80 වර්ජනයේ සටන්කාමිත්වය වසර 40කට පසු අහිමිවීම

කොරෝනා වසංගතය හමුවේ දැනට මෙරට ඇඟලුම්  ක්ෂේත්‍රයේ පමණක් අහිමි වනු ඇතැයි අපේක්ෂිත රැකියා ප්‍රමාණය 30,000 කට වැඩිය.

අනෙකුත් ක්ෂේත්‍රයන් ද ඊට එකතු වීමෙන් මේ අගයන් තවත් ඉහළ යනු නියතය.

වසංගතයක් හමුවේ නොවුණත් මිට 40 වසරකට පෙර රාජ්‍ය  මර්දනය හමුවේ සටන්කාමී කම්කරුවන් හතලිස් දහසකට රැකියා අහිමි කරමින් ලක්‍ෂ දෙකකට වඩා දරු පවුල් අනාථයෝ බවට පත් කරමින්, කරකියා ගත නොහැකිවූ වර්ජකයන් 52 දෙනෙකු  සිය දිවි තොර කරගත් 80 ජූලි වර්ජනය අප කම්කරු ඉතිහාසයේ අමතක කළ නොහැකි පරිච්ජේදයකි.

ඉල්ලීම් 28 වෘත්තීය සමිති ව්‍යාපාරයත් සමගින් සමගි පෙරමුණු ආණ්ඩුවේ සිටි ලංකා සමසමාජ පක්ෂය 1974 දී ඉන් ඉවත්විය. ඊට වසර  දෙකකට ඉක්බිතිව 1976  වැඩවර්ජන රැල්ලත් සමඟ ආණ්ඩුවේ අනෙක් හවුල්කාර පාර්ශවය වූ කොමියුනිස්ට් පක්ෂය ද ඉවත්වීමෙන් සමගි පෙරමුණ බිඳ වැටී 1977 මහ මැතිවරණයෙන් හයෙන්  පහක බලයක් සමඟ එක්සත් ජාතික පක්ෂයට ජය මාවත විවර විය.

1975 සිට  ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකු වූ එවකට මුදල් ඇමති  ෆිලීක්ස් ඩයස් බණ්ඩාරනායක හරහා කෙමෙන් කෙමෙන් විවර කෙරුණු ආර්ථිකය 1977  ජයග්‍රහණයත් සමඟින් ජේ. ආර් ජයවර්ධන තවදුරටත් ඉදිරියට ගෙන යන්නට විය. රාජ්‍ය අංශය කප්පාදු කරමින් පෞද්ගලීකරණ ප්‍රතිපත්තිය මත ආර්ථිකය විවෘත කෙරිණි.

වමේ පෙරමුණ:

1978  නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙමින්, විධායක ජනාධිපතිවරයා වෙත අති විශාල බලතල කේන්ද්‍ර කරගනිමින් ඒකාධිපති පාලනයකට සැරසියේ එතෙක් ජනතාව බුක්ති විඳි සියලු සහනාධාර කපා හැරිමෙන්ය.

කම්කරුවන්ගේ නිවාඩු හා දීමනා කප්පාදු කරමින්, දුෂ්කර වැඩ කොන්දේසි පැනවීම හමුවේ කම්කරු ව්‍යාපාරය තුල විරෝධයක් පැන නගින්නට විය.

ත්‍රස්තවාදය  වැළක්වීමේ පනත් වැනි මර්දනකාරී අණපනත් ගෙන එමින් ආණ්ඩුව සුදානම් වෙද්දී 1979 දී වාමාංශික  පෙරමුණක් ලෙස ලංකා  සමසමාජ පක්‍ෂය, කොමියුනිස්ට් පක්‍ෂය, නව සම සමාජ පක්‍ෂය, බාලා තම්පෝගේ නායකත්වය දුන් විප්ලවකාරී මාක්ස්වාදී පක්‍ෂය සහ  ජනතා විමුක්ති පෙරමුණ කොළඹ හයිඩ් පිටියට රැස්වී  ජන රැළියක් පැවැත්විය.

පෙරමුණ බිඳවැටුණ ගාලු අතුරු මැතිවරණය :

පිඩිත ජනයාගේ  අපේක්ෂාවන් බිඳ  දමමින් මාස කිහිපයක ඇවෑමෙන් එම පෙරමුණ බිඳවැටුණේ ගාලු අතුරු මැතිවරණය අරඹයා මතුවූ ගැටළුවක් මුල්කරගනිමින්ය.

අතුරු මැතිවරණය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ලයනල් බෝපගේ නම් කිරීමත් සමඟ, ලංකා සම සමාජ පක්ෂය වික්ටර් අයිවන් නම් කිරීම අර්බුදයට හේතුවිය.

ජීවන වියදම ඉහල යාම, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වැනි මර්දනකාරී අණ පනත් ගෙන ඒම, කාන්තාවන් රාත්‍රී  සේවයේ යෙදවීම, රාජ්‍ය  අංශයේ වෘත්තීය සමිති අඩාල කිරීමේ අරමුණින් සේවක සභා පිහිටුවීම, රාජ්‍ය අංශයේ  නිවාඩු  කප්පාදුව, වෘත්තීය සමිති හා සේවක  අයිතිවාසිකම් වලින් තොර අභ්‍යාසලාභී ක්‍රමයක් හදුන්වා දීමට  එරෙහිව වෘත්තීය සමිති 14 ක් කොළඹ හයිඩ් පිටියට රැස්ව පුරා  සතියක් පිකටිං කළහ.

වෘත්තීය සමිති එක්සත් ක්‍රියාකාරී කමිටුව ලෙස එම ක්‍රියා මාර්ගය තව දුරටත් ඉදිරියට ගෙන යමින් රත්මලාන, මීගමුව, කුරුණෑගල, අනුරාධපුර, මහනුවර, සහ රත්නපුර නගර කේන්ද්‍ර කර ගනිමින් පිකටිං පැවැත්වූ අතර එම නගරවල කම්කරු සහයෝගිතා කමිටු ද පිහිටුවිනි.

කම්කරුවන් මත රාජ්‍ය එල්ල කළ පීඩනය කෙසේ ද කියතොත් මෙම පිකටිං උද්ඝෝෂණ පුරා මාස  දහයක කාලයක් පැවැත්විණි.

කන්දසාමි ඝාතනය :

1980 මාර්තු 08 සහ 09 දෙදින තුළ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති නියෝජිතයන්ගේ සමුළුවක් සුගතදාස ගෘහස්ත  ක්‍රීඩාංගණයේදී කැඳවීමට ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාකාරී කමිටුව ක්‍රියා කළේය.

කම්කරු  නියෝජිතයෝ  4000 කගේ  සහභාගිත්වයෙන්  පැවති එහිදී තීරණය වුයේ ඉල්ලීම් දිනා ගැනීම හා  රාජ්‍ය මර්දනයට එරෙහිව විරෝධතා දිනයක් 1980 ජුනි 05 වැනිදා  දියත් කිරීමට තීරණය විය.

ජුනි 05  වැනිදා  මෙරට වෘත්තීය සමිති හා කම්කරු ව්‍යාපාරය සම්බන්ධයෙන් මතකයෙන් බැහැර නොවන  දිනයකි. රජයේ ලිපිකරු සේවා සංගමයේ නායකයෙකු වූ  වී. කන්දසාමි පොලිස් වෙඩි පහරින් මරා දමන්නේ 1947 වසරේ මෙවන් දිනය කදීය. 1947 මහා වැඩවර්ජනයට එක්වූ  දහස්  ගණන්  කම්කරුවෝ විදී බැස පෙළපාලි දැක්වූ අතර  දෙමටගොඩ දී  පොලීසිය එල්ල කළ වෙඩිපහරින්  කන්දසාමි මිය ගිය  අතර තවත් කම්කරුවෝ රැසකට  තුවාල වුහ.

සෝමපාල ඝාතනය :  

1980 ජුනි 05  වැනිදා ද  කම්කරු ව්‍යාපාරයට තවත් අමරණීය දිනයක් එකතු කරන්නට එවකට අගලවත්ත මන්ත්‍රී  මෙරිල් කාරියවසම් ඇතුළු ජාතික සේවක සංගම් මැර පිරිසක් ක්‍රියා කළේය. කොටුව  රජයේ  සැපයුම් දෙපාර්තමේන්තුව අසළ පිකටිං කරමින් සිටි පිරිසට මෙම  මැරයෝ එල්ල කළ  ප්‍රහාරයකින් වෘත්තීය සමිති  නායකයෙකු වූ ඩී. සෝමපාල මරා දැමිණි.

සෝමපාලගේ මරණයත් සමගින් කම්කරුවන් තුළ ආණ්ඩුවට එරෙහි විරෝධය තව තවත් වැඩෙන්නට විය.

නාරාහේන්පිට අන්ත දුගී නිවෙසක විසු සෝමපාලගේ අවමගුලට විශාල කම්කරු සහභාගිත්වයක් දක්කනට ලැබූ අතර අවමගුලට එක්වූ රත්මලාන දුම්රිය අංගනයේ  කම්කරුවෝ 12 කගේ සහ රජයේ මුද්‍රණාල කම්කරුවෝ 8 කගේ වැඩ තහනම් කිරීමට පාලකයෝ කටයුතු කලෝය.

රජයේ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ කම්කරුවන්ගේ දිනෙක වැටුප කපාදමමින්  ඇතැම් කම්කරුවන්ව අන්තනෝමතිකව ස්ථාන මාරු කරන්නට  විය.

මසක වැටුප රු. 300 කින් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් 23 ක් !

මෙසේ දිග ඇදෙන මර්දනය හමුවේ රැස් වූ වෘත්තීය සමිති 25 ක නායකයෝ 1980 ජුලි 17 වැනිදා සහ 18 වැනිදා වැඩ වර්ජනයක් කැඳවන්නට තීරණය කළහ.

දිනකට රුපියල් පහක්  බැගින් මසක වැටුප රුපියල් 300 කින් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් 23 ක් ආණ්ඩුව වෙත යොමු කළද ඒ කෙරෙහි කිසිදු තැකීමක් නොකළ එක්සත් ජාතික පක්ෂ පාලකයෝ සේවයට වාර්තා නොකරන සියළු  දෙනාම සේවය හැර ගියා සේ සලකන බව නිවේදනය කළේය.

එවකට ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු වූ ලලිත් ඇතුලත්මුදලි රත්මලාන මැලිබන් හන්දියේ පැවති එක්සත් ජාතික පක්ෂ රැස්වීමක දී කියා සිටියේ වර්ජකයන්ව කනත්තට දක්වන බවය.

වෘත්තීය සමිති කෙරෙහි දැඩි කෝපයකින් පසු වූ එවකට අගමැති වූ ආර්. ප්‍රේමදාස වර්ජනය කළ කම්කරුවන් සියළු දෙනාම දොට්ට දමා ඒ වෙනුවට අළුතින් අය බඳවා ගන්නා බව කියා සිටියේය. ඒ  අයුරින්ම ඔහු යටතේ තිබු කිසිදු ආයතනයක වර්ජනයට එක්වුවන්ට වන්දි මුදලක් දී විශ්‍රාම යැවූ ද කිසිවෙකුට යළි රැකියා  නොදුන්නේය.

ජ.වි.පෙ, තම්පෝ සහ බැංකු විරෝධය  :

වැඩ වර්ජනයක් කැඳවීම සඳහා වූ තීරණයට ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති විරෝධය දැක්වමින් කියා සිටියේ මෙම තීරණය මගින් කම්කරු පන්තිය වෙත තව දුරටත් මර්දනය  දියත් වෙන බවය.

එහෙත් ජනතා විමුක්ති පෙරමුණට සමීපව සිටි ලංකා ගුරු සංගමය වර්ජනයට සහායදැක්වූ අතර ඒ නිසාම එහි සභාපති එච්.එන්. ප්‍රනාන්දු, ලේකම්  චිත්‍රාල් පෙරේරා ජනතා විමුක්ති පෙරමුණේ දෝෂ දර්ශණයට ලක්වුහ.

ලංකා වෙළඳ, කාර්මික හා පොදු සේවක සංගමයේ ලේකම් බාලා තම්පෝ ද දැරුවේ වැඩ වර්ජනය නොකළ යුතු ස්ථාවරයකි. මෙය අති ධාවනකාරී  ක්‍රියාවක් බවට ඔහු පෙන්වා දුන්නේය.

සාමුහික ගිවිසුම් හරහා වැටුප් වැඩි කරගැනීමට කටයුතුකළ හැකි බැවින් සටනට සහභාගීවිය නොහැකි බව ලංකා බැංකු සේවක සංගමය දැනුම් දී තිබිණි. ලංකා කම්කරු කොංග්‍රසය වර්ජනයට  එක්  නොවිණි.

එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ජාතික සේවක සංගමය ද වර්ජනයට සහයෝගය නොදැක්වූවා පමණක් නොව   වර්ජනය කඩාකප්පල් කරමින් වර්ජකයන්ව ශාරීරිකව පිඩාවට පත් කරන්නට කටයුතු කළේය.

කෙසේ වෙතත් වැඩ වර්ජනය දියත් කෙරුණු අතර වර්ජනයට එක්වූ කම්කරුවෝ 86,000ක් පමණ  සේවය හැර ගිය   ලෙස සළකන බව ආණ්ඩුව නිවේදනය කළේය. වෘත්තීය සමිති කාර්යාල සීල් තැබූ අතර බැංකු  ගිණුම් ද අත්හිටවිනි.

සිය ගණනක් වර්ජිත කම්කරුවන් රැස්ව සිටි කොටුව රජයේ ලිපිකරු සේවා සංගමය ද ඔවුන් දොට්ට දමා  අවසානයේ සීල් තැබිණි.

කරුණු පැහැදිලි කරමින් වර්ජකයන් දිරිමත් කිරීම උදෙසා සංවිධානය කෙරුණු ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාකාරී කමිටුවේ හයිඩ් පිටියේ රැස්වීම ද ආණ්ඩුව විසින් තහනම් කළේය.

වෘත්තීය සමිති නියෝජිතයන්ට කිසිදු සාකච්ඡාවක් ලබා නොදුන් ආණ්ඩුව වර්ජනයට එක් නොවූ කම්කරුවන් වෙනුවෙන් වැටුප් වර්ධක ලබා දුනි.

කම්කරුවන් වෙත සහන  අයදුම්පතක් හඳුන්වා දුන් ආණ්ඩුව වර්ජනය නොකළ බවට සහතික වෙමින් කොන්දේසි ගණනාවකට යටත්ව යළි සේවයට කැඳවනු ලැබිණි. බොහෝ කම්කරුවෝ මේ දුෂ්කර කොන්දේසි මත වුවද  කෙමෙන් කෙමෙන් සේවයට වාර්තා කරන්නට ද  විය.

සත්‍යග්‍රහ ව්‍යාපාරය :

වර්ජනය හමුවේ පරිපාලන කටයුතු කෙතරම් අඩාල වුවද ආණ්ඩුවට අවශ්‍ය වුයේ වර්ජනයක් නොමැති බව පෙන්වීමටය.

මේ පසුබිම යටතේ වෘත්තීය සමිති එක්ව අගෝස්තු 08 වැනිදා කොළඹ කොටුවේ දී සත්‍යග්‍රහ ව්‍යාපාරයක් පැවැත්වීමට තීරණය කළද ඊට නිසි සැළැස්මක් නොතිබිණි.

වර්ජනයේ සත්‍ය තත්වය පෙන්නුම් කිරීම, මෙතෙක් වර්ජනයට එක් නොවුණු හා පසුබසින කම්කරුවන් හා පොදු මහජනයා අතරට මේ ගැටළුව ගෙන යාම හරහා ආණ්ඩුවේ මර්දනකාරී පිළිවෙත පරාජය කිරීමට ජන බලයක්  ගොඩ නගා ගැනීම අරමුණු වුවත් එය  සාර්ථක නොවිණි.

ඇතැම් වෘත්තීය සමිති නායකත්වය උත්සහා දරමින් සිටියේ කෙසේ හෝ ආණ්ඩුව සමඟ සම්මුතියක් මඟින් බේරාගැනීමටය.

එක්සත් ජාතික පක්ෂ  ආණ්ඩුව වර්ජනය දෙස බැලුවේ වැටුප් ප්‍රශ්නයක් ලෙස නොව ආණ්ඩුවේ නව සැළසුම් වලට එරෙහි දේශපාලන අභියෝගයක් ලෙසය.

ඒ අනුව සත්‍යග්‍රහ ව්‍යාපාරය මර්දනය කරන්නට ආණ්ඩුව සියළු මර්දන බල ඇණි කොළඹට කැඳවා තිබිණි. සියළු  දෙනා රැස්වීමට නොදී විසුරුවන්නට වුවද කම්කරුවෝ තුන්සීයක් පමණ දෙනා ක්ෂණිකව මග අවුරවමින්  උද්ඝෝෂණය කරන්නට වුහ.

අලෙවි මව්ලානා, වික්‍රමබාහු කරුණාරත්න, ගුණසේන මහානාම, වාසුදේව නානයක්කාර, ජී.අයි. ඩී ධර්මසේකර,  ජේ. ඩී. සිල්වා, රණත් කුමාරසිංහ ඇතුළු කම්කරු ක්‍රියාකාරීන් විසි පහක් පමණ පොලීසිය මගින් අත්අඩංගුවට ගැනිණි.

ඇතැම් කම්කරු නායකයන්ට එරෙහිව නීති විරෝධී රංචු ගැසීම්, මහජන දේපළ හානි කිරීම් හා පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීම් ආදී චෝදනා යටතේ වසර දහයක් පුරා නඩු විභාග කෙරිණි.

40,000 ක් පමණ වර්ජකයෝ රැකියාවලින් ඉවත් කෙරිණි:

ඇතැම්  ආයතන කොන්දේසි සහිතව වර්ජකයන්ට යළි රැකියා ලබා දුන්න ද 40,000 කගේ පමණ වර්ජකයෝ රැකියාවලින් ඉවත් කෙරිණි. බොහෝ දෙනා පත්වුයේ අන්ත දුක්ඛිත තත්වයකට ය.

ඔවුන් පමණක් නොවේ ඔවුන්ගේ දරු පවුල් ද ඊට මුහුණ දුන්හ.

රාජ්‍ය මර්දනය හමුවේ වැඩවර්ජනය කැඳවූ නායකයන්ට එය තවදුරටත් ඉදිරියට ගෙන යාමේ ශක්තියක් හෝ වැඩපිළිවෙලක් නොතිබිණි. අවසානයේ  සිදු වුයේ ජාති බේද වාදයට, මර්දනයට එරෙහිවූ සටන්කාමි කම්කරුවන් දහස්  ගණනක් කම්කරු ව්‍යාපාරයට අහිමි වීමය.

ජීවිකාව ගෙනයාම සඳහා අනේක විද දුක්ඛ දෝමනස්සයන්ට ගොදුරු වූ ඔව්හු යුක්තියක් වෙනුවෙන් ජයවර්ධන දෙවන ධූර කාලයේ සිට ප්‍රේමදාස, විජේතුංග, චන්ද්‍රිකා, සහ  රාජපක්‍ෂ පාලන කාලය තෙක්ම සටන් කළහ.

80 ජුලි වර්ජනයෙන් රැකියා අහිමිවූ පෞද්ගලික අංශ කම්කරුවන්ට සාධාරණයක් ඉටු කරගැනීම වෙනුවෙන් මාරාන්තික උපවාසයක් පවා ආරම්භ කරන්නට සිදුවිය. ඒ එදා වර්ජනයට නායකත්වය දුන් කම්කරු නායකයන් මැති ඇමතිවරු වී සිටි ආණ්ඩුවකට එරෙහිවය.

වර්ජනයට 40 වසරක් සපිරෙන විට  ඊට  නායකත්වය දුන්  එල්.ඩබ්ලිව්. පණ්ඩිත වැනි බොහෝ නායකයෝ අසුව දශකය අවසානයේදී  “දේශප්‍රේමීන්ගේ” වෙඩි උණ්ඩයට ගොදුරුවිය. තවත් බොහෝ දෙනා  ප්‍රධාන ධනේශ්වර කඳවුරු දෙකට කඹුරා භෞතිකව මෙන්ම දේශපාලනිකව ද මිය ගොස් අවසන්ය.

(ඉෂංඛා  සිංහආරච්චි / ද ලීඩර්)

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435