සමුළුවේදී හා දෙසැම්බර් මස පැවති මහ සභාවේදීයි.

  • ගෝලීය සැපයුම් ජාල, අවම ජීවන වේතන හා අවිධිමත් වැඩ විධිමත් කිරීම, ශිෂ්ට අවම වැටුප් නීතිගත කිරීම සම්බන්ධයෙන් ගෝලීය වෘත්තිය සමිති සම්මේලනය හා අනුබද්ධ සංවිධාන සමග එකට වැඩ කිරීම හා එම අවශ්‍යතාව වෙනුවෙන් වගවීමට ගෝලීය සමාගම්වලට බල කිරීම
  • කටාර් ව්‍යාපාරය සමග එක්ව කෆාලා ක්‍රමය අවසන් කිරීම හා වහල් හා බලහත්කාර ශ්‍රමය පිටුදැකීම වෙනුවෙන් වැඩ කිරීම. ‍ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ බලහත්කාර ශ්‍රම සම්මුතිය ගෝලීය යථාර්ථයක් බවට පත් කිරීම
  • දේශගුණික යුක්තිය හා කර්මාන්ත පරිවර්තනය. එක්සත් ජාතීන්ගේ පැරිස් සමුළුවේදී දේශගුණික ගිවිසුම්වලට එළඹීම සඳහා බල කිරීම. අඩු කාබන් සංදර්භයක් තුළ, සුරක්ෂිත, ශිෂ්ට රැකියා සඳහා පරිවර්තනය වීම සඳහා සේව්‍යයන් සමග සාකච්ඡා කරමින් එය දිරිගැන්වීම

පසුගිය වසර කීපයේදී අප විසින් සකසා තිබෙන පරිසරය තුළ කාන්තා අයිතිවාසිකම්, සංක්‍රමණය, තරුණ ජනයා සඳහා රැකියා, කම්කරු හිමිකම්, සංවර්ධනය හා වෙනත් මූලික ප්‍රශ්න කෙරෙහි මැදිහත්වීම අපගේ උපායමාර්ගික වැඩසටහන තුළ සංවර්ධනය කරනු ලැබේ. වෘත්තීය සෞඛ්‍යය හා ආරක්ෂාව පිළිබඳ අපගේ මැදිහත්වීම වැඩිදියුණු කරන්නට ද අපි සැලසුම් කරමින් සිටිමු. කලාපීය හා ජාතික මට්ටම්වලදී වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන්ගේ සහාය හා කැපවීම ලබා ගනිමින් ඒ වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ඇත.

ප්‍රශ්නය: 2015දී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සාකච්ඡා තුළ වැදගත් ම තේමාව වන්නේ වර්ජනය කිරීමේ හිමිකම සම්බන්ධයෙන් සේවායෝජකයන් සමග ඇති වන ආරාවුල් ය. මෙම සාකච්ඡාවලදී ඔබ බලාපොරොත්තු වන දේ මොනවා ද?

පිළිතුර: ජාත්‍යන්තර කම්කරු සංවිධානය ආශ්‍රිතව දශක ගණනාවක් තිස්සේ ගොඩනැගුණු නීති වෙනස් කිරීමට සේවායෝජකයන් දරණ දරදඬු උත්සාහය විස්මයජනකයි. දිගින් දිගට ම මෙම උත්සාහය පවතිනවා නම්, එය ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යාමට සිදු වෙනවා. වැඩ වර්ජනය කිරීමේ හිමිකම අහිමි කළොත් සියලු කම්කරුවන් වහලුන් බවට පත් වේවි. අපි ජාත්‍යන්තර කම්කරු සංවිධානය ආරක්ෂා කර ගනිමින්, වැඩ වර්ජනය කිරීමේ අයිතිය එහි ප්‍රධාන තේමාවක් බවට පත් කරනවා.

ප්‍රශ්නය: ජාත්‍යන්තර කම්කරු සංවිධානය 2016දී ගෝලීය සැපයුම් ජාල පිළිබඳ විවාදයක් දියත් කරනවා. මෙම සාකච්ඡාවේදී වෘත්තීය සමිතිවල කාර්යභාරය කෙබඳු විය යුතු යයි ඔබ සිතනවා ද?

පිළිතුර: අපි මේ වෙනුවෙන් ලොකු බරක් තබනවා. වර්තමාන සැපයුම් ජාල නිසා මිලියන ගණනාවක් කම්කරුවන් සූරාකෑමට, අවිධිමත් ශ්‍රමයට හා ඇතැම් විට බලහත්කාර ශ්‍රමයට ද යටත් කර තිබෙනවා. බොහෝ කම්කරුවන් ජීවිත අනතුරුවලට ද ලක් වී තිබෙනවා. අපි ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සාකච්ඡාව සඳහා පර්යේෂණ කටයුතු, ලේඛන හා ප්‍රතිපත්ති සම්පාදනය කරමින් සිටිනවා. එහෙත්, මෙම කරුණ පිළිබඳ කතා කිරීමට අපි 2016 වනතුරු බලා ඉන්නේ නැහැ. 2015 වසරේ අපගේ කටයුතුවලත් වැදගත් පාර්ශ්වයක් වනු ඇත්තේ සැපයුම් ජාලයි. වෘත්තිය සමිති නියෝජනය, ශිෂ්ට රැකියා, සාධාරණ වැටුප් හා සුවදායී හා ආරක්ෂිත රැකියා වෙනුවෙන් කම්කරු අරගලවලට අපි සහයෝගය දක්වනවා. වර්තමානයේදී සැපයුම් ජාල විසින් ලක්ෂ සංඛ්‍යාත නිවෙස්වලට ලබා දෙන්නේ දරිද්‍රතාවයි. ඒවායේ රැකියා කරන්නන්ගේ පවුල් බොහොමයක් ජීවත් වන්නේ එක්සත් ජාතීන්ගේ දරිද්‍රතා රේඛාවට පහළින්. එය වෙනස් කරන්නට අපි මැදිහත් වෙනවා.

වැඩබිම

 

 

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435