2020 පෙබරවාරි 26 ගුරු-විදුහල්පති වැඩවර්ජනය ස්ථිරයි

ගුරු- විදුහල්පති අතුරු වැටුප් චක‍්‍රලේඛය නිකුත් කිරීම ඇතුළු ඉල්ලීම් ලබා දීමට බල කරමින් 2020 පෙබරවාරි 26 දින සියලූ ගුරු – විදුහල්පතිවරු අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරත වන අතර, පෙ.ව. 9.30 ට බත්තරමුල්ල බුද්ධදාස කී‍්‍රඩාංගනය අසලින් ආරම්භ වන පා ගමනින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ උද්ඝොෂණයේ නිරත වීමට කටයුතු යොදා ඇති බව ගුරු-විදුහල්පති ගුරු සංගම් වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ජෝෂප් ස්ටාලින් හා ලංකා ගුරුසේවා සංගමයේ මහින්ද ජයසිංහ මහත්වරන්ගේ අත්සනින් නිවේදනයක් නිකුත කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ,

ගුරු සහ විදුහල්පති සේවාවන් සංවෘත සේවා බවට පත් කොට වසර 23 ක් තිස්සේ පවතින ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව 2019 ඔක්තෝම්බර් 01 දින කැබිනට් අනුමැතියක් ලැබුණි. එම කටයුතු කිරීමට කිසියම් කාලයක් ගත වන බැවින් සංවෘත සේවාව ඇති කර වැටුප් විෂමතා ඉවත් කරන තුරු අප වෘත්තීය සමිතිවල ඉල්ලීම මත අධ්‍යාපන අමාත්‍යාංශය යෝජනා කළ අතුරු වැටුප් යෝජනාව කි‍්‍රයාත්මක කිරීමට 2019 ඔක්තෝම්බර් 15 දින කැබිනට් මණ්ඩලය විසින් තීරණය කරන ලද අතර, එම අතුරු වැටුප් යෝජනාව ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසම වෙත යොමු කරන ලදී. එහෙත් මේ දක්වා අදාළ වැටුප් යෝජනා කි‍්‍රයාත්මක නොවීය.

මේ තත්වය මත වත්මන් රජය බලයට පත්වීමෙන් පසු 2019 දෙසැම්බර් 17 දින අධ්‍යාපන අමාත්‍යවරයා සමගද, 2020 ජනවාරි 21 දින අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සමග ද අප සංගම් සාකච්ඡුා කරන ලදී. එහෙත් මේ දක්වා සංවෘත සේවා තත්වය ඇති කර වැටුප් විෂමතා ඉවත් කිරීමට හෝ පොරොන්දු වූ පරිදි අතුරු වැටුප් යෝජනාව කි‍්‍රයාත්මක කිරීමට අදාළ කටයුතු සිදු නොවීය. එම තත්වය මත අතුරු වැටුප් යෝජනාව අඩංගු චක‍්‍රලේඛය 2020 පෙබරවාරි 03 දිනට පෙර නිකුත් කරන ලෙසත්, නොඑසේ නම් අප සංගම් වෘත්තීය කි‍්‍රයාමාර්ගවලට අවතීර්ණ වන බවටත්, අප සංගම් විසින් ලිඛිතව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත දැනුම් දෙන ලදී. ඒ සඳහා කිිසිදු ප‍්‍රතිචාරයක් නොදැක්වීම මත 2020 පෙබරවාරි 14 දින අතුරු වැටුප ලබාදීම ඇතුළු ඉල්ලීම් ඉටු කිරීමට බල කරමින් දිවයින පුරා ගුරු-විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ වූ පා ගමනකින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට ගොස් දැවැන්ත උද්ඝෝෂණයක නිරත වීමට අප සංගම්වලට සිදුවිය. එහිදී පෙබරවාරි 20 දින ට පෙර සියලූ පාර්ශවයන් සමග සාකච්ඡුාවක් ලබා දීමට ජනාධිපති අතිරේක ලේකම් රෝහණ අභයරත්න මහතා එකඟ වූවද මේ දක්වා අදාළ සාකච්ඡුාව හෝ විසඳුමක් ලබාදීමට කටයුතු කරන නැත.

මේ තත්වය මත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපත් කළ අතුරු වැටුප් යෝජනාව කි‍්‍රයාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් ලබාදීමට බල කරමින් 2020 පෙබරවාරි 26 දින දිවයින පුරා සියලූ පාසල්වල ගුරුවරු සහ විදුහල්පතිවරු අසනීප නිවාඩු වාර්තා කර සේවයට පැමිණීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇත. එසේම පෙ.ව. 09.30 ට බත්තරමුල්ල බුද්ධදාස කී‍්‍රඩාංගනය අසලින් ආරම්භ වන පා ගමනින් අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා ගොස් උද්ඝෝෂණයේ නිරත වීමට කටයුතු යොදා ඇති බව ද වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටිමු.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435