2015 මැයි දිනයෙන් පසු – කම්කරුවන් හා වෘත්තිය සමිති  

කුසල් පෙරේරා

 

මැයි දිනයෙන් පසු අවුරුද්ද මේ රටේ කම්කරුවන්ට විශේෂ අවුරුද්දක් වන්නේ යැයි දැනට රටේ දේශපාලනය පෙළ ගැසෙන ආකාරයට අනුමාන කළ හැක. එහි විශේෂත්වය වනු ඇත්තේ වාසිදායක පැත්තට නොවීම නිසා ක්‍රියාකාරීන්ගේ වැඩි අවධානයක් ඉල්ලා සිටීමය. ආණ්ඩු පාලනයේ නියෝජනයක් තිබූවත් නැතත් වෘත්තීය සමිති නායකයින්ටද ඉදිරි අවුරුද්ද එතරම් පහසු අවුරුද්දක් නොවනු ඇත. තම පැවැත්ම රැක ගැනීමේ අවශ්‍යතාවය ඉතිරිව ඇති බැවිනි. එම පෙළ ගැසීම් මෙලෙසින් තේරුම් ගැනීමට උත්සාහ කිරීම වැදගත් සාකච්ඡාවකට හේතු වන්නේ නම්, එය ඛෙහෙවින් ප්‍රයෝජනවත් වේ යැයි සිතමි.

 

1. රාජපක්ෂ පාලනයේ ස්වරූපය

ජනවාරි 08 වන දින මේ රටේ විශාල වෙනසකට හේතු වූයේ යැයි කීම අතිශයෝක්තියකි. ඊට පෙර රාජපක්ෂ පාලනය සමග වූ මහ පරිමාන දූෂණ හා වංචා පිළිබඳ කතාව එනමුත් ඇත්තය. එතෙක් පැවති ආණ්ඩු ගැන කිසි සඳහනක් නැතිව රාජපක්ෂ ආණ්ඩු පාලනය මේ රටේ අන්ත දූෂිත පාලනයක් යැයි කීම එතරම්ම නිවැරදි නොවන්නකි. පෞද්ගලික ප්‍රාග්ධනය හා දේශපාලන බලයත් රාජ්‍ය නිලධරයත් හවුල් වන මේ ආකාරයේ මහ පරිමාන දූෂණ හා වංචා වලට මුල පුරන්නේ 1978 න් පසුව පමණි. එතැනින් පසු හැම ආණ්ඩුවක්ම, ජයවර්ධනගේ සිට ප්‍රේමදාස පසුකර ඉතා කෙටි කාලයක් වූ විජේතුංගද ඇතුලූව චන්ද්‍රිකා බණ්ඩාරනායක දක්වා හැම ආණ්ඩුවක්ම දූෂණ හා වංචා සමගින් පැවති ආණ්ඩු විය. ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ පැවැත්ම ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයට සීමා කෙරුණි. එහි උපරිමයට පැමිණි ආණ්ඩු පාලනය රාජපක්ෂ පාලනය යැයි කීම ඒ අනුව වඩා නිවැරදිය.

ජනාධිපති රාජපක්ෂගේ පාලනය යුග දෙකකට බෙදිය හැකිය. එහි පළමු යුගය, උතුරු නැගෙනහිර යුද්ධය සමගින් අතිශය අමනුෂ්‍ය, දුෂ්ඨ පාලනයක් පවත්වා ගැනීමට සිංහල මහ ජාතිවාදය උස්සාගත් පාලන යුගයක් විය. ඉතාම මෘග ලෙස යුද්ධය නිමා කිරීමට සිංහල-බෞද්ධ අන්තවාදී මතය සමාජයේ බලසම්පන්න මතයක් ලෙස රාජ්‍ය අනුග්‍රහය ඇතිව තහවුරු කෙරිණ. එකල රට පුරා කුරිරු හමුදා මැදිහත්වීම් සඳහා මේ සිංහල දේශප්‍රේමය ප්‍රයෝජනවත් විය. ඒ යුගය මහ පරිමාණ දූෂණ හා වංචා සිදු කෙරුනු යුගයක්ම නොවීය.

එම පසුබිමෙහි රාජපක්ෂ පාලනයේ පළමු වසර 04, වෘත්තීය සමිති පවා යම් නිහැඬියාවකින් පසු වූ කාලයක් විය. සාම්ප්‍රදායික වෘත්තීය සමිති රාජපක්ෂ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල අනුබද්ධිත වෘත්තීය සමිති වූයෙන් ඔවුහු රාජපක්ෂ ආණ්ඩුව ආරක්ෂා කරගැනීමට වැඩි බරක් තැබූහ. ප්‍රධාන විපක්ෂය ද රාජපක්ෂ පාලනයේ දේශපාලනය අභියෝග කිරීමට සූදානම් නොවීය. ආණ්ඩුව හා සම්බන්ධයක් නොතිබුණු අනෙක් වෘත්තීය සමිති වලටද තනිව ආණ්ඩුවට එරෙහිව ක්‍රියා කළ හැකි ශක්තියක් නොවින. අපගේ සමිතිගත ශ්‍රමය සමස්ථ වැටුප්ලාභී ශ්‍රමයෙන් සියයට 14 ක් වත් නොවන අතිශය සුළු ප්‍රතිශතයක් වීම එහි එක් වැදගත් සාධයක් වන හෙයිනි. සමස්ථයක් ලෙස එම පළමු යුගය, ආණ්ඩු විරෝධය සිංහල දේශප්‍රේමයෙන් යටපත් කරගත් ජාතිවාදී යුගයක් විය.

දෙවන රාජපක්ෂ යුගය ආරම්භ වන්නේ 2009 මැයි 19 වන දින යුධ ජයග්‍රහණය ප්‍රකාශ කිරීමෙන් පසුවය. ඒ සමග රාජපක්ෂ පාලනයේ අවධාරණය හා ප්‍රමුඛතා වෙනස් විය යුතු බව නියත සත්‍යයක් විය. එබැවින් ඒ යුගය ඇරඹෙන්නේ ප්‍රචණ්ඩ ගැටුමින් තොර සමාජයක වාසිය ජනතාවට ලබාදීමට නොව, යුධ ජයග්‍රහණයේ කීර්තිය මත දේශපාලන බල අධිකාරය තම අතට ගැනීමටය. ජනාධිපති රාජපක්ෂට මෙන්ම ඒ වන විට ඔහු වටා ගොනුව තිබූ දේශපාලන සමීපතමයින්ට අවශ්‍ය වූයේ ආර්ථීකයේ පලදායිතාව තම අයිතියට ගැනීමට ය. එය ඇත්තටම ගොඩ නැගෙන්නේ 2010 ජනවාරි ජනාධිපතිවරණයෙන් හා අප්‍රේල් මහ මැතිවරණයෙන් පසුව රාජපක්ෂ ජනාධිපති තහවුරු කර ගන්නා ආණ්ඩු පාලනය සමගින්ය. 18 වන ව්‍යවස්ථා සංශෝධනය එහි දේශපාලන ප්‍රකාශනයකි.

මේ යුගයේ දූෂණය ඉහවහා ගියද, පළමු යුගයේ වූ කුරිරු, මෘග පාලනයේ අවනීතිය ඒ ආකාරයෙන් දියත් නොවුනි. නීතිය බිඳ වැටී, අධිකරණය දේශපාලනයට නතු කෙරුනද, අපරාධ සිදු වූයේ කොළඹ නායකයින්ගේ දේශපාලන තීන්දු මත නොව, දේශපාලනීකරණය වූ දූෂිත රාජ්‍ය සමග හවුල් වූ රාජපක්ෂලාගේ ප්‍රාදේශීය දේශපාලන නායකයින් නිසා ය. ඒ සමග කලින් යුගයේ කතා කළ කොළඹ ආණ්ඩුවේ “සුදු වෑන්” සංස්කෘතිය අහෝසි වූවක් විය.

ජනවාරි 08 මැතිවරණයට මේ සමාජය කෙමෙන් කෙමෙන් සූදානම් වන යුගයේ දෘශ්‍යමාන හමුදාකරණය හා එහි මර්දනයේ බර කර ගැසූයේ යුද්ධයෙන් බිඳ වැටුනු, සමාජ ව්‍යුහයන් පවා ලිහා ගොසින් තිබූ උතුරු නැගෙනහිර පළාත්හි ජනතාව මිස දකුණේ ජනතාව නොවීය. දකුණේ ජනතාවට ඔවුන් හමුදාකරණයට යටත් කෙරෙන බව නොපෙණුනකි. ආරක්ෂක අංශ ජන සමාජයේ ආර්ථීක කටයුතු ඔවුන්ගේ අතට ගැනීම, විශ්ව විද්‍යාල හා පාසල් වෙත හමුදා පාලනය වක්‍ර ලෙස දිගු කිරීම, යුධ විරුවන් වෙනුවෙන් අවසර දිය යුතු කාරණා ලෙස සිංහල සමාජයේ බහුතරය කල්පනා කෙරුවකි.

 

2. එකල වෘත්තීය සමිති පැවැත්ම

රාජපක්ෂ පාලනය යටතේ වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය සැළකිය යුතු කාලයක් නිහඬ විය. ඊට හේතු කිහිපයකි. පළමු හා ප්‍රධානම හේතුව වන්නේ වෘත්තීය සමිති යනු සාමාජික වගකීමක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන නොවීමය. ඒවා යාවජීව නායකත්වයන් සමගින් පක්ෂ දේශපාලනය හා ගමන් කරන හිස් ආයතන වන්නාහ. එනිසා ආණ්ඩු බලය හා ගැට ගැසෙන පක්ෂ සමගින් ඉන්නා වෘත්තීය සමිති නායකයින් තමන්ගේ ආණ්ඩුවේ වගකීම් වෙනුවෙන් පෙනී සිටින්නට මිස සාමාජිකත්වයකට වගකීම වෙනුවෙන් බැඳෙන්නේ නැත. එවැනි වගකීමකට නායකයින් යටත් කෙරෙන සාමාජික ක්‍රියාකාරිත්වයක්ද නැත.

දෙවැන්න, රාජ්‍ය සේවාවේ යම් ක්‍රියාකාරිත්වයක් ඇති වෘත්තීය සමිති පොකුරක් ඇත්තේ සෞඛ්‍ය සේවාවේ පමණක් විය. අනෙක් හැම රාජ්‍ය සේවාවකම ‘80 ජූලි වර්ජනයෙන් පසු වෘත්තීය සමිති බිඳී ගොස් ඇති අතර, ඉතිරිව ඇති වෘත්තීය සමිති පවතින්නේ හික්මුනු හුදකලා සංවිධාන ලෙස ය. සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය රජයේ වෛද්‍ය සේවාව විසින් ඔවුන්ගේ බලයට නතු කර ගෙන ඇති අතර, එහි වැඩිමනත් දැකිය හැකි වූයේ විවිධ අතුරු සේවාවන් අතර වූ ඔවුනොවුන්ගේ ගැටුම් ය.

බැංකු සේවක සමිතිය ආණ්ඩුවේ බලයට සෘජුව හා වක්‍රව හවුල් වූ නායකයින්ගේ සංවිධානයක් වූයෙන් පැරණි වෘත්තිය සමිතියක් ලෙස මීට දශක දෙකකට පමණ පෙර තිබූ ස්වාධීනත්වය රාජපක්ෂ යුගයේ ඔවුන්ට අහිමිව ගොසින් තිබුණි. වැවිලිකරය වඩාත්ම පුළුල් සාමාජිකත්වයක් සමගින් සංවිධානය වූ ක්ෂේත්‍රය වූවත් එහි නායකත්වය ඇබ්බැහි වීමක් ලෙස ආණ්ඩුවේ ඇමති ධූර බාර ගැනීම නිසා එහි වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වයක් පසුගිය අවුරුදු 30 ක පමණ කාලයක දැකිය නොහැක්කකි.

මේ පසුබිමෙහි තෙවැනි කාරණාව වන්නේ ව්‍යාප්ත වූ ආර්ථීක ක්ෂේත්‍රයන්හි අලූතින් බිහිවූ රැකියා වෙත යොමු වන්නට තරම් වුවමනාවක් හා හැකියාවක් මේ සමිති නායකයින්ට නොතිබීමය. එම රැකියා ක්ෂේත්‍ර බොහෝමයක් අවිධිමත් යැයි ඔවුහු අත හැර දැමූහ. මෙසේ සාම්ප්‍රදායික සමිති නායකයින් අත හැර දැමූ නිදහස් වෙළඳ කලාප වෙත නැවුම් සංවිධිත ප්‍රවේශයක් ගෙන තිබූයේ නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය පමණි. එනිසාම අනතුරුව තහවුරු වූ ඇඟළුම් ක්ෂේත්‍රයට අත පොවන්නටද ඔවුන්ට හැකියාවක් ලැබී තිබිණ.

අනෙක් අවාසනාවන්ත කාරණාව වන්නේ පැරණි හා සාම්ප්‍රදායික ක්ෂේත්‍රයන්හි වෘත්තීය සමිති රාජ්‍ය අනුග්‍රහයට කැමැත්තෙන් යටත්වීම පමණක් නොව, ඒවායේ නායකත්වයන් දූෂිත ආණ්ඩු සමගින් යැපෙන්නට වීම නිසා අඩු වැඩි මට්ටමකින් විවෘත ආර්ථීකයේ දූෂණ බුක්ති විඳින්නටද ඔවුන් හුරු පුරුදුව සිටීමය. එය වඩාත් හොඳින් දකින්නට හැකි වූ එක් අවස්ථාවක් වූයේ රාජපක්ෂ පාලන සමයේ මේ වෘත්තීය සමිති නායකයින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ජූනි වාර්ෂික සමුළුව සඳහා ජිනීවා යාමට ගත්තාවූ බාල උත්සාහයන් ය.

එකවර ඉස්මතු නොවුනද පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති යම් ගොනුවකට පැමිණ උද්ඝෝෂණික ක්‍රියාකාරිත්වයකට යොමු වූයේ රාජපක්ෂ පාලනයේ දෙවන යුගයෙහිදී ය. පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් අවම දස ලක්ෂ 2ක ට සෘජුව බලපෑ සේවක අර්ථසාධක අරමුදල හා බද්ධ කෙරුනු විශ්‍රාම වැටුප් යෝජනාවට එරෙහිව ඔවුන්ට ඉදිරිපත් වන්නට බල කෙරුනු හෙයිනි. ඒ අනුව 2011 මැයි මස වෘත්තීය සමිති 12 ක හවුලක් පළමු වරට ඉතා සටන්කාමී විරෝධයකට සේන්දු විය. පළමු වරට පාරට බැස රාජපක්ෂ පාලනයට අභියෝග කළ සටන ඒ අනුව වාර්තාගත වන්නේ කටුනායක නිදහස් වෙළඳ කලාපයෙනි. එතැන් සිට විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විවිධ උද්ඝෝෂණ වල නිරතවනු දැකිය හැකි විය. ඒ හා සමාන්තරව රාජපක්ෂ ආණ්ඩුව අභියෝග කළ වඩාත්ම ආකර්ශනීය සංවිධිත සටන ලෙස සටහන් වන්නේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ 2013 වසරේ දින 100 යේ වැඩ වර්ජනය හා ගාලූ – කොළඹ පා ගමනය.

සංවිධිත ක්ෂේත්‍රයේ එවැනි නැගිටීම් සමග විවිධ ප්‍රශ්න මත ධීවර, වඩුකාර්මික වැනි වෙනත් වෘත්තික හා ශිල්පීය ජන කොටස්ද ග්‍රාමීය සමාජයේ ජනතාවද ඉතා සටන්කාමී විරෝධතා පැවැත්වීම සාමාන්‍ය කාරණාවක් බවට පත් විය.

 

 3. මෛත්‍රි පාලනයට පාර කැපීම

මෛත්‍රි පාලනයට පාර කැපුණේ කොල්ලකාර පවුල්වාදී රාජපක්ෂ පාලනයේ දෙවන යුගයේ ඇතිවූ ඒ සටන්කාමී වෙනස සමගින්ය. ඒ වෙනස සමග ඉස්මත්තට ගනු ලැබූ දූෂණය හා වංචාව සම්බන්ධයෙන් එනමුත් වෘත්තීය සමිති සටන්කාමිත්වය ගොනු නොවුනි. එනිසාම අනිවාර්ය සාධකයක් ලෙස සාකච්ඡාවට බඳුන් කරගත යුතුව තිබූ කොල්ලකාර නව ලිබරල් ආර්ථීකය සාකච්ඡා නොවුනි. දූෂණය හා වංචාව ගැන කතා මේ විවෘත ආර්ථීකයෙන් වෙන් කර ඒවා නාගරික සමාජයේ මැද පංතික ප්‍රශ්න ලෙස කතිකාවට ගනු ලැබිණ. ආර්ථීක ක්‍රියාවලියෙන් පිටතට ගනු ලැබූ දූෂණයට හා වංචාවට එරෙහි එම කතිකාව ආරම්භ වන්නේ රටේ පොදු අවශ්‍යතා වන ජාතික සමගිය හා ජාතික සංවර්ධනය සඳහා වන ඉල්ලීම් සමග නොවේ. එනිසාම කම්කරුවන්ගේ මූලික වුවමනා වන සංවිධානය වීමේ අයිතිය හා අවම ජාතික වැටුපක් වැනි ඉල්ලීම්ද ගැබ් නොවුනි. ජනාධිපති රාජපක්ෂ පරාජය කළ හැකි වඩාත්ම ජනප්‍රිය සූත්‍රය සෙවීම සඳහා මේ නාගරික මැද පංතික කතා සීමා විය. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම අනතුරුව ඉදිරිපත් කෙරෙන්නේ රාජපක්ෂ විරෝධී සියලූ පක්ෂ, කණ්ඩායම් හා පුද්ගලයින්ද හවුල් කරගැනීමේ වේදිකාවක් හැදීම වෙනුවෙන් ය. එය උච්ච වන්නේ ජනාධිපති රාජපක්ෂට එරෙහිව තරග කර දිනිය හැකි සිංහල සමාජයට උචිත පොදු විපක්ෂ අපේක්ෂකයෙකු යෝජනා වීමෙනි. මෛත්‍රිපාල සිරිසේනගේ පැමිණීම ඒ සියල්ල විසින් නිර්මාණය කෙරුවකි.

 

4. යහ පාලනයෙන් පසු

රටේ පොදු ජනතාවගෙන් වසන් කෙරුනු ඒ සියලූ ගනු දෙනු නොතකා දින 100 ක වැඩ පිළිවෙලක් මූලිකව ක්‍රියාත්මක කිරීමට හා මෛත්‍රි “පාලනයක් – ස්ථාවර රටක්” වෙනුවෙන් රනිල් වික්‍රමසිංහගේ අගමැතිත්වය ඇතිව පාර්ලිමේන්තුව පදනම් වන්නා වූ ජාතික ආණ්ඩුවක් හැදීමට ජනවාරි 08 වන දින මෙරට ලක්ෂ 62ක ජනතාවක් ඡන්දය ලබා දුන්හ. ඉන් අවම දස ලක්ෂ 4.5 ක් කම්කරු පංතික පවුල් වල ඡන්ද ය. ඒ ජනතා ඡන්දය මෛත්‍රිපාල සිරිසේනට ලබා දෙනු ලැබූයේ එමගින් එ.ජා.ප ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේ පිහිටු වන්නේ කෙසේද යන්නෙහි ඇත්ත දේශපාලන අරුත තේරුම් ගෙන නොවුනත් න්‍යායික තලයේ මේ ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේනට ලබා දෙනු ලැබූ ජන වරම ඒ සියල්ලට යැයි පිළිගත යතුව ඇත.

සමාජ යතාර්ථයේ ගැබ් වන්නාවූ මේ අනවබෝධය නිසාම, දින 100 පවා ඉටු නොකර දේශපාලන පක්ෂ විසින් තීන්දු කරන්නාවූ බල අරගලයේ වුවමනාවන් අනුව ඒවා එහාට මෙහාට කිරීමටත් කප්පාදු කිරීමටත් දේශපාලන පක්ෂ නායකයින්ට අද හැකිව ඇත්තේ ඡන්දයකට වඩා වැඩි බලයක් සංවිධිත කම්කරු ක්ෂේත්‍රයේද නොමැති හෙයිනි. එළෙසින්ම පාර්ලිමේන්තු මැතිවරණයකින් තොරව පිහිටුවා ගත් එ.ජා.ප ආණ්ඩුව එවැනි උප්පරවැට්ටි සමගින් මිස පවත්වා ගත නොහැකි හෙයිනි. එවගේම ඊළග මැතිවරණයෙන් පසු නැවත එ.ජා.පය මුල් කරගත් ආණ්ඩුවක් පිහිටු වන්නට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වයෙන් ශී.ල.නි.ප සහාය අවශ්‍ය යැයි දැනටත් එ.ජා.ප නායකත්වය තීන්දුකර ඇති හෙයිනි. ජාතික ආණ්ඩු කතාව එක් අතකින් ඊට පාර කපා ගැනීමකි.

එබැවින් අද අප පැමිණ ඇත්තේ ඇසූ පමණින් යහපත් යැයි සිතෙන, විශේෂයෙන් බෞද්ධ සංඝයා සහ මැද පංතික සිංහල නාගරිකයින් බොහෝ විට අදහස් කරන අයුරු, පක්ෂ සැවොම හවුල් වී ආණ්ඩුවක් හැදීම මේ රටට අවශ්‍යව තිබුණක් යැයි වන පොදු අදහසට ය. බෙදීම් සමගින් රට දියුණු කරන්නට නොහැකි යැයි ඔවුහු හැම විට නැගු මැසිවිලි ය. එනමුත් මේ යෝජනා කරන ජාතික ආණ්ඩුව සඳහා මූලික දේශපාලන කාරණා දෙකක බරපතල අඩුවක් හා ගැටළුවක් ඇත.

  1. මේ යෝජනාවෙහි පොදු අපේක්ෂකයෙකු සඳහා දකුණේ සිංහල ජනතාවට ඔබින අපේක්ෂකයෙකු සොයා ගිය අයුරුම, ජාතික ආණ්ඩුව යැයි යෝජනා කෙරෙන්නේ දකුණේ දේශපාලන පක්ෂ හවුල් කර ගන්නා ජාතික ආණ්ඩුවකි. එනිසා මේ මෛත්‍රි පාලනය තවමත් දකුණේ සිංහල ඡන්ද හුරතල් කිරීමෙන් ඉවත්ව ජාතික දේශපාලනයකට අවතීර්ණව නැත.
  2. එ.ජා.පය ප්‍රමුඛ මේ නව ආණ්ඩුව විවෘත ආර්ථීකයට වෙනස් වූ විකල්ප ජාතික ආර්ථීකයක් ගැන කතා නොකරන අයුරුම, ඊළගට යෝජනා කරන ජාතික ආණ්ඩුව විසින්ද වෙනත් ආර්ථීක ආකෘතියක් ගැන අවධානය යොමු කිරීමේ කිසිදු ඉඩක් නැත.

මේ කාරණා දෙකම, මේ රටේ ඉදිරි දේශපාලන පෙළ ගැසීම් සඳහා අතිශය බරපතල සාධක වන අතර, ඒවාම තවත් ආකාරයකින් මේ රටේ වැටුප්ලාභි ශ්‍රමික ජනතාවගේ අහේතුවට බලපානු ඇත.

 

 5. මැයි දිනයෙන් පසු

මැයි දිනය එළැඹෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් පිළබඳව ඇති විවාදාපන්න කතා බහ සමගින්ය. අප කැමති වූවත් අකමැති වූවත් එළැඹෙන එම මැතිවරණයෙහි එක් කරදරකාරි පාර්ශවයක් වන්නේ ජනාධිපතිවරණයෙන් පරාජය වූවත් සිංහල බහුතර බලය තමන් සතුව ඇතැයි ඉදිරිපත් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ය. එළෙසින් පැසෙන දේශපාලන කැඳ හැලියෙන් ඉවත්ව සිටින්නට වෘත්තීය සමිති නායකයින්ද සූදානම් නැත. කම්කරු අයිතීන් තහවුරු කර ගැනීමේ වගකීමට වඩා ඔවුන්ගේ පැවැත්ම තීන්දු වන්නේ ඊළගට හැදෙන ආණ්ඩුව සමගින් වන හෙයිනි.

 

05.1 සිංහල කම්කරු පංතිය

අපේ රටේ කම්කරුවන් ගැන නාගරික හා වැවිලිකරය යැයි සාම්ප්‍රදායිකව කතා කළද, ඇත්ත බෙදීම වනුයේ සිංහල සහ ඉන්දීය සම්භවයක් ඇති දෙමළ කම්කරුවන් යනුවෙනි. යුද්ධයෙන් පසු එයට වන්නිකරයේ සහ නැගෙනහිර ඉතා සුළුතර දෙමළ ශ්‍රමිකයින් පිරිසක්ද ගාල් වී ඇත. දැනටත් ඒ ප්‍රදේශ වල අසරණව අසංවිධානව ඉන්නා දෙමළ ජනතාව අලූත් කම්හල් වලට ගාල් කර ගැනීමට පෞද්ගලික අංශයේ සැළසුම් ඇත. එහි වන අවාසනාවන්ත කාරණාව නම්, වැවිලිකරයේ දෙමළ වෘත්තීය සමිති නායකයින්ට මේ අලූත් දෙමළ ශ්‍රමිකයින් ආමන්ත්‍රණය කිරීමේ වැඩි හැකියාවක් ඇතත් ඔවුන් ඒ ගැන කිසි උනන්දුවක් නොගැනීම ය. කොළඹ කේන්ද්‍රීය නාගරික වෘත්තීය සමිති නායකයින් සිංහල වෘත්තීය සමිති නායකයින්ය. ඔවුන් රාජපක්ෂ පාලනයේ පළමු යුගයේ සිංහලවාදී දේශප්‍රේමයට යට වී සිටිය නායකයෝ වූහ. එනිසාම ඔවුන්ගේ වෘත්තීය සමිතිවාදයෙහි සිංහල ගම සහ කර්මාන්ත ශාලාව අතර ඇති ශ්‍රමික සම්බන්ධය මිස ඉන් එහාට යන පංතිමය දේශපාලනයක් ඉතිරිව නැත. අද එය රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකටම පොදු තත්ත්වයකි.

මේ නිසාවෙන්ම දේශපාලන වශයෙන් රාජපක්ෂ පෙනී සිටින සිංහලවාදී මැතිවරණ ගෝසාව හමුවේ කොළඹ කේන්ද්‍රීය රාජ්‍ය හා පෞද්ගලික අංශ වෘත්තීය සමිති නායකයින්ද ඔවුන්ගේ කේඩෑරී පදනම් බේරා ගැනීමට සිංහලවාදී දේශපාලනය හා සම්මුති ගැසීම ඉදිරියේ දැකිය හැකි ලක්ෂණයක් වනු ඇත. ජාතිවාදයට එරෙහි යැයි කීමට අවශ්‍ය තැන්හි රාජපක්ෂ විරෝධී මුහුණුවරක් තබා ගැනීමට මෛත්‍රි පාලනයේ දේශපාලනය හා ගමන් කිරීමේ වාසියද ඔවුන්ට ඇත. මෛත්‍රි පාලනයේ දේශපාලනයද අවසන් විග්‍රහයේදී සිංහලවාදී වන හෙයින්මය.

එබැවින් පොදුවේ ගත් කල මෙතෙක් නාගරික වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය රාජ්‍ය හා පෞද්ගලික අංශ යැයි වෙනසක් නැතිව සිංහල කම්කරුවන්ගේ සංවිධිත හවුලක් වූ අයුරුම ඉදිරියටත් එළෙසින්ම පවත්වා ගැනීම වෙනස් නොවනු ඇත. එවැනි වෙනසකට යාමේ අවශ්‍යතාවක්ද ඔවුන් අතර පෙනෙන්නට නැත. ඊට වෙනස් උද්යෝගයක් හා අවබෝධයක් දැකිය හැක්කේ නිදහස් වෙළඳ කලාප හා ඇඟළුම් ක්ෂේත්‍රයෙහි පැළපදියම්ව ඉන්නා සහ එනිසාම ජාත්‍යන්තර නීති රීති, ආචාර ධර්ම හා සංවිධාන සමගින් කටයුතු කරන්නට සිදුව ඇති නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමයට පමණි. පසුගිය වසර කිහිපයේදී විශේෂයෙන් සීමා රහිත විවෘත ආර්ථීකයේ කොල්ලකාරී ස්වභාවය නිසා ආණ්ඩු විසින් නඩත්තු කරන කම්කරු විරෝධී පිළිවෙත් ඉස්මතු කෙරුවේද ඔවුන් පමණි.

 

05.2 නව ලිබරල් ආර්ථීකයේම නතර වීම

මෛත්‍රි පාලනයක් හා ස්ථාවර රටක් සඳහා යහ පාලනයක් පොරොන්දු වූ ජනාධිපති සිරිසේන විසින් පත් කෙරුනු මේ ආණ්ඩුව සහ ඊළගට බලය ගැනීමට ඉන්නා රනිල් වික්‍රමසිංහ ගේ එ.ජා.පය මහින්ද රාජපක්ෂ දක්වා වටයෙන් වටය දූෂණය ඉහ වහා ගිය විවෘත ආර්ථීකය වෙනුවට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ආර්ථීක ප්‍රතිපත්තියක් පොරොන්දු වන්නේ නැත. මේ ආණ්ඩුව හා එ.ජා.ප නායකයින් කතා කරන්නේද සෘජු විදේශ ආයෝජන ලබා ගැනීමට හැකි ආර්ථීක වට පිටාවක් හැදීම ගැනය. ඔවුහුද පෙර හැම ආණ්ඩුවක් මෙන්ම අපනයන ඉලක්ක කෙරෙන නිෂ්පාදන සඳහා ආයෝජන සොයති. ඒ වෙනුවෙන් ආනයන හා අපනයන සහනත් බදු සහනත් මහජන මුදලින් නඩත්තු කෙරෙන යටිතල පහසුකම් හා සහනදායි සේවා ලබාදීමත් පොරොන්දු වෙති.

ඉකුත් මාර්තු මස දෙවන සතියේ “ප්‍රාග්ධන වෙළඳ පල – තෙවන සමුළුව” මැයෙන් වූ කොළඹ පැවති ව්‍යාපාරික සමුළුව අමතමින් මේ ආණ්ඩුවේ ආයෝජන ප්‍රවර්ධන ඇමති වන කබීර් හෂීම් පැවසූයේ අපේ රටේ දේශපාලන නායකත්වය මාරු වූවත් සෘජු විදේශ ආයෝජන ලබා ගැනීම වෙනුවෙන් මාරු නොකෙරෙන ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතු බවය. අපගේ ආයෝජන ප්‍රතිපත්තිය දියුණු කළ යුතුව ඇතැයි පැවසූ ඔහු එය ආයෝජකයින්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත් විය යුතු යැයිද එහිදී පැවසුවේය. මේ ඊළග ආණ්ඩුවේද ප්‍රධාන ඇමතිවරයෙකු වන්නට ඛෙහෙවින් ඉඩ ඇත්තෙකි. එවන් ප්‍රතිපත්ති මත ආයෝජකයින් දිනා ගැනීමට වැය කෙරෙන්නේ මහජනතාවට හිමි විය යුතු මුදල්ය. ඒ අනුව 2012 වසරේදී මහ භාණ්ඩාගාරයට රුපියල් කෝටි 66 ක් අහිමි වී යැයි ප්‍රතිපත්ති අධ්‍යන ආයතනයේ පර්යේෂණ ලිපියක සඳහන්ව තිබිණ.

ඊටත් අමතරව, එවැනි විදෙස් ආයෝජන සඳහා සාමාන්‍යයෙන් කෙරෙන්නේ පවතින කාර්මික හා කම්කරු නීති රීති පවා හෑල්ලූ කර දැමීම ය. නැතිනම් අක්‍රියව තැබීමය. එය ඉතා විවෘතව ආරම්භ කෙරුණේ රාජපක්ෂ පාලනයේ දෙවන යුගයේදීය. ඒ අනුව විශේෂයෙන් අපනයන සඳහා නිෂ්පාදනයේ යෙදෙන සමාගම් වෙත අමුතු අනුකම්පාවක් ලැබිණ. ඒවාට නීති නොතකා කම්කරු අයිතීන් උල්ලංඝණය කිරීමටත් ශ්‍රම වෙළඳුන්ගෙන් අනියම් පදනමින් සේවකයින් ලබා ගැනීමටත් ඉඩ ලැබිණ. යුරෝපා සංගමයේ අලෙවි සහනයක් වූ ජී.එස්.පී ප්ලස් අපට අහිමි වූයේත් එවැනි අයිතිවාසිකම් අහෝසි කිරීම හා පාරිසරික විනාශයන් නිසාවෙනි. එතෙකුදු වූවත් මේ නිදහස් වෙළඳ පල ආර්ථීක ක්‍රමය වෙනස් කිරීමට කිසි ආණ්ඩුවක් සූදානම් නැත.

මේ ආණ්ඩුව මහජන මුදල් වැය කෙරෙන ප්‍රමාණය ගැන තැකීමකින් තොරව රාජ්‍ය සේවක වැටුප් වැඩි කළද ආණ්ඩු විසින් ලබා දෙන සියලූ වාසි සහ සහන සමගින් සමාගම් හිමියන් ලබන්නාවූ ලාභයෙන් සොච්චමක් සේවක වැටුප් වෙනුවෙන් වැඩි කළ යුතු යැයි තීන්දු කිරීමට තවමත් මැලි වන්නේ විවෘත ආර්ථීක ක්‍රියාවලියේ ඔවුන්ගේ පාක්ෂික හිතවතුන්ද පංගු කාරයින් වන හෙයිනි. ඔවුන්ගේ පක්ෂ සහ මැතිවරණ අරමුදල් සහමුලින් නඩත්තු කරන්නේ සේවකයින් නොව එවැනි හාම්පුතුන් වන හෙයිනි. පොරොන්දු වන යහ පාලනය ලබා දිය නොහැක්කේත් මේ ආණ්ඩුවද කලින් ආණ්ඩු මෙන්ම විවෘත ආර්ථීකයේ එල්ලී ඉන්නේත් මේ දූෂිත ක්‍රියාදාමයද සමගින්ය. එනිසාම ව්‍යාපාරික සමුළු ඇමතීමටත් ව්‍යාපාරිකයින් මුණ ගැසීමටත් සූදානම් ජනාධිපති හා අගමැති වෘත්තීය සමිති හමුවන්නට කැමැත්තක් නැත.

 

05.3 දූෂණ සම්බන්ධ අතීත කතාව

ඉන් එක් දෙයක් පැහැදිලිය. යහ පාලනය හා මේ නව ලිබරල් ආර්ථීකය එකට ගමන් කළ හැකි නොවේ. නව ලිබරල් ආර්ථීකය ශක්තිමත් ධනේශ්වර සමාජයන්හි පවා දූෂණයට හේතු වූවකි. ඒ පැරණි රාජ්‍යන්හි සිය වස් ගණනාවක් පුරා ධනේෂවර වර්ධනය ඇති වූයේ හැල හැප්පීම් වලින් තොරව නොවේ. එහෙත් ඒ හැම පෙරැළියක් සමගම සමාජය විසින් තහවුරු කරගනු ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන්, සම්ප්‍රදායන්, සමාජ වටිනාකම් හා සැළකිය යුතු වගවීමක් සහිත පාලන ව්‍යුහයන් ඇති විය. එනිසාම ඒවා වෙනුවෙන් පෙනී සිටින ජන සමාජයක්ද ඒවායේ හැදී වැඩුනේය. යුරෝපා ජී.එස්.පී ප්ලස් වැනි විශේෂ වෙළඳ සහන සැකසීමේදී මානව හිමිකම්, කම්කරු අයිතීන් සහ පරිසරය සුරැකීම කොන්දේසි ලෙස පැනවෙන්නේද ආණ්ඩු නිසා නොව, ඒවායේ දියුණු ජන සමාජ නිසාය.

පසුගිය අවුරුදු 40 ක පමණ කාලයේ ගෝලීය ආර්ථීකය තනි ආර්ථීක ක්‍රියාවලියකට ගොනු වීමේදී දියුණු ධනේශ්වර ලෝකය විසින් ඉල්ලූම හා සැපයුම මත නිදහස් වෙළඳ පල ක්‍රියාකාරිත්වයට ඉඩ දෙමින් රාජ්‍ය මැදිහත්වීම් අවම කරන්නට වූ නව ලිබරල් ආර්ථීකයට බටහිර පැරණි සමාජයන්හි එවැනි ප්‍රජාතන්ත්‍රවාදී දිනා ගැනීම් සහ සමාජ වටිනාකම් සහමුලින් කණපිට හරවන්නට නොහැකි විය. එනිසා මහ පරිමාන දූෂණ වූවත් ඒවායේ කොල්ලකාර පැලැන්ති හැදෙන්නේ නැත.

 

05.4 විවෘත ආර්ථීකයෙන් සිදුවන ඇබැද්දිය

අප නව ලිබරල්වාදී විවෘත ආර්ථීක සමග ජීවත් වන්නේ එවැනි ප්‍රජාතන්ත්‍රවාදී තහවුරුවීම් නොමැති සමාජයකය. අපේ රටේ දේශපාලන පක්ෂ කිසිවක් සතු ප්‍රජාතන්ත්‍රවාදයක් සමාජ වගවීමක් නැත. එනිසාම ඒවායේ සාමාජිකයින් ලෙස සැළකෙන පිරිසට පක්ෂ නායකයින් වෙනස් කළ නොහැක. නායකයින්ගේ දේශපාලනය තීන්දු කිරීමට හෝ වෙනස් කිරීමටද නොහැක. මේ රටේ හැම සමාජ සංවිධානයක්ම පාහේ එවැනිය. සිවිල් සමාජය නියෝජනය කරන්නේ යැයි කියන රාජ්‍ය නොවන සංවිධානද එවැනිම ය. ඒවායේද ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ වගවීමක් හා විවෘත ගනුදෙනුවක් නැත. සාමාජිකත්වයක්ද නැත. වෘත්තීය සමිතිද ඊට වෙනස් නැත. ඒවාද වැදගත් සාමාජික පදනම් ඇති සාමාජිකයින්ට වගකියන්නාවූ සංවිධාන නොවේ. එබැවින් අප දීර්ග ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් ගැන කතා කරන විට එය නොකඩවා මැතිවරණ පැවැත්වීමකට වඩා කිසිවක් නොවේ. අපේ වැනි සමාජයන්හි විවෘත නැතිනම් නිදහස් ආර්ථීක ක්‍රියාවලියේ අනිවාර්ය ලක්ෂණයක් වන කොල්ලකෑම් ප්‍රශ්න කෙරෙන්නේ ප්‍රචාරක වාසි සඳහා පමණක් වන්නේද එබැවින්මය.

අපේ වැනි රටවල අලූත් ධනවතුන් හැදෙන්නේද දේශපාලන හා රාජ්‍ය බලය සමගය. එනිසාම රජයේ නිලධර පැලැන්තියේ සිට දේශපාලන අධිකාරය තෙක් හැම තැනක්ම අලූත් පොහොසතුන්ගේ ලාභ හා වාසි සමගින් නතර වන්නේය. ආර්ථීකයේ විශාලත්වය අනුව දූෂණ හා වංචාද විශාල වන්නේය. එය ඉන්දියාවේ හා චීනයේ සිදුවන දූෂණ හා වංචා විසින් ඔප්පු කරන්නකි.

චීන පාර්ලිමේන්තුව ලෙස සැළකෙන නියෝජිතයින් 2,964 ක් ඉන්නා ජාතික මහජන කොන්ග්‍රසයෙහි වාර්ෂිකව ප්‍රකෝටිපතීන්ගේ සංඛ්‍යාව වැඩි වේ. ඒ ඔවුන් හසුරු වන්නාවූ දේශපාලන බලය නිසාවෙනි. 2012 දී එහි ප්‍රකෝටිපතීන් 106 දෙනෙකු වූහ. ඉන් 15 දෙනෙකු චීනයේ ධනවත්ම 100 ට අයත් වූහ. 2014 වසරෙහි එහි ප්‍රකෝටිපතීහු 155 ක් වූහ. මේ වසරේ එය 200 ට වඩා වැඩි වී ඇත. චීන ජාතික ආර්ථීකය යනු මොවුන් විසින් හසුරුවන ඔවුන්ගේ කලූ සල්ලිද අපුල්ලනු ලබන ආර්ථීකයකි. මොවුන් ගෙන් බහුතරයක් ඔවුන්ගේ සමාගම් පිහිටුවා ඇත්තේ හොංකොං දූපතෙහිය. ආසියාවේ කලූ සල්ලි අපුල්ලන ප්‍රධානම මධ්‍යස්ථාන දෙක ලෙස සැළකෙන්නේ මේ හොංකොං දූපත හා මැකෝව් අර්ධද්වීපි කුඩා කොදෙව්වය. චීන සමාජ ආර්ථීක ජීවිතය අධ්‍යයනය කරනවුන් කියන අයුරු ඩෙං සියාඕපිං ගේ මේ කොල්ලකාර නව ලිබරල් ආර්ථීකය හැදෙන්නට, මාඕසේතුංගේ කුරිරු කොමියුනිස්ට් නිලධරවාදී රාජ්‍ය අවශ්‍ය විය.

පසුගිය අවුරුදු 05 ක පමණ කාලයේ සිට ඉන්දියාවේ නාගරික මැද පංතිය එහි පාලනයේ මහා පරිමාන දූෂණ හා වංචා වලට විරුද්ධව වීදි බහින්නට විය. අන්නා හසාරේ දූෂණ විරෝධි ව්‍යාපාරයේ යෝධ නියමුවෙකු වන්නේත් එහි ක්‍රියාකාරිකයෙකු වූ කෙජ්රිවාල් ආම් ආද්මි පක්ෂය හදා මැතිවරණ තරග කරන්නේත් ඉන්දියානු පාලනයේ පැතිර ගිය මහා දූෂණ හා වංචා හේතුවෙනි. ඉන් පසු 2014 අප්‍රේල් හි නරේන්ද්‍ර මෝඩි අගමැති ලෙස පත් වූ මහ මැතිවරණයෙන් ඉන්දීය පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රිවරුන් 543 දෙනා අතුරෙන් අපරාධ චෝදනා ලැබ ඇතැයි ප්‍රකාශයට පත් කෙරුනු මන්ත්‍රිවරුන් සංඛ්‍යාව 186 දෙනෙකි. ඉන් 112 දෙනෙකු බරපතල අපරාධ සඳහා චෝදනා ලැබ ඇත. ඉන්දියාවේ මේ සංඛ්‍යාව පසුගිය මැතිවරණ 03 හි ක්‍රමානුකූලව වැඩි වූ සංඛ්‍යාවකි. එළෙසින්ම එහි මෙවර කෝටිපතී මන්ත්‍රින් 449 කි. ඒ සංඛ්‍යාවද පසුගිය පාර්ලිමේන්තු හා ගණන් බැලීමේදී ක්‍රමානුකූලව වැඩි වූවකි.

මේ නව ලිබරල් ආර්ථීකයේ දූෂණ හා වංචා සියල්ල දේශපාලන තලයේ කෙතරම් බලපෑම් කරන්නේ දැයි තේරුම්ගත හැක්කේ නව දිල්ලි පළාත් පාලනය සඳහා පැවති මැතිවරණයේදී දූෂණයට එරෙහිව ඉන්දියානු දේශපාලනයේ අලූත් මුද්‍රාවක් තැබූ කෙජ්රිවාල්ගේ ආම් ආද්මි පක්ෂයෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයින්ගෙන් කිහිප දෙනෙකුටද දූෂණ චෝදනා ඉදිරිපත් වූ පසුවය. ඒ අතර, අද ආම් ආද්මි පක්ෂය ඇතුළත කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් නැතැයි නායක ආරවුලක්ද හට ගෙන ඇත.

මෙහි වඩා වැදගත් වන්නේ, අප අපේ පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමට යැයි මනාප ක්‍රමය අහෝසි කර නැවත පැරණි ආසන ක්‍රමයට වැඩිම ඡන්ද ගත් මන්ත්‍රිවරයා තේරීමට යෝජනා කරන නමුත් ඉන්දියාවේ මෙතරම් සංඛ්‍යාවක් අපරාධකරුවන් හා කෝටිපතීන් පත් කෙරෙන්නේ ආසන සඳහා පවත්වන ඒ මැතිවරණ ක්‍රමයෙන්ම ය. මේ සියල්ලෙන් පැහැදිලි කෙරෙන්නේ දූෂණ හා වංචා සිදු කෙරෙන්නේ ආර්ථීක ක්‍රියාවලිය අනුව මිස මැතිවරණ හා ප්‍රජාතන්ත්‍රවාදයේ දිග පළල අනුව නොවන බවය. එවගේම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහ ක්‍රියාත්මක කෙරෙන්නේ ද ආර්ථීකයේ බලය අනුව බව ය. නව ලිබරල් ආර්ථීකය වැළඳ ගත් හැම රටකම සිදු වූයේ එය ය. අප රටේ සිදු වූයේද සිදු වන්නේද එයම ය.

 

6. ඉදිරි මැයි දිනයෙන් පසු

ඊළග මැතිවරණය වහා පැවැත් වූවත් නැතත් ප්‍රධාන දේශපාලන පක්ෂ තනිව හෝ හවුලේ ආණ්ඩු පිහිටු වූවත් මේ ආර්ථීකය මීටත් වඩා විවෘත නිදහස් වෙළඳ පල ආර්ථීකයකට බර කෙරෙනු ඇතැයි සැක හැර කිව හැක්කකි. එය වඩාත් බරපතල් වනු ඇත්තේ ඊළඟ ආණ්ඩුවටද චීනය හා ඉන්දියාව සමග ඇති ගනු දෙනු අත හැරිය නොහැකි බැවිනි. ගෝලීය ආර්ථීකයේ අවවර්ධිත ආණ්ඩු වෙත පැනවෙන කොන්දේසි අවම වූ මහා පරිමාන ණය, ආධාර සහ ආයෝජන එන්නේ විශේෂයෙන් චීනයෙන් වන හෙයිනි. 2008 න් පසු නැවත ගොඩ එන ගෝලීය ආර්ථීකයේ ඇත්ත අධිරාජ්‍යවාදී බලය කොල්ලකාර ප්‍රාග්ධනයක් සමගින් සංවිධානය වන්නේ චීනය විශේෂ වූ හා ඉන්දියාව අවශේෂ වශයෙන් වන මහ ආසියාවෙහිය.

එනිසා යහ පාලනයක් වෙනුවෙන් නතර කරන්නට කතා කළ චීන ව්‍යාපෘති කිසිවක් නතර කරන්නටද නව ලිබරල්වාදී සංවර්ධනයක් පොරොන්දුවන මේ කිසිවෙකුට නුපුළුවන. එහෙත් ඒ සමග ඇති භයානකම කොන්දේසිය වන්නේ කුලිය ගෙවා දොට්ට දැමිය හැකි ශ්‍රම වෙළඳ පලක් සකසා දෙන්නට ආණ්ඩුව බැඳී සිටීමය. මේ ආණ්ඩුවද ඊළග ආණ්ඩුවද එවැන්නකට එකග නොවනු ඇතැයි කිසිදු සහතිකයක් දීමට කිසිවකුට නොහැකිය. එනිසා දැනට පොරොන්දු වන ලෙස මැතිවරණයකින් හැදෙන්නේ පාර්ලිමේන්තු විපක්ෂයක්ද නොමැති ආණ්ඩුවක් නම්, එහි එකම තේරුම වන්නේ ව්‍යවස්ථාමය බලය මත ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කිරීමේ දේශපාලන වරමක් එ.ජා.පය හා ජනාධිපති සිරිසේන ජනතාවගෙන් ඉල්ලා සිටින බවය. එය ස්ථීරවම රාජපක්ෂ පාලනයටද වඩා භයානක වට පිටාවක් නිර්මාණය කරනු ඇත.

එබැවින් වඩා වැදගත් වන්නේ මැතිවරණ ක්‍රම හා ආණ්ඩුක්‍රම සංශෝධන වලට කලින් ආර්ථීකයේ සිදුවිය යුතු වෙනස්කම් ගැන කතිකාවකට මුල පිරීමය. එය වඩාත් අවශ්‍ය වන්නේ කම්කරු ප්‍රජාවට ය. ඔවුන්ගේ වැටුපේ සිට සේවක අයිතිවාසිකම් හරහා ජීවන තත්ත්වයද මේ විවෘත ආර්ථීකය යටතේ හාම්පුතුන්ට ලබා දෙන නිදහස විසින් හප කර දමන හෙයිනි. එනිසා මෙවර මැයි දිනය ඒ වෙත අවධාරණයක් ඇති මැයි දිනයක් මිස නාගරික මැද පංතික අගයන් සහිත ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ කතා කරන මැතිවරණ යෝජනා වලට සීමා නොවිය යුතු මැයි දිනයක් විය යුතුය.

එවැනි මැයි දිනයක වහා අවධානය යොමු කළ යුතු වඩාත් වැදගත් සාධකය වන්නේ ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය පදනම් වන්නේ කවර ක්ෂේත්‍ර මුල් කර ගනිමින්ද යන්න ය. මෙහිදී එක් කාරණාවක් අවධාරණය කළ යුතුව ඇත. මෙවැනි නව ලිබරල් ආර්ථීකයන්හි වෘත්තීය සමිති බලපෑම් තීන්දු වන්නේ ඊට නම් ලබා දෙන වෘත්තීය සමිති සංඛ්‍යාව මත හෝ ඊට හවුල් වන සේවක සේවිකාවන් සංඛ්‍යාව මත නොවන බව ය. මේ වර්තමාන ලෝකයේ මූලික කාරණා සම්බන්ධයෙන් ආණ්ඩු වෙත බලපෑම් කළ හැක්කේ ආණ්ඩු පාලනයේදී ඔවුන් වඩාත් සංවේදී ක්ෂේත්‍ර සංවිධානාත්මක ක්‍රියාකාරකම් වලට යොමු වන තරමට ය. එහිදී හවුල් වන වෘත්තීය සමිති සංඛ්‍යාව හා සේවක සංඛ්‍යාව අතුරු කතාවකි. වැදගත් වන්නේ විශේෂයෙන් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය, පෞද්ගලික රෝහල් සේවා, විදුලි සංදේශ සේවා සැපයුම් (ඩයලොග්, මොබිටෙල් වැනි) ක්ෂේත්‍ර වැනි ආර්ථීක හා සමාජ පැවැත්මට වහා බලපෑම් කළ හැකි ක්ෂේත්‍ර වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සංවිධානාත්මක සූදානමක් පෙන් වන්නේද යන්නය. ඒ සඳහා මේ මැයි දිනය නිමිත්තක් කර ගැනීමට වෘත්තීය සමිති සූදානම් විය යුතුව ඇත.

ඒ අනුව තෝරා ගැනීමට ඉතිරි වන්නේ,

  1. සංවිධානයවීමේ සිට සාමුහිකව කේවල් කිරීම දක්වා සේවක අයිතීන් තහවුරු කෙරෙන

ප්‍රජාතන්ත්‍රවාදී යහ පාලනයක් වෙනුවෙන් හඬ නැගීමත්

  1. ජන ජීවිතය හා පරිසරය ප්‍රමුඛ වූ ජාතික සමාජ සංවර්ධනයක් සහතික කෙරෙන ආර්ථීක ප්‍රතිපත්තියකට ධවල පත්‍රිකාවක් ඉල්ලා සිටීමත්
  2. අඩුම ලන්සුවෙන් ලක්ෂ 45 ක ඡන්ද වෙනුවෙන් අවම මාසික වැටුපක් සඳහා වන ජාතික ප්‍රතිඥාවක් වෙනුවෙන් හඬ නැගීමත්

යන කාරණා වන් ය. ඒවා ඇසුරෙන් හදා ගන්නා මැයි දින යෝජනා සම්මත කිරීමත් එම යෝජනා සමගින් මේ ආර්ථීකයේ අලූත් නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍ර සංවිධානය කිරීම සඳහා මෙතෙක් නොවුනු අධිශ්ඨාණය හා නිර්මාණාත්මක ශක්තීන් සමග පියවර ගැනීමත් අත්‍යාවශ්‍ය වන කාලයක් මැයි දිනයෙන් පසු එළැඹෙනු ඇත.

Kusal Perera

කුසල් පෙරේරා

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435