COVID 19 – ජනමාධ්‍යයේ වගවීම ඉතා වැදගත්

කොවිඩ්-19 ගෝලීය වසංගතයට එරෙහිව ජනමාධ්‍ය වගවීම පිළිබදව  විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හිමිකරුවන් ප්‍රධානීන් වෙත නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී  ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, දමිළ මාධ්‍ය එකතුව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හා ශ්‍රී ලංකා මුස්ලිම් ජන මාධ්‍ය සංසදය  විසින් ලිපියක් යොමු කර ඇත.

එම ලිපිය පහතින් දැක්වේ.

කොවිඩ්-19 වෛරසය වසංගතයක් ලෙස ගෝලීයව ව්‍යාප්ත වන මේ මොහොතේ ශ්‍රී ලංකාවට ද එහි බලපෑම දැඩිව දැනෙමින් තිබේ. එවැනි පසුබිමකදී නිරවද්‍ය හා විශ්වාසදායක ප්‍රවෘත්ති හා තොරතුරු බෙදාහරිමින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ආරක්ෂා කරමින් සියලුම ජනමාධ්‍ය ඉටුකරනු ලබන්නේ අතිශය භාරදූර හා ප්‍රශංසනීය මෙහෙවරකි. අවදානම පහව යනතුරු සමස්ත කාලය පුරාම ජනමාධ්‍ය සතු එම යුතුකම හා වගකීම මැනවින් ඉටුකරමින් මේ ව්‍යසනයට එරෙහිව කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන එකමුතුව ලෙස අපගේ අපේක්ෂාවයි. ඒ අතර ම, විශේෂයෙන් පුවත්පත් කර්මාන්තය ඇතුළු මාධ්‍ය කර්මාන්තය සහ එහි පැවැත්ම ආරක්ෂා කරගැනීමද අතිශයින් වැදගත් බව අපි අවධාරණය කර සිටිමු.

ඒ උදෙසා මේ ව්‍යසනකාරී අවස්ථාවේ දැඩිලෙස සැළකිලිමත් විය යුතු සහ ක්‍රියාත්මක කළ යුතු කරුණු කිහිපයක් මෙලෙස ඔබේ අවධානයට යොමු කිරීමට අප සංවිධාන අපේක්ෂා කරනු ලබයි.

  • ශ්‍රී ලංකා රජයද, නිවසේ සිට වැඩකිරීමේ කාලයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක අත්‍යවශ්‍ය සීමිත සේවක පිරිසක් සහ මාධ්‍ය කාර්ය මණ්ඩලයක් පමණක් ආයතන වෙත කැඳවා සෙසු පිරිසට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ නිවසේ සිට වැඩකිරීමට අවස්ථාව සළසා දීමෙන් ඔවුන් ව්‍යසනයට ගොදුරු වීමේ අවස්ථා සහ රෝගය තවදුරටත් පැතිර යාමේ අවස්ථා හැකිතාක් අවම කළ හැකි වේ.
  • පුවත් බෙදා හැරීමක් සිදුවන්නේ නම් ජනතාව අතර විෂබීජ සංසරනයවීම වැළැක්වීම සදහා අදාල අංශවල උපදෙස් පැතීම  වැදගත්වන අතර විද්‍යුත් මාධ්‍ය උපකරන භාවිතයේදී ද අදාල ප්‍රමීතීන්ට අනුව ආවරන කටයුතු සිදුකරන්නට උපදෙස් දීම ද වැදගත්වේ.
  • මෙම සියලු කාර්ය මණ්ඩල ආයතන වෙත සහ පෙරළා නිවෙස් වෙත ප්‍රවාහනය කිරීමට යොදාගන්නා වාහන සම්පූර්ණයෙන් විෂබීජහරණය කළ බවට තහවුරු කිරීමද නිතිපතා නියමිත පරිදි එය සිදුකිරීමද වැදගත් වන අතර ආයතනයේ ඇති සියලු යන්ත්‍ර සූත්‍ර නිතිපතා පිරිසිදු කිරීමද, කාර්ය මණ්ඩල වෙත පිරිසිදුවීම සහ ආරක්ෂාවීම සඳහා පහසුකම් සැපයීම අනිවාර්ය කිරීම ඇතිවිය හැකි ගැටලු අවම කරයි.
  • රෝගය මර්ධනය කිරීමේ ක්‍රියාන්විතය සඳහා පත්කර ඇති ජාතික යාන්ත්‍රණය දිනපතා ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වනු ලැබේ. ඒවාට සහභාගී වීම සහ ඉදිරිපත් කෙරෙන තොරතුරු ජනමාධ්‍ය මගින් බෙදාහැරීම රට සහ ජනතාව වෙනුවෙන් කළයුතු ප්‍රමුඛ යුතුකමකි. එහෙත්, එවැනි ප්‍රවෘත්ති හමුවලට සහභාගී වන ආයතනික හා ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ සනීපාරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීම දැඩි වගකීමක් හා යුතුකමක් වේ.
  • විශේෂයෙන් රූපවාහීනී මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීහු මයික්‍රෆෝන භාවිතා කරමින්, ජනතාවට හා නිලධාරීන් ඇතුළු පාර්ශවවලට සමීපව තොරතුරු විමසන අන්දම සහ ඇතැම් විට මුව වැසුම් භාවිතා නොකරන බව මෙන්ම මුවවැසුම මද වේලාවකින් ගෙලට ඇද දමමින් තොරතුරු විමසන ආකාරයද නාලිකා කිහිපයකම ප්‍රවෘත්ති විකාශ අතරතුර දකින්නට ලැබුණි. සියලු දෙනා අවධානමට පත්විය හැකි බැවින් ඒ සම්බන්ධව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමද, පුද්ගලයාගෙන් පුද්ගලයාට තමන්ගේ මයික්‍රෆෝනය පිරිසිදු කරමින් භාවිතා කරන ලෙස උපදෙස් දීමද මෙහිලා වැදගත් වේ.
  • කොවිඩ් – 19 වෛරසයේ ජීවකාලය පැය හෝ දින ගණනක් වියහැකි බැවින් ඒවා විවිධ ද්‍රව්‍යවල තැවරී සංසරණය විය හැකි බව වෛද්‍ය විශේෂඥයින්ගේ සහ වෛරසවේදීන්ගේ මතයයි. ඒ අනුව, දිවයින පුරා බෙදාහැරෙන පුවත්පත් වෛරසය වහනය කෙරෙන මාධ්‍යයක් බවට පත්නොවීමට දැඩිලෙස වගබලා ගැනීම ජනතාවගේ ආරක්ෂාවට මෙන්ම මාධ්‍ය කර්මාන්තයේ විශ්වාසනීය පැවැත්මට ද වැදගත් වන බව අපගේ අපේක්ෂාවයි. ඔබ ආයතනවල වෙබ් අඩවි සහ සෙසු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජනතාව තුළ පුවත්පත් කෙරෙහි ඇති විශ්වාසය තහවුරු කිරීම මෙන්ම බෙදාහැරීම් ක්‍රියාවලියේදී අවශ්‍ය වගවීම කෙරෙහි සැළකිලිමත්වීම ද ඒ වෙනුවෙන් ගන්නා ඥානාන්විත පියවර වේ.

මෙම තීරණාත්මක අවස්ථාවේ ඔබ සහය ලබාදිය යුතු උක්ත කරුණුවලට අදාලව ගන්නා පියවර සමස්ත ජාතියේ ආරක්ෂාව සඳහා මෙන්ම පාර්ශවකරුවන් ලෙස ඔබ හා අප කැපවී ආරක්ෂා කිරීමට වගබලා ගත යුතු මාධ්‍ය කර්මාන්තයේ උන්නතියටද වැදගත් වන බව කාරුණිකව පෙන්වා දෙනු කැමැත්තෙමු. එබැවින් අප සංවිධාන විසින් ඉදිරිපත් කරනු ලබන කරැණු පිළිබදව දැඩි ලෙස සැළකිලිමත් වන්නේ නම් ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන එකමුතුව ලෙස එය බෙහෙවින් අගය කරනු ලබයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435