HSBC සාමූහික ගිවිසුම අත්සන් කරයි- පීඩාව තවමත් එලෙසමයි!

ජාත්‍යන්තර බැංකුවක් වන HSBC ආයතනය, සේවක ශ්‍රමය දැඩිව සූරාකමින් හා සේවකයින් දැඩි සේ පීඩාවට පත්කරමින්, සාමූහික ගිවිසුම පවා අත්සන් නොකරමින් කාලයක් තිස්සේ කටයුතු කරන ලදී. ලංකා බැංකු සේවක සංගමය විසින් දිගු කාලයක් තිස්සේ අවස්ථා ගණනාවකදී සේවක අයිතිවාසිකම් වෙනුවෙන් ඇතැම්විට ප්‍රසිද්ධ ක්‍රියා මාර්ග ගත් අතර තවත් විටෙක අප්‍රසිද්ධියේ උපක්‍රමශීලිව ක්‍රියා මාර්ග ගන්නා ලදී. කෙසේ වෙතත් 2018 වසරේ මාර්තු මාසයේ සිට වසරකට ආසන්න කාලයක් අත්සන් නොකොට පැවති සාමූහික ගිවිසුම, මේ සතියේදී අත්සන් කරන්නට හැකිවීම සේවකයින් ලැබූ ජයග්‍රහණයක් බැව් නොකිව මනාය. එහෙත් HSBC ආයතනය තුළ පවත්නා ගැටළු සියල්ල එයින් සමනය වනු ඇතැයි සිතීම උගහටය.

ජාත්‍යන්තර බැංකුවක් හේතුවෙන් එහි ඉහළ කළමනාකාරිත්වය විදේශිකයින් වන අතර ඔවුන් බැඳී සිටින්නේ තම මව් කාර්යාලයට වගකීමට මිස ලංකාවේ පාලනාධිකාරියකට වගකීමට නොවේ. මේ හේතුව නිසාම කාලයෙන් කාලයට පැමිණෙන ආයතන ප්‍රධානීන්, දැඩි නීති රීති පනවමින්, ආචාරධාර්මිකභාවය කෙරෙහි තඹ දොයිතුවකට හෝ මායිම් නොකොට කෙටි කාලීන අරමුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් පමණක් කටයුතු කරයි. ඒ නිසාම ඇතැම්විට ඔවුන් දේශීය නීති රීති හෝ සම්ප්‍රදායන් කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදක්වයි. මෙම තත්ත්වය පිළිබඳ ලංකා බැංකු සේවක සංගමයේ උප සභාපති දිනුක සමරනායක මහතා අප වෙත අදහස් දැක්වූයේ මේ අයුරිනි.

“ඒ අය කාලයෙන් කාලයට සේවකයින්ට ලබාදෙන ප්‍රතිපත්ති රාමුව වෙබ් මාධ්‍ය පදනම් කරගත්තු එකක්. ඒකෙ සාමාන්‍යයෙන් පිටු දාස් ගණනක් තියෙනවා. කෝඩ් ඔෆ් කන්ඩක්ට්ස් වලට ඇතුළු වුණොත් එතනින එක එක ලින්ක්ස් දෙනවා. ඇත්තටම සේවකයෙකුට ඒ ඔක්කොම කියවලා එකඟ වෙන්න තියා කියවලා තේරුම් ගන්නත් අමාරුයි. ලංකාවෙ භූමියෙ වැඩ කළාට සමහරවිට සේවකයින් වාර්තා කළ යුත්තේ ඉන්දියාවට හෝ වෙනත් රටකටයි. අද උදේ මං කාර්යාලයට පැමිණියත් සවස් යාමේ වෙනත් රටකට අනියුක්ත කරන්න පුළුවන්. එතනදී සේවකයින්ට සිද්ධවෙන අපහසුතා පිළිබඳ කළමනාකාරිත්වය තැකීමක් කරන්නෙ නෑ.
සේවකයින් තමන්ගෙ පුරුදු ආසනයේ සිටින්නේද නැද්ද යන වග පවා පරිගණක හරහා නෙට් වර්ක් කරලා තියෙන්නෙ. ඒවා මොනිටර් වෙනවා. දැනට සේවකයෙකුට නැඟිටලා යන්න බැරි තත්ත්වයක් සමහර දෙපාර්තමේන්තුවල තියෙනවා. හඳුන්වාදී තියෙන රේටිං සිස්ටම් එක තවත් මර්දනකාරී ක්‍රමවේදයක්. සේකයෙකුගේ දෛනික වැඩ කොටස හැරුණුවිට එයාගෙ පුද්ගලික හැසිරීම, ආකල්ප පවා මැනීම ඊට අයිතියි. ඒවට මාර්ගෝපදේශන නෑ. සමහරවිට මැනේජර් එක්ක හිනාවුණේ නැත්නම්. එයා එනව දැක්කෙ නැතිව පැත්තකට වෙලා හිටියොත්, සමහරවිට අතේ තියෙන හෙල්මට් එක දොරක පුටවක වැදුණොත් පවා ලකුණු කැපෙනවා. නිදසුනක් විදිහට අපේ වෘත්තීය සමිති නායකයා ගැන හිතුවොත් එයාගෙ රාජකාරි ගැන කිසිම ගැළුවක් තිබ්බෙ නෑ. ඒත් මැනේජ්මන්ට් එක පැත්තෙන් කියලා තිබුණා මෙයාගෙ හැසිරීම් පැත්තෙන් රේටිංන්ග්ස් පහලට දාන්න කියලා. ඒ කළමනාකාරිත්වට සුවච කීකරුව නොසිටීම කියන කාරණය නිසයි. පස් දෙනෙකු සිටින දෙපාර්තමේන්තුවක් නිදසුනක් විදිහට ගත්තම ඒ පස් දෙනා ඉතාම හොඳට වැඩ කළත් එයාලත් තව 10%ක් වත් ෆෝ රේටිං දෙන්න ඕන. මේක ඉතාම අසාධාරණ තත්ත්වයක්”

මෙකී මර්දනකාරී වටපිටාව තවමත් එලෙසමය. එසේ තිබියදී වසරකට ආසන්න කාලයක් තිස්සේ ‘සාමූහික ගිවිසුම’ අත්සන් නොකොට තිබී අවසාන මොහොතේ හෝ එය අත්සන් කිරීමට එකඟවීම සතුටට කරුණකි. එහෙත් එකී කටයුත්ත දක්වා පැමිණි මගද අභියෝගයක්ම වූ බැව් පැහැදිලිය.

” මේ විදිහේ අර්බුද ගණනාවක් තිබ්බා. සාමූහික ගිවිසුම ගැනත් ගිය අවුරුද්දෙ සිටම සාකච්ඡා කළත්, එය අත්සන් නොකරන තැනට එහි කළමනාකාරිත්වය දැඩි ස්ථාවරයක හිටියා. යම් වෙනසක් කරනවා නම් ඒ වැටුප් සම්බන්ධයෙන් විතරයි කියලත් කියලා තිබ්බා. ණය පහසුකම් හෝ වෙන යම් දීමනාවන් කිසිවක් වැඩි කරන්න බෑ කියලා තිබුණා. හාම්පුතුන්ගේ සම්මේලනය පවා එතනදී අසරණ වුණා. හාම්පුතුන් පවා කියන දේ බැංකු කළමනාකාරිත්වය ගණන් ගත්තෙ නෑ. එහෙම තත්ත්වයකදී හැම බැංකු සේවකයෙකුටම පුද්ගලිකව සාමූහික ගිවිසුමක් වෙන වෙනම දෙන්න පටන් ගත්තා. සාමූහික ගිවිසුම, සංගමයක් එක්ක මිසක් ගමයේ සාමාජිකයින්ට වෙන වෙනම සාමූහික ගිවිසුම්දීම මීට පෙර නොතිබුණු තත්ත්වයක්. ඒ වෙනුවෙන් බලපෑම් කළා. ඕකත් එක්ක බැංකු සේවා සංගමයට වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට යොමුවීම හැර වෙනත් විකල්පයක් නොමැති තත්ත්වයවට පත්වුණා. අපි වෘත්තීය ක්‍රියා මාර්ග දියත් කළා. උද්ඝෝෂණ කළා. පෝස්ටර් ගැහුවා. විවිධ බලපෑම් කළා. මාලදිවයින සිටින කලාපීය ප්‍රධාන විධායකවරයා ලංකාවට ආවම ලීෆ්ලට් එකක් බෙදුවා. මේ විදිහට යම් යම් ක්‍රියාමාර්ග ගනිමින් සිටියා.
එක වෙලාවක අපි ඇහුවා,’ ඔයාලගෙ මේ අවසන් ස්ථාවරය කොන්ක්‍රීට්ද? කියලා. ඒකට උත්තර ලැබුණේ ‘නෑ යකඩ’ කියලා. එච්චරකට නොනැමෙනසුළු බවක් කළමනාකාරිත්වයේ තිබුණා. ඒ නිසාම අපට එළියට නොපෙනන සටන් ක්‍රියා මාර්ග පවා ඇතුළතින් ගනිමින් බලපෑමක් කරන්න සිද්ධවුණා. එතෙන්ට ආවම තමා කළමනාකාරිත්වයේ මැදිහත්වීමෙන් කම්කරු කොමසාරිස් ජනරාල් හරහා අපිවත් ගෙන්වලා සාකච්ඡා කරලා එතුවක් දැරූ ස්ථාවරය වෙනස් කරලා, තව 2%න් වැටුප් වැඩි කළබහැකි බවට එකඟ වුණා. සාමූහික ගිවිසුම අත්සන් කළා. මාසයක් ඇතුළත ණය පහසුකම් වැඩි කිරීම ගැන ගැන සාකච්ඡා ආරම්භ කිරීමට එකඟත්වය ලැබුණා. ඊට අමතරව වෛද්‍ය දීමනා වැඩි කරන්න පොරොන්දු වුණා” සමරනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව මේවන විට සාමූහික ගිවිසුම අත්සන් කළද, උසස්වීම් පටිපාටිය ඇතුළු ‍HSBC සේවකයින්ට මුහුණදීමට සිදුව ඇති අභ්‍යන්තර ගැටළු රාශියක් ඇත. ලංකාවෙ සේවකයින් වෙනත් රටවලට මාරු කළාම මුහුණදීමට සිදුවන ගැටළු, හැසිරීම්, ආකල්ප වලට පවා කරන බලපෑම් ආදි සූරාකෑම් තවමත් ක්‍රියාත්මකය. ඒ අනුව තවමත් අළු යට ගිනිය.

”සාකච්ඡා මෙසයේදී විසඳා ගැනීමට බලාපොරොත්තු වුණත් එය ඉටු කර ගැනීමට නොහැකි වුණොත් වෙනත් විකල්පයන්ට යන්න සිද්ධ වෙනවා.” දිනුක සමරනායක මහතා අවසාන වශයෙන් අවධාරණය කළේය.

-පී.ඩබ්ලිව් මුතුකුඩආරච්චි

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435