ETF/EPF ගැන වෘත්තීය සමිති හඬ නැගීම ප‍්‍රමාණවත් මදි – සිල්වෙස්ටර් ජයකොඩි

EPF/ETF අරමුදල් පෞද්ගලිකරණය සම්බන්ධව පසුගිය කාලයේ සමාජය තුළ යම් කතාබහක් ඇතිවුවත් මේවන විට එය වියැකී ගිය ස්වරූපයක් පෙන්නුම් කරනවා. වෘත්තීය සමිතිවල මැදිහත්වීම වුවත් ප්‍රමාණවත මට්ටමක ඇතිබවක් පෙනෙන්නට නැහැ. නමුත් EPF/ETF අරමුදල පෞද්ගලීකරණයට ඇති අවදානම් තත්වයද මුළුමනින්ම පහව ගොස් නැහැ. පවතින තත්වය, වෘත්තීය සමිතිවල මැදිහත්වීම හා මේ පිලිබඳ සමාජය තුළ සැළකියයුතු මට්ටමක කතා බහක් ඇති කරන්නට නම් කළ යුත්තේ කුමක්ද යන්න වැඩබිම විමසා සිටියා, ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ ගරු ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි මහතාගෙන්..

  •  ශී‍්‍ර ලංකාව මෙවැනි අරමුදලක් පිහිටුවීමේ ආරම්භය හා එයට බලපෑ හේතු?

1958 අංක 15 දරන පාර්ලිමේන්තු පනත යටතේ අර්ථ සාධක අරමුදල පිහිටුවනු ලැබුවා. අරමුණ වූයේ පුද්ගලික අංශ හා සංස්ථා සේවකයින්ට විශ‍්‍රාම යාමේදී රජයේ සේවකයන්ට මෙන් විශ‍්‍රාම වැටුපක් හිමි නොවන නිසා රක්ෂණ ක‍්‍රමයක් සැකසීමයි. මෙලෙස යම් මුදලක් සේවා කාලය තුල ඉතිරි කර විශ‍්‍රාම යාමේදී ලබා ගැනීමට හැකි අනිවාර්ය ඉතිරි කිරිමේ ක‍්‍රමවේදයක් ලෙස සැලකිය හැකියි.

  • EPF/ETF   අරමුදල ගැන දැනට තිබෙන තත්වය පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් කළොත්?

2013 වන විට රුපියල් බිලියන 1281.9 ක් බවත් ලංකාවේ ජාතික දල ආදායම ජී.ඞී.බී. වලින් 15% ක් මෙම අරමුදලට සමාන බවත් මහා බැංකු වාර්තා අනුව සඳහන් වෙනවා. මෙම මුදල බැංකු බැදුම්කර මගින් පොලියට ආයෝජන කිරීම පවතින රජයේ උවමනා එපාකම් අනුව සිදුවෙනවා. 2010 පසුගිය රජය යටතේ ගුවන් සමාගමක කොටස් 1,863,676 ක් රුපියල් දසලක්‍ෂ 500 ක් මෙම මුදලෙන් යොදවා තිබෙනවා. විගණක වාර්තාවලට අනුව 2011 පෙබරවාරි මාසයේ එක්තරා මුල්‍ය සමාගමක කොටස් 5000,200 ක රුපියල් දසලක්‍ෂ 205.49 ක් ආයෝජනය කර තිබූ නමුත් දස ලක්‍ෂ 4285.94 ක අලාභයක් ලබා තිබූ අතර, වර්ෂාවසානයේදී එම සමාගම ලබා තිබූ මුළු අලාභය රුපියල් දස ලක්‍ෂ 3830.14 ක් බව වාර්ථා වෙනවා.

විගණක වාර්තාවලට අනුව, කම්කරු දෙපාර්තමේන්තුවේ ප‍්‍රමාදයන්, සැක කටයුතු ගණුදෙනු නිසාත් විශාල මුදල් ප‍්‍රමාණයන් මෙම අරමුදලට අහිමිව ගිය බැව් වාර්තා වී ඇත.

මේ ආකාරයට මෙම අරමුදලෙන් විවිධ ව්‍යාපෘති සඳහා ගණනක් මිම්මක් නැති මුදල් ප‍්‍රමාණයන් රජයේ විවිධ කටයුතුවලට යොදා තිබුණි. ඉතා මෑතකදී වඩාත් පැහැදිලි අපහරණයක්වී තිබුණේ රුපියල් කෝටි 4 කට ආසන්න මුදලක් කම්කරු දෙපාර්තමේන්තුවට අවශ්‍ය පරිඝනක ලබා ගැනීම සඳහා අර්ථ සාධක අරමුදලෙන් ලබා ගැනීමට කටයුතු කර ඇති බව වාර්ථා වුනා.

ඉතාමත් අවාසනාවන්ත තත්ත්වය වන්නේ මෙම අර්ථ සාධක අරමුදල් කළමණාකරණය කිරීම කම්කරු දෙපාර්තමේන්තුවටත්, පරිහරණය මහ බැංකුවටත් පැවරී තිබීමයි. එහෙත් මේ දෙපාර්ශවයම මෙම අරමුදලේ නියම අයිතිකරුවන් වන සේවකයන්ට වගකීමක් නැහැ.

  • EPF/ETF   මුදල් පුද්ගලීකරණයට විරුද්ධ විය යුත්තේ ඇයි?

කම්කරු දෙපාර්තමේන්තුවත්, මහා බැංකුවත් යන දෙකම රාජ්‍ය සංස්ථා බව අපි දන්නවා. එනිසා රාජ්‍ය ආයතන ලෙස ඒවා ගැන වගකීම රජයට පැවරෙනවා, ආණ්ඩු බලය කා වෙත හිමි උනත් රාජ්‍ය ආයතනවල වගකීම්වලට එම ආණ්ඩු වගකිව යුතුයි. ඒ නිසා සහතිකයක් තිබෙනවා එම රාජ්‍ය ආයතනවල යම් සුරක්‍ෂිතභාවයක් පිළිබඳව. නමුත් පෞද්ගලික අංශයට ඒක බාර ¥න්නට පසු කව්ද වගකියන්නෙ ? ඒක එහෙම වෙන්න දෙන්න බැහැ.

ඉතා සරල උදාහරණයක් කිව්වොත්, අපි දැන ගෙන තියෙනවා සමහර පෞද්ගලික ආයතන කාලයක් මේ රටේ ආයතන පවත්වා ගෙන යනවා. සේවකයන් සුපුරුදු පරිදි සේවය කරනවා. වසර ගණනකට පසු එක් උදෑසනක වැඩට යන කොට ආයතනය ගේට්ටු වහලා ආගිය තැනක්වත් දැන ගන්න නැහැ. සේවකයෝ අනාතයි. නන්නත්තාරයි. දැන් කාටද කියන්නේ? වගකිවයුතු කවුරුත් නැහැ. නිදහස් වෙළඳ කලාපයේ එහෙම වෙලා තියනවා. අපි හිතමු මේක අර්ධ රාජ්‍ය හෝ රාජ්‍ය ආයතනයක උනා කියලා. ඒකට රජය මැදිහත් වෙනවා. ඒ ආකාරයට බැලූවම අර්ථ සාදක මුදල කියන්නේ මේ රටේ දල ජාතික නිෂ්පාදනයන් ප‍්‍රමාණයක්. ඒක පුද්ගලික අංශයට පැවරුවෙත් විශ‍්‍රාම ගියාට පසු හිඟාකන්නයි වෙන්නේ.

  • මෙහි බැරැරුම් තත්වය පිළිබඳ වැඩ කරන පොදු මහජනතාව නිද්‍රාශීලී බවක් තමයි පෙන්නුම් කරන්නේ. ඔබ හිතන විදිහට ඒ ඇයි?

මම හිතන්නේ පොදු මහජනතාවට කලින් වැඩ කරන ජනතාව මේ ගැන අවධානය යොමු කළයුතුයි, මහජනතාවට අර්ථ සාධකවලට වඩා හිතන්න දේවල් තියනවානේ.

  • වෘත්තීය සමිති මේ ගැටළුව පිළිබඳ කරන හඬ නැගීම ප‍්‍රමාණවත් මදි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්, ඒ ගැන ඔබ මොකද කියන්නේ?

වෘත්තීය සමිති ගැටළුව ගැන හඬ නැගීම ප‍්‍රමාණවත් මදි. ඔව් වෘත්තීය සමිති කියපුවම විශේෂයෙන් ප‍්‍රබේද කිහිපයක් මතක තබා ගතයුතුයි.

1. එකක් දේශපාලන පක්‍ෂ විසින් නායකත්වය දෙන වෘත්තීය සමිති.

2, අනික බලයක් නැති දත් හැලූන දේශපාලන පක්‍ෂවල සමිති.

4. සමිති තිබුනට සාමාජිකත්වය නැති වෘත්තීය සමිති

5. සංවිධානාත්මක ලෙස සිය සාමාජිකයන් පෙලගැස්වීමට නොහැකි සමිති.

ජාතික කම්කරු උපදේශක සභාවේ ප‍්‍රධාන වෘත්තීය සමිති මේ පිළිබඳව උනන්දුව දැක්වූවත් සිය සාමාජිකයන් පෙලගස්වා උද්ඝෝෂණයකට යාමට තරම් උනන්දුවක් දක්වා නැහැ. එක් එක් සමිති තම සාමාජිකයන් දැනුවත් කිරීම සඳහා එක් එක් මට්ටමෙන් විවිධ පියවර අරගෙන තිබෙනවා.

  • පසුගියදා වැඩ කරන මහජනතාවට පොදුවේ අවාසි සහගත ලෙස බලපාන රාජ්‍ය තීන්දුවලට විරෝධය දක්වන්න රාජ්‍ය, පෞද්ගලික භේදයකින් තොරව මහා වැඩ වර්ජනයක් කරලා සාර්ථක වෙන්න ඉන්දීය වෘත්තීය සමිති කි‍්‍රයාදරයන්ට හැකියාව ලැබුනා. ලංකාවේ වෘත්තීය සමිති EPF/ETF   ගැටළුවට අදාලව එහෙම එකමුතුවකට එන බවක් නොපෙනෙන්නේ ඇයි?

ඉන්දියාවේ වෘත්තීය සමිති කි‍්‍රයාකාරීත්වය ඇති වූයේ අර්ථ සාධක වගේ ප‍්‍රශ්නයක් නොවේ. 4% – 6% අතර විදුලි බිල වැඩි කිරීම ප‍්‍රධාන උනා. ජීවන වියදම අධික වීම තවත් ප‍්‍රශ්නයක්. සෞඛ්‍යාරක්‍ෂක නගර සභා සේවකයන්ගේ වර්ජනය නිසා මුළු දිල්ලි නගරය හුස්ම ගන්න බැරි තත්වයකට පත්වුනා. විශ්ව විශාල ශිෂ්‍යයන්ගේ වර්ජන හැම එකක්ම රජයට අභියෝගයක් උනා. නමුත් EPF ආරවුල ඒ ආකාරයට අපට සමාන කරන්න බැහැ. 000

  • EPF/ETF   වෙනුවට විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් හඳුන්වා දෙන්න උත්සහ කරපු වේලාවේ කටුනායක වෙළඳ කලාපයේදී වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක් එක් තරුණයෙක්ගේ ජීවිතය පවා අහිමි උනා. එදා එකට එක්ව කි‍්‍රයා කරපු වෘත්තීය සමිති මෙදා EPF/ETF   ගැටළුවට ඒක නොවෙන්නේ වෘත්තීය සමිති අතර තියෙන කට්ටිවාදය නිසා නොවෙයිද?

නැහැ. මේ ගැන අදහස් ප‍්‍රකාශ කිරීමට තවම වේලාසන වැඩියි. රටේ වාතාවරණය බලන්න, බලයේ සිටි පක්‍ෂයේ වෘත්තීය සමිතිය තමයි වැඩිම සාමාජික පිරිසක් සිටින බව කියන්නේ. රජයේ, අර්ධ රාජ්‍ය, වරාය, ගුවන් තොටුපල, පෞද්ගලික අංශය. කලින් රජය යටතේ ඔවුන් රජයේ වෘත්තීය සමිතිය නිසා යම්යම් සීමාවන් තුල කටයුතු කළා. රජය මාරු උනාම එක්වරම ඔවුන් කි‍්‍රයාවට සාමාජිකයන්ව ගෙන ඒමට බැහැ. මේ අතර අද නව රජය යටතේ මේ ඉන්නේ තලගොයාද කබරයාද හොයාගන්නා බැරි තත්වයක්.?

 වෘත්තීය සමිති කට්ටිවාදයට වඩා රටේ පවතින අවිනිශ්චිත දේශපාලන වාතාවරණය නිසා තවම කරකවල අතහැරිය තත්වයකයි ඉන්නේ. අපිට නම් මේ කිසිම දෙයක් අදාල නැහැ. ඇයි? අපි 2014 නොවැම්බර් මාසෙම කිව්වා කවුරු ආවත් කම්කරු පංතියට මුහුණ දෙන්න වෙනවා කියලා. විවෘත ආර්ථිකය/නව ලිබරල් ආර්ථිකය/සමාජ වෙළඳපල ආර්ථිකය ආදී මොන නම් දාගෙන ආවත් ජනතාවට බදුබර පැටවීම ආයෝජකයන්ගේ ලාභය සඳහා අඩු මිලට ශ‍්‍රමය සැපයීම, කම්කරු නීති පාලකයන්ට වාසි සහගත ආකාරයට ලිහිල් කිරීම වැනි දේට ඉදිරි කාලය තුල මුහුණ දෙන්න වෙනවා. එතකොට සමහර විට වෘත්තීය සමිති නායකයන් කෙසේ වෙතත් සාමාජිකයන් අවදි කරවීමට අවස්ථාවක් සැලසේවි කියා හිතනවා. තරුණයෙකුගේ ජීවිතය පුද කරපු ඒ සටනේදී වෘත්තීය සමිති හැම එකක්ම එක්ව කටයුතු කලායැයි කියන්න බැහැ.රජයට හිතවත්ව සිටි සමිති, වැට උඩ සමිති මුකුත් කලාද? කම්කරුවන් තමයි එදා විරෝධයට එක්වූයේ පෙරමුණ ගත්ත නිදහස් වෙළඳ කලාප සේවකයන් සමග.

  • වෘත්තීය සමිති මුන්ගේ දේශපාලන අරමුණු ගැන සිතනවා මිසක් මේ ගැටළුව විසඳගන්න පොදු කි‍්‍රයා මාර්ගවලට එළඹෙන්නෑ කියලා කවුරු හරි චෝදනා කළොත් ඔබ එයට දෙන පිළිතුර මොකක්ද?

ඔව්/නැහැ. එහෙම උත්තර දෙන්න වෙන්නේ වෘත්තීය සමිති තම දේශපාලන පක්‍ෂයේ උවමණාව ඉෂ්ඨ කිරීමට පොදු කි‍්‍රයාවලට නොඑළඹුනු අවස්ථා තිබුණ නිසාත්, ඉදිරියටත් තිබිය හැකි නිසාත්, එලෙස කිව යුතුයි.

අප සංගමයට පැහැදිලිවම නැහැ කියා කියන්න පුළුවන්. නමුත් ප‍්‍රශ්නයක් තියනවා. ලංකාවේ සාක්‍ෂරතාවය 90% කට වැඩියි කියනවා නේද? ඔය කියන සාක්‍ෂරතාවය, තේරුම් ගැනීමේ හැකියාව තියන මිනිස්සුද නැත්නම් යන්තම්ිඅ’ යන්නිආ’ ලියන මිනිස්සුද? කියලා හිතන්න වෙනවා. පසුගිය ඡන්ද ප‍්‍රතිඵල දිහා බැලූවම ඒක අහන්නට සොයන්නට ඕන කාරණයක් . ඇයි? ඔය කියන සාක්‍ෂරතාව තියනවා නම්, හොරු, තක්කඩි, මැරවරයෝ, දුෂිතයෝ මහජන මුදල් අපහරණය කලවුන් ලෙස නම් දරපු, ජාතිවාදී, හෝ ආගම්වාදී නරුමයන්ට ඡන්දය දෙයිද?

අප සංගමය කිසියම්ම දේශපාලන පක්‍ෂයකට නැමිලා නැති නිසා අපේ දැන් පිරිසිදුයි. ඒක නිසා දේශපාලන අරමුණු සඳහා මේ ගැටළුව විසඳගන්න පොදු කි‍්‍රයා මාර්ගවලට එළඹෙන්නේ නැහැ කියලා අපට චෝදනා කරන්න කාටවත් බැහැ,

  • එක්සත් ජාතික පක්‍ෂයේ පතිපත්ති ප‍්‍රකාශනයේ මේ EPF/ETF   පෞද්ගලීකරණය පිළිබඳව ඍජුව සඳහන් කර තිබුණා. එය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් ඉවත් කර ගන්නා ලෙස අදාල පක්‍ෂයට බලකරන්න හෝ එයට ප‍්‍රබල විරෝධයක් දක්වන්නට හෝ වෘත්තීය සමිති ඡන්දයට පෙර කි‍්‍රයා නොකළේ ඇයි?

මැතිවරණ ප‍්‍රකාශනයේ ඒක තිබුණා.  EPF/ETF   පුද්ගලීකරණය ඒක සඳහන්වෙලා තියෙන්නේ මෙහෙමයි.

  • මේ ගැටළුව පිළිබඳ සමාජය තුල සැලකිය යුතු මට්ටමක කතා බහක් හෝ ප‍්‍රතිවිරෝධයක් ඇති කිරීමට නම් වෘත්තීය සමිති ගතයුතු ඉක්මන් කි‍්‍රයාමාර්ග ලෙස ඔබ දකින්නේ මොනවාද?

ඒ පිළිබඳව සාමාජිකයන් දැනුවත් කිරීමට දැන්වීම් 1000 ක් අච්චුගසා බෙදුවා, අපේ සාමාජිකයන්ට නොව වෙනත් අයට. අපේ මාර්ගවලින් අපගේ සාමාජිකයන් දැනුවත් කරනු ලැබුවා. නමුත් දේශපාලන මැතිවරණය සඳහා මහ කළබැගෑනියක් තියෙද්දී ඒකේ කොටස්කාරයෝ වන කම්කරුවන් තමන්ට සිදුවන හානිය ගැනවත් ප‍්‍රමාණවත් සැලකිල්ලක් නොදැක්වූවා කියලයි කියන්න තියෙන්නෙ. වෘත්තීය සමිතිවලට එන්නේ තමන්ගේ සාමාජිකයන් පන ඇතිව ඉන්නවානම් ඔවුන් මොන හේතුවක් නිසා හරි අවධානය වෙනතකට යොමු කරනවා නම් වෘත්තීය සමිතිවලට කරන්න දෙයක් නැහැ,

  • EPF/ETF   පෞද්ගලීකරණයට විරුද්ධව සමාජය තුල ප‍්‍රබල මතයක් ඇති කරන්න වෘත්තීය සමිති අසමත්වෙලා කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මේ ගැන ඔබේ අදහස මොකක්ද?

ඹව් ඒ සඳහා ප‍්‍රබල මතයක් ඇති කිරීමට වෘත්තීය සමිති අසමත් වෙලා කියලා හිතන්න පුළුවන්. නමුත් එක් එක් ආකාරයට වෘත්තීය සමිති තමන්ගේ සාමාජිකයන් දැනුවත් කරලා තියෙනවා. ජීවන වියදම් දර්ශකය ගැසට් නොකර, ජීවන වියදම කොච්චරද කියලා දැන ගන්නට හෝ ඒකකයක වටිනාකම කීයද කියලා ප‍්‍රකාශ නොකිරීම ගැනත් ආණ්ඩුව ගෙන ගිය කි‍්‍රයාමාර්ගය ගැන වෘත්තීය සමිතිත්, සාමාජිකයනුත් නිද්‍රාවට පත්වුන පිලිවෙතක්නේ අනුගමනය කළේ. ඉතින් අවුරුදු 60 දී ගන්න වෙන EPF ගැන වහා කි‍්‍රයාවට එයිද? එතනදී වෘත්තීය සමිති ඇත්තටම අසමත් වෙලා.

  • ඔබ දකින විදියට EPF/ETF   පෞද්ගලීකරණයට විරුද්ධව සියලූම හෝ බහුතරයක් වෘත්තීය ඒකාබද්ධ වෙන්නනම් කළ යුත්තේ කුමක්ද?

අපි හිතනවා මේ ගැන ප‍්‍රසිද්ධ කථිකාවක් කල යුතුයි. වෘත්තීය සමිති නායක කි‍්‍රයාකාරීන්ගෙන් ජාතික සමුළුවක් කැඳවා ආරම්භ කළයුතුයි. ප‍්‍රාදේශීය වශයෙන් මේ ගැන කටයුතු කළයුතුයි. රැස්වීම්, සමුළු සාකච්ඡා සංවිධාන කර උනන්දුවක් ඇති කළයුතුයි. එහිදී නිදා ඉන්න වෘත්තීය සමිති නැගිටවන්න මෙන්ම වෘත්තීය සමිති සාමාජිකයන් පමණක් නොව සංවිධාන ගතවී නැති වැඩි ප‍්‍රතිශතයක් උනන්දුව දක්වාවි.

සබැඳි ලිපි

EPF/ETF පුද්ගලික අංශයට පුදන්න පොරකෑ ඇමතිව රට පටවයි? 

EPF/ETF අරමුදල් දේශපාලකයන්ගේ බූදලයක් නොවේ! 

EPF සහ ETF අරමුදල් කළමනාකරණය සේවක අයිතියට යටත් විය යුතුයි!

තවත් දෙස් විදෙස් විස්තර සඳහා පිවිසෙන්න වැඩබිම වෙබ් අඩවියට 

 

තවත් දෙස් විදෙස් විස්තර සඳහා පිවිසෙන්න වැඩබිම වෙබ් අඩවියට 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435