[Video] EPF මංකොල්ලයේ ඔබ නොදුටු ඇතුළු පැත්ත මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංඛ්‍යා ලේඛන වලට අනුව 2015 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වර්ෂය සඳහා සේවක අර්ථසාධක අරමුදල (EPF) උපයා ඇති බදු වලට පෙර, ශුද්ද ආදායමේ වර්ධනය පෙර වර්ෂයේ වර්ධනයට සාපේක්ෂව වාර්තාගත ලෙස අඩු වී ඇත.

වසර 2014 සඳහා EPF අරමුදලේ ශුද්ද ආදායම ඊට පෙර වසරට සාපේක්ෂව 20%ක එනම් සංඛ්‍යාත්මකව රුපියල් බිලියන 27ක  වර්ධනයක් ඇති කරගෙන තිබුනත්, 2015 වසර තුලදී වැඩිවූ දායක මුදල්ද ඇතුලත්ව අරමුදලේ ශුද්ද වටිනාකම 12%කින් ප්‍රසාරණය වී තිබීම වැනි සියලු ධනාත්මක සාධක හමුවේත්, අත්කරගෙන ඇති ආදායමේ වර්ධනය ඊට පෙර වසරට සාපේක්ෂව 4.8%ක් හෙවත් රුපියල් බිලියන 8ක් දක්වා දැඩි ලෙස පහත බැස තිබේ.

2015 වසරේදී මූල්‍ය වෙළඳපොලේ පොලි අනුපාතයන් ඉතා කැපී පෙනෙන ලෙස වර්ධනය වීම හරහා මූල්‍ය වෙළඳපොලේ අනෙකුත් ආයතන වාර්තාගත ලාභ උපදවන විට වැඩකරන සේවකයින් සතු EPF අරමුදලේ ආදායම් ඊට සාපේක්ෂව වර්ධනය නොවී ඉපයීමේ හැකියාව සංකෝචනය වීම  බලවත් ප්‍රෙහෙලිකාවකි.

2015 – 2013 වසර තුලදී EPF අරමුදලේ හා එහි ආදායමේ වර්ධනය

2013

2014

2015

EPF අරමුදලේ සමස්ත වටිනාකම

(රුපියල් බිලියන)

 

1,299

1,486

1,664

EPF අරමුදලේ බදු වලට පෙර ශුද්ද ආදායම (රුපියල් බිලියන)

 

135             

162

170

පෙර වසරට සාපේක්ෂව වාර්ෂික ආදායම් වර්ධනයේ වෙනස

 (රුපියල් බිලියන)

 

15

27

8

EPF ලාභයට මොකද වුනේ?

අතිශය වාසිදායක මූල්‍ය වෙළඳපොල තත්වයන් හමුවේ  EPF අරමුදල රුපියල් බිලියන 1,664 කට අධික මහා ධනස්කන්ධයකට හිමිකම් කීවත්,  2015 වසර තුලදී, 2014 වසරට සාපේක්ෂව රුපියල් බිලියන 8ක අඩු ආධායම් වර්ධනයක් ලබන විට, ප්‍රසිද්ධ මාධ්‍ය වාර්තාවන්ට අනුව වසර කිහිපයකට ඉහත රුපියල් බිලියන 0.5 ක ප්‍රාග්ධනයක් පමණක් සතුව වෙළඳපොළට පිවිසි පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගම පසුගිය මාස 14 තුලදී පමණක් උපයාගෙන ඇති ආදායම රුපියල් බිලියන 10 ඉක්මවයි.

එමෙන්ම EPF අරමුදල විසින් රජයේ සුරැකුම්පත් වලින් හා ව්‍යාපාර කොටස් වලින් උපයාගෙන ඇති ආදායමේ වර්ධනයන් පෙර වසරවල් හා සාපේක්ෂව පැහැදිලි පහත බැසීමක් පෙන්නුම් කරයි. 2014 වසරේදී රටේ මූල්‍ය වෙළඳපොලේ පැවතියේ සාපේක්ෂව අඩු පොලි අනුපාතිකයක් වන අතර, 2015 වසරේදී පොලි අනුපාතික කැපී පෙනෙන ලෙස ඉහල යාම හා අරමුදලේ සංඛ්‍යාත්මක වර්ධනය ද නොතකා 2015 වසරේදී රජයේ සුරැකුම්පත් වල ආයෝජනයන්හි ඉපයීම් වල වර්ධනය 2014 වසරේ වර්ධනයනයේ සංඛ්‍යාත්මක අගයට සාපේක්ෂව හරි අඩකින් පමණ පහල බැස ඇත. එනම් 2014 දී ඊට පෙර වසරට සාපේක්ෂව වර්ධනය රුපියල් බිලියන 24ක් වන විට 2015 දී 2014 වසරට සාපේක්ෂව වර්ධනය රුපියල් බිලියන 12ක් ලෙසයි.

EPF අරමුදලේ ප්‍රධාන ආධායම් ප්‍රභවයන් 

2013

2014

2015

රජයේ සුරැකුම්පත් වලින් ලද ආදායම 

 (රුපියල් බිලියන)

131

155

167

ව්‍යාපාර කොටස් වලින් ලද ආදායම 

 (රුපියල් බිලියන)

3.2

5.6

3.8

 EPF ලාභය අඩු වුනේ ඇයි ?

ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහත සංඛ්‍යා ලේඛන අනුව පැන නගින ප්‍රධාන කරුණ වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව 2015 අප්‍රේල් මස සිට බැඳුම්කර නිකුතුව සඳහා යොදා ගැනෙන ඍජු ක්‍රමය (Direct Placement) අතහැර 100% ක්ම වෙන්දේසි ක්‍රමයට (Auction) අනුව කටයුතු කිරීම නිසා වෙළඳපොලේ නිර්මාණය වූ ඉහල පොලී අනුපාතිකයේ වාසිය හරහා EPF අරමුදලේ  ලාභයේ නිතැතින්ම සිදුවිය යුතු සුවිශාල ආදායම් ප්‍රසාරණයක් නිරූපණය කෙරෙනු වෙනුවට 2014/2013 වසර වල දී බැඳුම්කර නිකුතුව සඳහා යොදාගත් ඍජු ක්‍රමයේ හා වෙන්දේසි ක්‍රමයේ සම්මිශ්‍රණයෙන් ලබාගත් ලාභයේ වර්ධන මට්ටමවත් ලඟා කර ගැනීමට නොහැකි වීම අතිශය ප්‍රශ්න සහගතය.

2015 වසර ආරම්භයේදී රජයේ ඉහලම දේශපාලන ප්‍රධානීන් පවසා සිටියේ මහ බැංකුව විසින් EPF අරමුදල කළමනාකරණය කිරීමට යාම තුලින් ඍජු ක්‍රමය යටතේ බැඳුම්කර නිකුත් කිරීම නිසා ලබැඳියාවන් අතර ගැටුමක් උද්ගතවන බවත්,   EPF අරමුදල මහ බැංකුවෙන් ඉවත් කොට සිංගප්පූරු තමසෙක් ආකෘතියේ යැයි පැවසෙන වස්තු භාරයක් හරහා EPF අරමුදල් නිධානය පුද්ගලික අරමුදල් කළමනාකරුවන් අතට පත් කොට, අරමුදලේ ආයෝජන කළමනාකරණ වගකීම ඔවුනට පැවරිය යුතු යැයි තර්ක කලේ බැඳුම්කර නිකුත් කිරීමේ ඍජු ක්‍රමය යටතේ, රජය අඩු පොලියට EPF අරමුදලේ මුදල්, තම අවශ්‍යතා සඳහා නය ලෙස සපයා ගන්නා නිසා එහි ගිණුම් හිමියන්ට 2015 ට පෙර ඉමහත් අලාභයක් සිදු කළේය ය යන පදනමේ සිටය.

රජයේ ඉහලම දේශපාලන ප්‍රමුඛයින් 2015 ආරම්භයේදී පැවසූ ලෙසින්ම බැඳුම්කර නිකුතුව දැන් 100% ක්ම වෙන්දේසි ක්‍රමයට හරවා ඇත. වෙළඳපොල පොලි අනුපාතයන්ද ශීග්‍ර ලෙස ඉහල ගොස් ඇත. EPF අරමුදලේ සමස්ත ආයජෝජනයන්ගෙන් 89.6% ක් 2014 වසරේදී භාණ්ඩාගාර බැඳුම්කර හා බිපත්වල සිදු කල ආයෝජනය 2015 වසරේ දී 92.7%  දක්වා වැඩි කොට ඇත (අරමුදලේ සමස්ත වටිනාකම 2014 ට සාපේක්ෂව 2015දි 12% කින් ඉහල යාමට අමතරව). එනමුත් EPF අරමුදලේ ලාභයේ වර්ධනය 2014 වසරේ දී (පෙර වසරට සාපේක්ෂව) පැවතී බිලියන 27 (20%) සිට 2015 දී (2014 වසරට සාපේක්ෂව) බිලියන 8 (4.8%) දක්වා පහල බැස ඇත.

රජයේ ආර්ථික න්‍යායාචාර්ය වරුන්ගේ මූල්‍ය ආයෝජන වට්ටෝරුවට අනුවම  EPF අරමුදලේ බැඳුම්කර ආයෝජන පංගුවත් වැඩි වී, වෙන්දේසි ක්‍රමය ද 100% කින්ම  ක්‍රියාත්මක වී, පොලියත් කැපී පෙනෙන ඉහල ගොස් ඇති විට පෙර වසරට සාපේක්ෂව ලාභයේ වර්ධනය ඉහල යනු වෙනුවට පහත බැස ඇත්තේ ඇයි? එසේ නම් EPF අරමුදලේ වාසිය උපයෝගී කරගෙන තම ලාභය කැසිනෝ සූත්‍රයට වැඩි කරගෙන ඇත්තේ කවුරුන්ද යන්න දැන් පැහැදිලිය.

COPE කමිටුවේ EPF හෙළිදරව්ව 

මහ බැංකු බැඳුම්කර පිලිබඳ කෝප් කමිටු සොයාගැනීම් හා දැනට හෙළිදරව් වී ඇති මහ බැංකුවේ ස්ථානීය පරීක්ෂණ (onsite examination) වාර්තාවන්ට අනුව පැහැදිලිව තහවුරු වන්නේ පර්පෙචුවල් ට්‍රේෂරීස් ආයතනය ප්‍රාථමික වෙළඳපොලෙන් මිලදී ගත් බැඳුම්කර, කෙටිකලකදී කෘත්‍රිමව ඉහල නැංවෙන මිල ගණන් යටතේ EPF අරමුදල වෙත ද්විතීක මූල්‍ය වෙළඳපොළේදී අලෙවි කර ඇති බවයි. අවසානයේදී සමහර බැඳුම්කර වල අද පවතින වෙළඳ මිල ගණන් අනුව EPF අරමුදලට සුවිශාල ප්‍රාග්ධන අලාභ සිදුවීඇත.

“… ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණයට යටත් වන සහ ප්‍රථමික වෙන්දේසියෙන් බැඳුම්කර මිලදී ගැනීමේ හැකියාවක් ඇති ආයතනයක් ලෙස සේවක අර්ථ සාධක අරමුදල වැඩි එලදා අනුපාතිකයක් සහිත ප්‍රාථමික වෙළඳපොලෙන් සාපේක්ෂව අඩු බඳුමකර ප්‍රමාණයක් ලබාගෙන තිබූ අතර අඩු එලදා අනුපාතිකයක් සහිත ද්වීතික වෙළඳපොලෙන් මිලදී ගැනීම හේතුවෙන් ලබා ගත හැකිව තිබු මූල්‍ය වාසිය අහිමි කරගෙන තිබු බවයි.

ඔවුන්ට අවශ්‍ය ඉතිරි බැඳුම්කර ප්‍රමාණය ඍජුවම ප්‍රාථමික වෙළඳපොලෙන් මිලදී ගැනීමට අයදුම්කර හෝ නොමැතිව, ද්විතීක වෙළඳපොලෙන් මිලදී ගෙන තිබීම ප්‍රශ්නකාරී වන බවද විගණකාධිපති වාර්තාව මගින් පෙන්වාදෙනු ලබයි. මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ භාරකාරිත්වයේ පවතින ආයතනයක් වන සේවක අර්ථසාධක අරමුදල මෙලෙස කටයුතුකිරිම පිළිබඳ මහ බැංකුව විසින් අවධානය යොමු නොකිරීම ප්‍රශ්නකාරී තත්වයක් බව විගණකාධිපති වාර්තාව මගින් පෙන්වා දෙනු ලබයි.

COPE කමිටුව 2016 ඔක්තෝම්බර් 28 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල වාර්තාව, 43 වන පිටුව.

එමෙන්ම තවදුරටත් අදහස් දක්වන COPE කමිටු වාර්තාවේ 39 වන පිටුවේ අන්තර්ගත 26 වන පාද සටහනේ දක්වා ඇත්තේ “පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගම මෙම විශාල ලාභය ලබාගත්තේ මෙම බැඳුම්කර ඔවුන් ප්‍රාථමික වෙළඳපොලෙන් ලබාගත් බැඳුම්කර ද්විතීක වෙළඳපොලේ විකිණීම හරහාය. මෙවැනි අධික පොලියක් සහිත බැඳුම්කර ද්විතික වෙළඳපොළේදී  පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමෙන් මිලදී ගත්තේ රජයට අයිති සේවක අර්ථසාධක අරමුදල වැනි අරමුදල්ද යන්න සොයා බැලීම සඳහා සහ එවැනි ගනුදෙනුවකට ඔවුන්ට එළඹීමට හේතු වූ කරුණු සොයා බැලීම සඳහා පුළුල් පරීක්ෂණයක් කලයුතු බව කාරක සභාවේ මතයයි. තවද සේවක අර්ථසාධක අරමුදලට ප්‍රාථමික වෙළඳපොලේ බැඳුම්කර මිලට ගැනීමට හැකිව ඇති බවත් ද්වීතීක වෙළඳපොලේ වැඩි පොලි අනුපාතයකට ලබා ගැනීමට හේතු පරීක්ෂා කල යුතුවේ.”

2017 අයවැයෙන් EPF අරමුදලේ රීරි මාංශය උරාබීම

1. EPF – ETF මත අමතර බදු බරක්

මෙවර අයවැයෙන් EPF එකට  සිද්ද වෙලා තිබෙන්නේ හැගෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක්.  මෙවර අයවැයෙන් සිද්ද වෙලා තිබෙන්නේ EPF එකේ ඉතුරු රීරිමාන්ශයත් කිසිදු හිරිකිතයක් නැතිව උරා බීමක්. EPF එක භෞතිකව ජනතාවගේ පසුම්බිය ඇතුලේ නැති නිසා සිදුවන දෙයෙහි  හානිය ඍජුව දැනෙන්නේ නැහැ. ඒක දැනේනේ සේවකයා විශ්‍රාම යන දවසට.

EPF හා ETF අරමුදල් මත දැනට අය කෙරෙන බදු මුදල 10% සිට 14% දක්වා වැඩි කර ඇතමෙම බද්ද පෞද්ගලික විශ්‍රාම අරමුදල් වලටත් බලපානවා. මේ හරහා සේවක විශ්‍රාම වරප්‍රසාද වල සුවිශාල කප්පාදුවක් සිදුවේ. රටේ පොලි අනුපාතික ඉහල යාමට සාපේක්ෂව EPF අරමුදල් ගිණුම් හිමියන්ට 2015 වසර සඳහා ගෙවන පොලිය වැඩිකිරීමක් සිදු නොකිරීමට අමතරව මෙලෙස රජය විසින් විශ්‍රාම අරමුදල් මහ දවල් ගසාකෑම සේවකයින්ට මරු පහරකි.

මෙලෙස අයවැයෙන් ගසන අතිරේඛ බද්ද හරහා රජය පුද්ගලික අංශයේ සේවකයින්ගෙන් සොරාගන්නා අතිවිශාල මුදල, 2015 වසරේ EPF අරමුදලේ ලාභයට ආදේශ කර ගණන් හැදුවොත් එය රුපියල් බිලියන8ක් ඉක්මවයි. ETF අරමුදලේ ලාභය මතත් මෙය ගණනය කළහොත් අතිශය විශාල මුදලක් සේවකයින්ගෙන් අහිමි කෙරේ.

මෙලෙස අමතර බදු ගැසීම හරහා EPF අරමුදලෙන් පමණක් අහිමි වන මුදල් ප්‍රමාණය, මෙවර අයවැයෙන් කිහිප ගුණයකින් වැඩි කල ජනාධිපති වරයාගේ සමස්ත වැය ශීර්ෂයටත් වඩා වැඩිය. එලෙසම මෙම වසර සඳහා (2016) නොමිලේ ලබා දෙන පාසල් නිල ඇඳුම් සඳහා වෙන්කර ඇත්තේ රුපියල් බිලියන6කි. පාසල් පෙළපොත් සඳහා බිලියන 3.8කි. EPF අරමුදලෙන් පමණක් ගසා කනු ලබන මුදල මේ වියදම් දෙකෙහිම සමුච්චිත අගයට වඩා වැඩිය.

විශේෂඥයින්ගේ ගණනය කිරීම් වලට අනුව රජය අයකරන මෙම 14% EPF බද්දේ වටිනාකම, EPF ගිණුම් වලට දැනට ගෙවන 10.5%ක පොලිය තවත් 3%කින් පමණ ඉහල දමන්න තරම් පුළුවන් විශාල මුදල් කන්දරාවක්.

එපමනක් නොවෙයි මේ හරහා රටේ විශාලතම ව්‍යාපාර බදු Corporate Tax ගෙවන්නා න බවට EPF අරමුදල පත් වෙනවා.

ඒ කියන්නේ රජය ව්‍යාපාර වලට බදු සහන දීලා, දුප්පත් සේවකයින් ගේ විශ්‍රාම ඉතුරුම් වලින් තමයි රට ගෙනියන්නේ. මෙය පඩි ලබන දුප්පතා ගේ ලේ උරා බොන ආර්ථික වැඩපිළිවෙලක්.

2. ද්විතික වෙවෙළඳපොලේදී නැවත දෙවන වතාවටත් බදු ගැසීම

EPF අරමුදල ප්‍රාථමික බැඳුම්කර වෙළඳපොලෙන් බැඳුම්කර මිලදී ගැනීම සීමාකර ද්විතික වෙළඳන්දපොලෙන් බැදුම්කර මිලදීගැනීමට සලස්වා ඇත (කෝප් වාර්තාවේ 1 පරිච්චේදයේ – 43 පිටුව, පාද සටහන් 29 හා 26).

මෙවර අයවැයේ 448 වන පරිච්චේදයට අනුව ද්විතික වෙළඳපොලේ ගනුදෙනු මත මීට පෙර නොතිබූ පොලි ආදායම් මත අතිරේඛ බද්දක් පනවා ඇත. මෙමගින් EPF අරමුදලට විශාල බදු බරක් දැරීමට සිදුවේ. එලෙසම EPF අරමුදලේ සමස්ත ආයෝජනයෙන් 92%ක් ම ඇත්තේ රජයේ සුරැකුම් වලය. මෙලෙස අර්ථසාධක අරමුදල ද්විතික වෙළඳපොලෙන් සුරැකුම් මිලදී ගැනීමට සැලැස්වීමෙන් ජාවාරම්කාර තැරැව් කරුවන්ට මුදල අයුතු ලෙස ගසාකෑමට සැලසීමට අමතරව රජය ප්‍රකෝටි ගණනක මුදලක් අහිංසක සේවකයින්ට නොදැනී ඔවුන් ගෙන් සූරාකෑමට කටයුතු කර තිබෙනවා.

රජයේ සුරැකුම් මිලදී ගන්නා අවස්ථාවේදී Withholding Tax ලෙස රජයේ සුරැකුම් වල අපේක්ෂිත පොලි අද්දයම මත අයකරන 5% බද්ද පෞද්ගලික විශ්‍රාම අරමුදල් වලටත් දැඩි ලෙස බලපානවා.

පුද්ගලික විශ්‍රාම අරමුදල්න්ට වලට  EPF එක මෙන් ප්‍රාථමික වෙළඳපොලෙන් රජයේ සුරැකුම් මිලදී ගන්න බැහැ. ඔවුන් මිලදී ගත යුත්තේ ද්විතික වෙළඳපොළේදී ප්‍රාථමික තැරැව් කරුවන්ගෙන්. මෙමගින් පුද්ගලික විශ්‍රාම අරමුදල් ගණනාවකම පොලි හා පලදා භායනක ලෙස පහල බැහැල තිබෙනවා.

මෙමගින් සිදු වන්නේ EPF  සාමාජිකයින්ට ගෙවිය යුතු ප්‍රතිලාභ තවත් හීන වී අරමුදලේ ප්‍රායෝගික පැවැත්ම අර්බුදයකට ගමන් කිරීමයි.

මෙලෙස EPF හා ETF අරමුදල් වලින් රජය නිල වශයෙන් ගසා කණු ලබන්නේ, මහ බැංකු බැඳුම්කර වංචාව හරහා පර්පෙචුවල් ට්‍රේෂරීස් ආයතනයේ ගනුදෙනු තුලින් EPF අරමුදලට සිදු කර ඇති අති දැවැන්ත පාඩුවට අමතරවය. 2014 වසරට සාපේක්ෂව 2015 වසරේදී EPF අරමුදලේ ලාභයේ වර්ධනයේ වෙනස පමණක් රුපියල් බිලියන 27 සිට රුපියල් බිලියන 8 දක්වා දැවැන්ත ලෙස පහල බැස ඇත. මෙය වාසිදායක වෙළඳපොල තත්වයන් යටතේ උපයා ගත හැකි අමතර බිලියන ගණනාවක ලාභය අහිමිවීමකට අමතරවය.

3. FPF  නිවාස නය අහෝසි කිරීම 

EPF අරමුදලේ ගිණුම් හිමියාගේ නමට ඉදිරියෙන් ඇති තම ශේෂයෙන් 75% ක ප්‍රමාණයක් දක්වා හිසට සෙවනක් තනා ගැනීම පිණිස බැංකුවකින් නිවාස නයක් ලබා ගැනීමට EPF ගිණුම් හිමියන්ට ඇති අයිතිවාසිකම 2017 අයවැයෙන් සම්පූර්ණයෙන් අහෝසි කොට තිබෙනවා (2017 අයවැයේ 325 වන පරිච්චේදය).

මෙම අයවැය යෝජනාවෙන් තර්ක කරන්නේ මෙලෙස නිවාස නය ගැනීම සේවකයාගේ විශ්‍රාම දිවියට අවාසිදායකය යන පදනමින්. එනමුත් සේවකයින් දුක් මහන්සියෙන් හරි හම්බ කල EPF මූදල් යොදා ගනිමින් ද්වීතික මුදල් වෙළඳපොලෙන් කෘත්‍රිමව මිල ඉහල නැංවූ බැඳුම්කර මිලදී ගැනීමට සලස්වා, ප්‍රාථමික මුලය වෙළඳපොලේ ප්‍රශ්නගත තැරැව්කාර සමාගමකට දෛවෝපසහගත ලාභ ලැබීමට අවස්තාව උදා කර, එකී බැඳුම්කර වල මිල සති කිහිපයක් යන්න මත්තෙන් පහල යාම නිසා EPF අරමුදලට සිදුවූ බිලියන ගණනාවක ප්‍රාග්ධන පාඩුව සේවකයින්ගේ විශ්‍රාම දිවියට සිදුකරන අවාසිය කවුරුන් හෝ නොදැන සිටීම ඛේදජනකය.

සේවකයකු හිසට සෙවන සලසන නිවසක් තැනිය යුත්තේ වැඩකිරීම සඳහා හෝ ඉපයීම සඳහා සවිශක්තිය තිබෙන කාලයේ මිස, විශ්‍රාම ගොස් වැඩක් පොලක් කර ගන්න බැරි කාලයේ නොවන බවයි.  විශ්‍රාම ගිය පසු නිවස තනන විට කාලයත් එක්ක වියදමත් වැඩිය. ඒ වියදම දරා ගන්න බැරි වගේම, ප්‍රමාදත් වැඩියි. එවිට රැකියාවක්ද සේවකයාට නොමැත.

සේවකයා නිවස හදන්නේ තමුන්ගේ ඉතුරු කිරීම් වල අගය ඇපයක් ලෙස යොදාගෙන තමුන්ගේ තරුණ වියේ, දරු පවුලත් සමග සමාජ ගරුත්වයකින් යුක්තව යහපත් ජීවිතයක් ගත කිරීම උදෙසාය.

මෙම අයවැය යෝජනාවලියේන් අවසානයේ සිදුවන්නේ සේවකයාගේ අරමුදල ජාවාරම් කාරයින්ට සොරකම් කරන්නට ඉඩහැර, ඔවුන් පොහොසත් කොට සේවකයා මහපාරට ඇද දමන භයානක උත්සාහයක් ලෙසය.

EPF මත අයකරන ඔබට නොදැනෙන බදු චක්‍රය 

ඔබේ පඩි පතින් EPF කපලා මහ බැංකුවට යවන විටත් ඔබේ ආදායම් මට්ටම් අනුව ඔබ උපයන විට ගෙවීමේ බද්ද PAYE ඔබේ වැටුපින් අඩු කර අවසන්ය.

ඒ ඔබ බදු ගෙවන පළමු අවස්තාව.

ඊළඟට EPF හෝ පුද්ගලික විශ්‍රාම අරමුදල් ආයෝනය සඳහා මහා බැංකුව හෝ පුද්ගලික විශ්‍රාම අරමුදල් පරිපාලන ආයතනය ද්විතික වෙළඳපොලෙන් රජයේ සුරැකුම් මිලදී ගන්නාවිට පොලි ආදායම මත තවත් 5%ක රඳවා ගැනීමේ බද්දක් (WHT) අයකරනවා.

ඊට පස්සේ පොලිය එකතුවෙලා ඒක සමස්ත ආදායම ලෙස පරිවර්තනය වන විට තවත් 14% බද්දක් වාර්ෂිකව අය කරනවා.

අරමුදල කළමනාකරණයේදී හා ආයෝජනයේදී තවත් මහා පරිමාණ වංචා දූෂණ වලට යටත් කරනවා. විගණකාධිපති වාර්තා මෙයට සාක්ෂි දරනවා.

අවසානයේදී විශ්‍රාම වයසේදී සේවකයා පෝලිමේ ඉඳලා දුක් විඳලා මුදල් ආපසු ගන්නාවිට මුදලේ ප්‍රමාණය හා කාලය අනුව තවත් ආදායම් බද්දක් ගෙවන්නත් සිදුවෙනවා.

අවසානයේදී ඔබේ පඩියෙන් අඩු කර යවන ප්‍රමාණයට වඩා හෝ එහි සමුච්චිත අගයෙන් 75%කටත් වඩා ඔබ බදු ගෙවලා. මෙය අහිංසක මිනිසුන්ව මහ දවාලේ අල්ලාගෙන කරන කොල්ලකෑමකි.

ඔබේ අවසාන EPF  ශේෂය උදෙසා රජයට ඔබ ගෙවන සම්පූර්ණ බදු මුදල කොපමණ දැයි කිසිදු රජයක් ඔබට මේ දක්වා පවසා නොමැත.

ඒ නිසා රජය අපට EPF අරමුදල තුලින් අපෙන් අයකරන සියලු බදු වල වටිනාකම වාර්ෂිකවත්, විශ්‍රාම ගිය පසු අවසානයේදී මුදල් ආපසු ගැනීමේදීත් ඔබට ප්‍රකාශ කල යුතු නොවේද?

ඔබ ගෙවන බද්ද දැන ගැනීමට ඔබට අයිතියක් ඇත. ඒ සඳහා ඔබ හඬ නැගිය යුතුව ඇත.

වෙළඳපොල පොලියට සාපේක්ෂව EPF පොලී පහල දමා සාමාජිකයින්ට පාඩු සිදු කිරීමෙන් කරලියට එන දිගු කාලීන අර්බුදය

වෙළඳපොල පොලි අනුපාතික ඉහල ගියත් EPF අරමුදල 2015 වසරේ දී සිය ගිණුම් හිමියන්ට ලබාදෙන පොලිය 2014 වසරේදී මෙන්10.5% ලෙසම නොවෙනස්ව පහත මට්ටකම පැවතීමෙන් ගිණුම් හිමියන්ගේ අරමුදල් වල වටිනාකම ඉහල නොයාම, දිගු කාලින විශ්‍රාම අරමුදලක් ලෙස තරඟකාරීව පැවතීමට බලවත් ගැටලුවකි.

රජයේ නිල සංඛ්‍යා ලේඛන වලට අනුව 2017 වසරේ සිට ශ්‍රී ලංකාවේ ජනගහනය තුල සිටින යැපෙන්නන්ගේ ප්‍රතිශතය තීරණාත්මකව ඉහළ යාමට නියමිත වීම හරහා අර්බුදයේ විභවයන් අතිශය තීව්‍ර වීම නොවැලැක්විය හැකිය.

මෙම දිගු කාලින අර්බුදයේ පෙරනිමිති දැනටමත්ම පහලව ඇත. EPF අරමුදල් ගිණුමේ සක්‍රිය දායක ගිණුම් සංඛ්‍යාව 2013 වසරේ සිට මිලියන 2 . 4 සීමාවේම පවතින අතර, දායකත්වය ලබාදෙන ගිනුම් හිමියන් සංඛ්‍යාව වර්ධනය වී නොමැත. එනමුත් ශ්‍රම බලකාය වර්ධනය වෙමින් පවතී.  ආර්ථිකයේ වර්ධනයට සාපේක්ෂව දායක වන සක්‍රිය ගිණුම් හිමියන් ගේ සංඛ්‍යාව වර්ධනය වී නොමැත. රටේ නිර්මාණය වෙමින් පවතින රැකියා අවිධිමත් කෙරෙන (informalization of work) ආර්ථික ප්‍රතිපත්ති යටතේ EPF අරමුදල තුල සක්‍රිය ගිණුම් වලට දායක වන රැකියා ශීග්‍රයෙන් ඉහල යනු ඇතැයි උපකල්පනය කල නොහැක. ඉදිරි වසර කිහිපය තුල විශ්‍රාම යන සේවකයින්ගේ ශ්‍රීග්‍ර වැඩිවීමක් දැකිය හැකි වනු ඇති අතර ඊට සාපේක්ෂව දායකත්වය සපයන්නන් ගේ සංඛ්‍යාව ඒ හා සමානව ප්‍රසාරණය නොවනු ඇති බව දැනට පෙනෙන සක්‍රිය දායකයින්ගේ සංඛ්‍යාවේ මන්දගාමී වර්ධනයෙන් ඉතා පැහැදිලි වේ. මේවා EPF අරමුදල මුහුණ දෙන ක්‍රමික  අර්බුදයේ පෙරනිමිති රෝග ලක්ෂණයන්ය. 

දිග හැරෙමින් පවතින EPF අරමුදල් මගඩිය වහාම නතර කිරීමට ගිණුම් හිමියන් ඉදිරිපත් නොවුවහොත්, තව වසර කිහිපයක් යන්නට මත්තෙන් අරමුදල නැවත ගොඩ ගත නොහැකි ආරවුලකට යනු නියතය.

 

 

මහ බැංකු EPF දත්ත වල මූලාශ්‍ර සබැඳුම් පහතින් 

EPF අරමුදලේ කාර්යසාධන දර්ශක 2015 (සිංහල) – ශ්‍රී ලංකා මහ බැංකුව

EPF අරමුදලේ කාර්යසාධන දර්ශක 2014 (සිංහල) – ශ්‍රී ලංකා මහ බැංකුව

 

1. EPF අරමුදල කියන්නේ මොකක්ද ? ඒක හැදෙන්නේ කොහොමද?

2. EPF එක අද මුහුණ දීලා තිබෙන අතිශය භායනක අකරතැබ්බය කුමක්ද?

3.  EPF එකේ ලාභ පහල බසින්නේ ඇයි?

 4. අසාමාන්‍ය ලෙස ලාභය කඩා වැටීමේ රහස කුමක්ද ?

5. EPF එකේ මහා පරිමාන මගඩියක් සිදුවී තිබෙන බවට ඇති සාක්ෂිය කුමක්ද?

6. EPF සාමාජිකයින්ට ගෙවන පොලියට සිදුවෙමින් පවතින්නේ මොනවාද ?

7.2017 අයවැයෙන් EPF අරමුදලට සිදුවන්නේ කුමක්ද ?

8. තම EPF ශේෂයෙන් හිසට සෙවනක් තනා ගත නොහැකි ද?

 9. රජය EPF එකෙන් අය කරන බද්දේ තරම

 

 10. EPF සාමාජික ඔබේ වගකීම 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. Siriweera says:

    රට විකුණන ගමන්, ඒ පාර අපිවත් විකුණගෙන කනවා වගේ.

    (1)(0)



    1



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435