1000 පසු කල කොරෝනා ආසාදිත සංඛ්‍යාවට පසුවදනක්

මාර්තු 11දින සිට මැයි 19 දක්වා කොරෝනා ආ ගමන් මග දෙස ආපසු හැරී බැලූවිට පෙනී යන්නේ අපට නොදැනී ආසාදිත සංඛ්‍යාව ඉහල ගොස් ඇති බවයි. චීනයේ වුහාන් වලින් ආරම්භ වී ලෝකය පුරා පැතිර ගිය මෙම RNA වෛරසය නවීන යුද තාක්ෂණය, අගහරු තරණය කල හැකි තාක්ෂණය වැනි අධි තාක්ෂණික රටවල් දනින් වැට්ටුවේ කිසිම තරාතිරමක් නොබලාය. ලෝක ව්‍යසනයක් බවට පත්වූ නව කොරෝනා වෛරසය “Mutation” වෙමින් රටවල් වල පැතිර ගියේ සාර්ථක එන්නතක් හෝ සොයාගැනීමට අවස්ථාවක් නොදෙමින්ය. චීනයේ වුහාන් නගරය හැදින්වෙන්නේ “ස්මාට් සිටි” යනුවෙනි. එය අධිතාක්ෂණික මෙවලම් නිශ්පාදනය කරන කර්මාන්ත ශාලා විශාල සංඛ්‍යාවකින් සමන්විත විය. වර්ග කිලෝමීටරයක විශාල පිරිසක් ජීවත් වී ඇත. කොරෝනා ආසාදනය නිසා විශාල පිරිසක් මියගිය බවත් එය චීන රජය විසින් වසන් කල බවත් ඇමරිකාව චොදනා මුඛයෙන් පවසයි.

වඩා දුක්මුසුම සිදුවීම වනුයේ මෙම ව්‍යසනය හමුවේ ලෝක සෞඛ්‍යය සංවිධානයේ සමහර නිර්දේශ ව්‍යාකූල වීමයි. විටින් විට පරස්පර විරෝධී ප්‍රකාශ නිකුත් කිරීමත්, නියමිත තත්ත්වය හරියාකාරව ප්‍රකාශ නොකිරීමත් නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයට තම රජයෙන් ගෙවන මූල්‍යාධාර නවත්වන බව ඇමරිකාව ප්‍රකාශ කරන ලදි.

මේ සියල්ලෙන් වැටහීගියේ මෙම නව කොරෝනා වෛරසය ලෝකය සිතූ සැහැල්ලු එකක් නොවන බවය. ලෝකයේ බොහෝ රටවලට කාරනාව වැටහෙන විට ආපසු හැරීමට බැරි ලෙස ගමන ගොස් තිබිණි. මළ මිනී දිනෙන් දින එකතු වෙමින් එකා පිට එකා මැරී වැටෙමින් තිබිනි.

මේ අතර ලංකාවට කෙටි පෙර සූදානම් වීමේ කාලයක් ලැබිනි. එම කාලය තුල මෙම ව්‍යසනයෙන් ලංකාවේ ජනතාව බේරා ගැනීමට ජනාධිපතිතුමා පිඹුරුපත් සැකසුවේය. එහි ප්‍රදාන අංගයක් වූයේ මේ සදහා බුද්ධි අංශ කෙලින්ම සම්බන්ධ කර ගැනීමට කටයුතු කිරීමයි. මෙය ලෝකයේ සාමාන්‍ය කාරණයක් නොවේ. කොරෝනා ආසාදනය පාලනය කිරීමට මෙම ක්‍රියාව අප රට හැර යොදාගෙන ඇත්තේ ඊශ්‍රායලය පමණි. පලමු ආසාදිතයා හදුනා ගැනීමත් සමගම බුද්ධි අංශ ක්‍රියාත්මක විය. ආසාදිතයා ඇසුරුකල සියල්ල සොයා නිරෝධායනයට යොමු කරනලදි. තැනින් තැන මතුවන Cluster සෞඛ්‍ය , ආරක්ෂක , මහජන සම්බන්ධීකරණ නිලධාරීන්, මහජන සහය හමුවේ සාර්ථකව නිහඩ කෙරිනි. මේ අතර විවිධ හැල හැප්පීම්, බොරදියේ මාලු බෑම් සුපුරුදු පරිදිම සිදුවීම දක්නට ලැබිනි.

මුලු රටටම නිවාඩු ලැබිණි. වෙනදා හිරු නැගීමට කලින් ගෙදරින් ගොස් සැදෑ කලුවර සමග ගෙදර එන යුගය නිමා විය. පවුලේ සියලු දෙනා එකට එකතු විය.  සුහදත්වය වැඩි විය. ජීවිතය ගැන නැවත අලුතින් සිතන්නට කාලය ලබා දුනි. වෙනදා හැල්මේ දුවන ජීවිතයට නිවාඩුවක්, විවේකයක් ලැබිණි. නව නිෂ්පාදනයන් බිහි විය.

කර්මාන්ත ශාලා නැවතිනි. මාර්ගයේ වෙනදා දුවන කඨෝර ශබ්දය නිහඩ කෙරිනි. දිනකට පුලුස්සා දමන ඉන්ධන ප්‍රමාණය ඉතා සීග්‍ර ලෙස පහල බැස්සේය. දූවිලි වලින් දුම්‍ රොටු වලින් වැසී ගොස් තිබූ අහස ක්‍රමයෙන් පැහැදිලි විය. ලෝකයේ බොර තෙල් නිශ්පාදනය අඩු කෙරිනි. එසේ වූයේ ඉන්ධන දහනය ක්‍රමයෙන් අඩු වීම නිසාය. ඇන්ටාක්ටිකාවට ඉහලින් පිහිටි ඕසෝන් සිදුර ක්‍රමයෙන් කුඩා විය. ලෝකයම Restart වීමකට සූදානම් විය.

මනා පාලනයක් හා අවම මරණ සංඛ්‍යාවක් සහිතව ගෙනගිය වැඩ සටහනේ ලංකාවේ 206 ආසාදිතයා තීරණාත්මක විය. ඇත්තටම අප්‍රේල් 19 වන විට කොරෝනා පාලනය කර තිබිනි. එහෙත් අප්‍රේල් 21 නාවුක සෙබලුන්ට ආසාදනය වී ඇති බව අසන්නට ලැබිනි. සුදුවැල්ල තීරණාත්මක ස්ථානය ලෙස හැදින්විය. සුදුවැල්ලේ මත්ද්‍රව්‍ය භාවිතා කල ආසාදිතයන් නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කිරීමේදී ආසාදනය සිදුවූවා යැයි පැවසිනි.

නාවුක නිලධාරීන් යනු තරුණ, මනා සෞඛ්‍ය තත්ත්වයක්, දරාගැනීමේ ශක්තියක්, මනා ප්‍රතිශක්තියක් ඇති කන්ඩායමකි. එවැනි කොටසකට ආසාදනය වීම එක අතකින් වාසි දායකය. ජීවිත අවදානම බෙහෙවින් අඩුය. උපකල්පන නම් බොහෝය. කෙසේ හෝ වැඩකටයුතු සිදු විය. බොහෝ දෙනෙක් සිතුවේ උපරිම ආසාදිතයන් සංඛ්‍යාව 500ක් පමණ වී මෙය අවසන් වන බවයි. සියල්ල ක්‍රමයෙන් සාමාන්‍ය කරණය විය. ආරක්ෂා වීම ක්‍රමයෙන් අඩුවී යන බවක් පෙනී යද්දී අපිට නොදැනීම ආසාදිත සංඛ්‍යාව 1000 සේ සීමාව පසුකරන ලදි. බාහිරින් පෙනෙන දේට වඩා අභ්‍යන්තරය සුන්දර නොවන බව පෙනීයයි. මෙවැනි ව්‍යසනයක් පාලනය ලෙහෙසි පහසු කාර්යක් නොවේ. නමුත් ලංකාව අනෙක් දියුණු යැයි නම් දරා ඇති රටවල් අභිබවා ඉදිරියට ගොස් ඇත. බොහෝ ක්‍රියා ලංකාවට ආවේණික ක්‍රමයකට සිදුකිරීම නිසා පාලනය පහසු විය.

ලංකාවට මෙය හොද අවස්ථාවකි. අලුකර දැමූ ෆීනික්ස් කුරුල්ලා අලු මතින් නැගිටින්නා සේ ලංකාවට නැගිටිය හැක. අපිට අපේ ආකල්ප රට වෙනුවෙන් වෙනස් කරගත යුතුව ඇත. අපට නැවතී සිතා බලන්නට කාලය ලැබුනි. ලෝකයම අලුත් වී ඇත. අපද පිබිදීමකින් නව ආරම්භයක් ලබා ඇත. විනය ආකල්ප මගින් දිගුකාලයක් අගාදයට ගිය අපේ රට නැගිටුවීමට අපට අවස්ථාව ලැබී ඇත. අනෙකාට චෝදනා කරනුලැබූ යුගය අවසන් වී ඇත. වගකීම අප සැම කරමතට පැමින ඇත. අප අප වෙනුවෙන් නැගිටිය යුතු කාලය එලභ ඇත. තවත් ශාප කරනු වෙනුවට අපි අපේ වගකීම ඉටු කරමු. මේ “අවස්ථාව” අත් නොහරිමු. එවිට “හෙට එච්චර කළුවර නොවනු ඇත”.

රජිත් ප්‍රියංකර ගමගේ

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435