EPF පොලියට තට්ටු කොට කම්කරුවාට වෙට්ටු දමයිද?

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම පාලනය කිරීම සඳහා මේ වසරේ ගතවූ කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඩොලර් සංචිතවලින් ඩොලර් මිලියන 184ක් වැය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් ඉකුත් 02 දා අනාවරණය කරන ලදී. මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවති එකී මාධ්‍ය හමුවේදී හෙතෙම කියා සිටියේ ගතවූ කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 9.7න් අවප්‍රමාණය වී ඇති බව හා රාජ්‍ය සුරැකුම් මත විදේශිකයින් සිදුකර ඇති ආයෝජන ඉවත් කර ගැනීම හේතුවෙන් ජනවාරි සිට මේ දක්වා අමෙරිකානු ඩොලර් මිලියන 467ක් විදේශයන්ට ඇදී ගොස් ඇති බවයි.

බැලූ බැල්මට මෙම තත්ත්වය හුදෙක් රටේ පාලනාධිකාරියට හා ආර්ථික විශේෂඥයින්ට පමණක් ‍ගෝචර වන තේමාවක් යයි පෙනුනද, එය එසේ නොවේ. එය මේවන විට සෘජුව රටේ වැඩකරන ජනතාවට හෙවත් ශ්‍රම බලකායට බලපවත්වන ස්වරූපය පිළිබඳ අපගේ අවධානය යොමුවිය යුතුය.

වැඩබිම කුමක් වුවද, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් හඳුනාගන්නා පරිදි මෙරට ශ්‍රම බලකාය මිලියන 8.3කි. ඔවුන්ගේ ඉපැයීම් තුළින් මාසිකව අය කරගනු ලබන 8% ක ප්‍රතිශතය මෙන්ම ආයතනයෙන් (සේවා යෝජකයා) මාසිකව තම සේවකයා (සේවා දායකයා)වෙනුවෙන් ඔහුගේ වැටුපට සාපේක්ෂව ගෙවනු ලබන 12%ක මුදල් එකතුවීමෙන් සේවක අර්ථ සාධක අරමුදලට (Eඵ්F) මුදල් බැරකරනු ලබයි. මෙම මුදලේ හිමිකම රටේ ශ්‍රම බලකායට පවත්නා අතර එය ආරක්ෂා කොට කළමනාකරණය කරදීම පමණක් රජය සතු වගකීමකි. මෙම මුදල් තැන්පතුවලට පොළියක් ගෙවීම සිදුවන අතර ඒ නිසාම තම ශ්‍රමය වැය කොට හැකිතාක් කාලයක් ඉපැයූ මුදල විශ්‍රාම යන අවස්ථාවේදී පොළියද සමගින් ලබාගැනීමට වැඩකරන ජනයාට හැකිවෙයි. එය කම්කරු හිමිකමකි. එහෙත් අවස්ථා කිහිපයකදීම මෙම මුදල් වලට තට්ටු කිරීමට පිඹුරු පත් සැකසුණද, එල්ල වූ කම්කරු විරෝධයන් හමුවේ ඒවා හකුළා ගැනීමට පාලකයින්ට සිදුවිය. එහෙත් වත්මන්හි සිදුව ඇති ආර්ථික ප්‍රවණතාවන්හි ප්‍රතිඵලයක් ලෙස මෙම අරමුදලට කණ කොකා හඬන තත්ත්වයක් උද්ගතවී තිබේ.

සමස්තයක් ලෙස අයෝජන කළඹ තුළ ප්‍රධාන මූලාශ්‍රය වන රජයේ සුරැකුම්පත්වල ආයෝජනයයි. 2016 වර්ෂය තුළ ආයෝජන පහළ බැසීම හේතුවෙන් ඉදිරි වර්ෂවල දී දිගුකාලීන වශයෙන් අරමුදලේ ආයෝජන ආදායම් අඩුවීමේ ප්‍රවණතාවයක් පවතින බව “2016 සේවක අර්ථසාධක අරමුදල් වාර්ෂික වාර්තාව” පිළිබඳ විගණන වාර්තාවෙන් අනාවරණය වී ඇත. එබැවින් 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනතේ 14 වන වගන්තිය ප්‍රකාරව අරමුදලේ සාමාජිකයන්ට ගෙවිය යුතු වන පොළී ප්‍රතිලාභ, පෙර වර්ෂවල ගෙවන ලද සියයට 10.5 ක් ඉක්මවූ පොළී ප්‍රතිශතයක් අනාගතයේ දී ගෙවීමේ හැකියාව පවත්වා ගැනීම පිළිබඳ අවදානමක් පවතින බව විගණකාධිපති වාර්තාව කෙරෙන් තහවුරු වේ.

අරමුදලේ ප්‍රධාන ආයෝජන මාර්ගයක් ලෙස සැලකෙන අවදානම් අඩු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික වෙළෙඳපොළ ආයෝජනයන් 2015 වර්ෂයට සාපේක්ෂව 2016 වර්ෂයේ දී සියයට 50 කින් අසාමාන්‍ය ලෙස අඩු වී ඇත. එමෙන්ම අරමුදල ද්විතීයික වෙළෙඳපොළ ආයෝජනයන්ගෙන් 2016 මැයි මාසයෙන් පසුව සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇති අතර එබැවින් 2015 වර්ෂයේ දී රු. බිලියන 318 ක්වූ භාණ්ඩාගාර බැඳුම්කරවල මුළු ආයෝජනය 2016 වර්ෂය අවසන් වන විට රු. බිලියන 183 ක් දක්වා සියයට 42% කින් අඩු වී තිබේ. තත්ත්වය එසේ තිබියදී සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් හට පසුගිය අවුරුදු 5 ක කාලපරිච්ඡේදය තුළ දී ගෙවා තිබෙන පොළී අනුපාතික ක්‍රමයෙන් පහළ ගිය අයුරු විගණන වාර්තාවේ දැක්වෙන සටහනින් නිරූපණය වෙයි.

යම් සේවාදායකයෙකු, කම්කරුවෙකු තමන් වැඩබිමේ සේවය කිරීම සඳහා සුදුසු කායික හා මානසික ශක්තියකින් හෙබි කාලයේදි ඉතිරි කරගත් මුදල ‘සේවක අර්ථ සාධක අරමුදල’ ලෙස පොළියක්ද සහිතව ආරක්ෂාවී පවතින බව බොහෝ දෙනෙකු දන්නා කාරණයකි. එම මුදල තම ජීවිතයේ සැදෑ සමයේ ඉතා ප්‍රයෝජනවත් වන අයුරුද අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් තමන් විසින් උපයා ගන්නා ලද එකී මුදලට එකතුවන පොලී අනුපාතය ක්‍රමයෙන් පහළයාම යනු තමාට අනාගතයේ දවසක හිමිවිය යුතු මුදල අඩුවීමට හේතුවක් බවත්, දැන් දැන් පහළවී ඇත්තේ එවන් අවදානමක පෙර නිමිත්තක් බවත් වැඩකරන ජනයා වටහා ගත යුතුය.

– සටහන – පී.ඩබ්ලිව් මුතුකුඩආරච්චි –

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435