2027 පසුව ගුරු සේවයට බඳවා ගන්නේ මේ අය විතරයි

වසර 2027 වන විට අපේ රටේ උපාධිධාරීන් හැර වෙන කිසිවකුවත් ගුරු සේවයට බඳවා නොගැනීමට රජය තීරණයක් ගෙන ඇතැයි අධ්‍යාපන, ක්‍රීඩා සහ තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය. අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා රචිත මතකය අකුරු විය උල්පත් පෑන – 2 ග්‍රන්ථය කෑගල්ල නගර ශාලාවේ දී ඉකුත් 8 වෙනිදා පෙරවරුවේ දොරට වැඩීමේ අවස්ථාවට එක්වෙමින් ඩලස් අලහප්පෙරුම මහතා මේ බව අනාවරණය කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම හා උපදෙස් මත මෙරට අධ්‍යාපනය මුළුමනින්ම දරුවන් පාදකකොටගෙන ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික අමාත්‍ය මණ්ඩල අනුමැතියන් නව රජය බලයට පත්වී සති දෙකක් ගතවීමට මත්තෙන් ලබාගත් බවද ඒ අනුව ඉදිරියේ දී මෙරට අධ්‍යාපනය දැවැන්ත විප්ලවයක් සිදුවනු ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.

අප රටේ ගුරුවරුන් වර්ග 10ක් ඇතැයි කී අධ්‍යාපන ඇමැතිවරයා ලෝකයේ දියුණු රටවල සහ අධ්‍යාපනය අතින් ඉහළ රටවල උපාධිධාරින් හැර වෙන කිසිවකුත් ගුරු සේවයට ඇතුළත් කොට නැතැයි ද පෙන්වා දුන්නේය. ඒ අනුව අප රටේද තවත් වසර හතක් ගත වූ පසු බිහිවනුයේ උපාධිධාරී ගුරුවරුන්ම පමණක් බව වගකීමෙන් තමා ප්‍රකාශ කරන බව අලහප්පෙරුම මහතා කීය.

වසර 2001 දී රටට හඳුන්වා දුන් ඉසෙඩ් ස්කෝර් ක්‍රමය වසර 19 ක් ගතවූවත් තාමත් සංශෝධනය කොට නැතැයිද ඒ අනුව මේ වනවිට විවිධ දුෂ්කරතා ප්‍රශ්න ගැටලු මතුවී ඇතැයිද පෙන්වා දුන් ඇමැතිවරයා ඉදිරියේදී ජාතියක් ලෙස සලකා බලා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් රටට හඳුන්වා දී අප රට දරුවා පාදකකොට‍ගත් අධ්‍යාපනයක් ක්‍රමවේදයක් ඇති දියුණු රටක් බවට පත්කිරීමට අධිෂ්ඨානයෙන් කටයුතු කරන බවද අධ්‍යාපන ඇමැතිවරයා කීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, රාජ්‍ය ඇමැතිවරු වන සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල, පළාත් සභා සහ පළාත් පාලන ආයතන මහජන නියෝජිතයෝ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර, කෑගල්ල දිස්ත්‍රික් සාහිත්‍ය ලැදි ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.

 ජයසිරි මුණසිංහ සහ කෑගල්ල දිස්ත්‍රික් සමූහ

(උපුටා ගැනීමකි)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435