80 ජූලි මහා වැඩ වර්ජනයේ සගයෙකුගේ මතකයන්

1980 ජූලි මහා වැඩ වර්ජනය කළ නිසා ජේ.ආර්. ගේ එ.ජා.ප. රජය වැඩ වර්ජනය කළ රජයේ හා පෞද්ගලික අංශයේ හතලිස් දහසකට අධික සේවක  පිරිසක් සේවයෙන් පහ කිරීමට විරුද්ධව අගෝස්තු 08 දින මහා සත්‍යග්‍රහය  පවත්වනු ලැබුවා.

වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ( JCTU) විසින් එදින  උදේ  නමයට කොටුව දුම්රිය පොල ඉදිරිපිටට රැස්වීමට තීරණය කරල තිබුණේ. අපිට එතනට එන්න ලැබුනේ නැහැ දුම්රියපොල වටේම යුද පිටියකට සූදානම් වෙලා ඉන්නවා වගේ. අශ්වාරෝහක හමුදාවක් අහසට වෙඩි තියමින්  මල්වත්ත පාර දිගේ ඕල්කොට් මාවතට අවා. සන්නද්ධ රථ නවත්තලා,කැරලි මර්දන මහා පොලිස් බල සේනාවක් එක්ක පොලිස් අධිකාරී ගෆූර් උන්නැහේ දුම් රියපොල ඉදිරිපිට හිටගෙන කිසිම කෙනෙකුට ඒ පැත්තට එන්න දුන්නේ නැහැ. ඒ අතරේ හෙලිකොප්ටර් වලින් උඩ අහසේ රවුම් ගහමින් ආරක්ෂාව සළස්වනවා. අපි විශාල පිරිසක් විකල්ප මාර්ග වලින් කොටුවේ ජනාධිපති මාවතට ආවා. මාර්ගය අවහිර කළා, සටන්කාමී සහෝදරවරු අතට අහුවෙන අහුවෙන දේ වලින් පහර දෙනවා. වාහන ගමනා ගමනය නැවතුනා. බස්වල රෝද වල හුලං ගිහින්. (හුලං ගහින් නෙමෙයි  හුලං  ඇරලා) පාරවල් මැද්දේම නැවතිලා. අපේ සංගමයේ නායකයන් සමග වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ නායකයන්වන අලෙවි මවුලානා ඇතුළු වෘතීය සමිති නායකයන් රාශියක් මේ සත්‍යග්‍රහයට ඇවිත් හිටියා. එල්.ඩබ්.පණ්ඩිත (කැඳවුම්කරු) හා ජැක් පෙරේරා කොටුව දුම්රිය පොල පැත්තටවත් නොපැමිණ කොම්ප ඤ්ඤවීදිය පොලීසියට කොටුවුන බව පසුව දැන ගන්නට ලැබුණා.

නව සම සමාජ පක්ෂයේ වික්‍රමබාහු කරුණාරත්න,වාසුදේ ව නානායක්කාර ඇතුළු අති විශාල සාමාජිකයින් පිරිසක්ද මෙයට සක්‍රීය දායකත්වයක් ලබා දුන්නා. එඩ්මන් සමරක්කොඩි, ටී. අන්ද්‍රාදි, ජී. අයි. ඩී. ධර්මසේකර සහෝදරවරුන් අපිත් එක්ක පාරට බැහැලා විරෝධතා සත්‍යග්‍රහයට එකතු වුණා. පිරිසක් කොටුවේ මිලර්ස් එක ඉස්සරහ පාරේ බිම  වාඩි වුණා. තව පිරිසක් රජ ගෙදරට ඇතුල් වුණා. මමත් ගියා. රජ ගෙදර දොරටුවල නිල ඇඳුම් ඇඳගෙන බයිනෙත්තු අතේ තියාගෙන මුරට හිටිය භටයන් හෙලවුණ්වත් නැහැ. අපි රජ ගෙදර ඇතුලේ බාගයක් විතර දුර ගිහින්, ඒක ඇතුලට යන එකේ තේරුමක් නැති නිසා ආපහු ආවා. මං එන කොට  බ්‍රිස්ටල් වීදියට හැරෙන තැන විශාල පිරිසක් එක්ක වාසු හිටියා. රනත් කුමාරසිංහ, ගුණසේන මහානාම, රත්නපුරේ විමලරත්න, සහෝදරවරුත්   හිටියා. පොලිස් කණ්ඩායමක් ඇවිත් අපිට විසිර යන්න කියලා කෑගැහුවා. අපි හෙලවෙන්නේවත් නැතුව හිටියම පොලිස් නිලධාරියෙක්වාසුව අත්අඩංගුවට ගන්න උත්සාහ කළා. අපි වාසුව මැදිකර ගෙන වලල්ලක් වගේ හැදිලා හිටියා.

ඒත් පොලිස් නිලධාරියා ඒ වලල්ල බිඳ ගෙන ඇතුලට ඇවිත් වාසුව අල්ල ගන්න හැදුවම මහානාම සහෝදරයා ඉස්සරහට පැනලා විරුද්ධත්වය පළ කළා. පොලිස් නිලධාරියා මහානාමව අල්ලාගෙන ඇදගෙන ගියා. ඊට පස්සේ තව පොලිස් කඩායමක් ඇවිත් වාසුව අල්ලා ගෙන ජීප් එකකට දා ගත්තා. මහානමව, රනත්ව, විමලරත්නව අල්ලා ගත්තා. ඒගොල්ලව ජීප් එකට දා ගත්තම, එතන හිටිය පිරිස විසිරිලා යන්න හැදුවා. මං එතන තිබණු පොඩි සිමෙන්ති බැම්මක උඩට නැගලා “යන්න එපා සහෝදරවරුනි අපි විරුද්ධත්වය පළ කරලා වාසුව බේරා ගනිමු” කියලා කෑ ගැහුවත් කටිටිය එතනින් යන්න ගියා. මමත් එතැනින් දකුණට හැරිලා හේමාස් එක ළඟ පොඩි අඩිපාරෙන් මිලර්ස් එක පැත්තට එනකොට, පොලිස් නිලධාරියෙක් ධර්මසේකර සහෝදරයාගේ ජාතික ඇඳුමේ කරෙන් අල්ලා ගෙන ඇද ගෙන යනවා.

ඊට පස්සේ මං අනෙක් පැත්තෙන් කොටුව දිහාට එන කොට බාහු සහෝදරයා මුණ ගැහුණා. එයත් එක්ක කතා කර කර ඇවිත්, “බාහු ඔයා ඔය පැත්තෙන් යන්න මං මේ පැත්තෙන් එන්නම් ” කියලා ආපහු හැරෙන කොට පොලිස් නිලධාරියෙක් ඇවිත් බාහුව අල්ලා ගත්තා. වතුරෙන් පොඟවපු ලේන්සුවක් ඔතා ගෙන බාහුගේ අතේ තිබුණා.”ආ ලේන්සුත් පොඟවා ගෙන ලෑස්ති වෙලා ඇවිත් තියෙන්නේ නේද?” කියලා බැටන් එකෙන් පාරක් ගහලා බාහුව අරගෙන ගියා. මගේ අතෙත් වතුර පුරවපු පොඩි බෝතලයක් තිබුණා, කඳුළු ගෑස් ගැහැව්වොත් ඇස් තෙමා ගන්න. එතැනිනුත් බේරිලා මං කෙළින්ම ලේක්හවුස් එක පැත්තෙන් මැක්ලම් පාරට එන කොට ලේක්හවුස් එක ඉස්සරහ විශාල පිරිසක් එකතු වෙලා “බේරේ ගෙදර පච මෝල ජනසතු කරනු.” කියලා කෑගහනවා. අනුර බණ්ඩාරනායක මහත්තයත්  එතැන ටිකක් වෙලා ඉඳලා ආපහු යන්න ගියා. පස්සේ මං ටවුන් හෝල් එක පැත්තට එන කොට යූනියන් ප්ලේස් එකේ සිටි ඩිපැන්සරිය ඉදිරිපිටදී ජේ. ඩී. සිල්වා සහෝදරයා පොලිස් කාර් එකක දාගෙන යනවා.

ජේ. ඩී.ගේ අතේ චීන පටස් දෙකක් තිබිලා අහුවෙලා. ඉන් පස්සේ මං බොරැල්ලේ අපේ යූනියන් ඔෆීස් එකට ආවා. කුමාර කරුණාරත්න, රත්නසිරි , නිමල් පුංචිහේවා, නන්දසේන, මහින්ද සිල්වා, පියසේන අමරදිවාකර, සහෝදරවරුත් ඇවිත් හිටියා. පස්සේ තවත් සහෝදරවරු ආවා. අපිට දැනුම් දීලා තිබුණේ  දෙවැනි පියවර නැවත හවස පවත්වනවා කියලා. නමුත් සත්‍යග්‍රහය “කෝල් ඕෆ් කළා”  කියලා දැන්වුවා. මට මතක හැටියට අලෙවි මවුලානා සහෝදරයා ඇතුළු විසි හය දෙනෙක් එදා අත්අඩංගුවට අර ගෙන තිබුණා.

ඩී. පී. සමරසිංහ

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435