PHI ලා වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි – එකඟතාව ගැන උපුල් රෝහණ තතු පහදයි

අගමැතිවරයා සහ සෞඛ්‍ය බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට එකඟ වී තිබේ.

ඒ අනුව අද (29) උදෑසන 7.30 මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩබිමට සඳහන් කළේය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඇති බලතල අනුව යම් නඩු පැවරීමක දී එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් (MOH) විමසා සිදුකිරීමටත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා අතර ඒ සම්බන්ධයෙන් යම් පරස්පරතාවයක් ඇති වුවහොත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ සිය එකඟතාවය පළ කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ඔවුන් මෙම එකඟතාවයන්ට පැමිණ ඇත.

ඒ අනුව රාජකාරී කටයුතු සිදු කිරීමේ දී නිරෝධායන රෝග ස්පර්ශකයන් සහ බෝවන රෝග පාලනය කිරීමේ ආඥා පනත උල්ලංඝනය නොවන පරිදි කටයුතු කිරීමට ද මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ එකඟතාවය හිමි විය.

මේ අතර මෙහිදී මහජන පරීක්ෂක සේවාවේ පවතින ගැටලු සම්බන්ධයෙන් ද එම සංගමය විසින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ස්වකීය වෘත්තීය ක්‍රියා මාර්ගය අත්හිටුවීම පිළිබඳව ‘වැඩබිම‘ කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙසේද සඳහන් කළේය.

“පසුගිය 16 වන දින ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට පස්වරුවේ රැස්වුණු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ විධායක සභාව විසින් තීරණය කළා . මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයට පාදකවුනේ 1897 අංක 03 දරණ නිරෝධායන හා රෝග ස්පර්ශකයන් වෙන් කර තැබීමේ ආඥා පනතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට, ‘පරීක්ෂකවරුන්‘ සතු බලතල පිළිබඳ ගැටළුවක් නිර්මාණය වීම සහ අමාත්‍යවරිය විසින් එම බලතල ලබානොදෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමයි. ඉකුත් 25 වන දින නීතිපති දෙපාර්තමේන්තුව විසින්, නීතිපතිනරයා විසින් මේ සම්බන්ධව නිර්දේශ ලබාදෙමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පවතින බලතල සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම්වත් කිරීමට පියවර ගත්තා. අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජනය කරමින් පැමිණි නියෝජිතවරිය ඉතාමත් හොඳින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට “පරීක්ෂකවරුන්“ ලෙස පවත්නා බලතල තියෙන ආකාරය හා ඒ සඳහා ප්‍රතිපාදන පවත්නා ස්ථාන පැහැදිලි කළා. එයින් පසු සෞඛ්‍ය අමාතයංශය ඒ පිළිබඳ එකඟතාවකට ආවා. ඒ වගේම අනවශ්‍ය ගැටුම් නිර්මාණයවීම වළක්වා ගැනීම සඳහා නඩු පැවරීමේදී පමණක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුම්වත් කරන ලෙස ඉල්ලා සිටියා. ඒ ගැන වාචික එකඟතාවකට පැමිණියා. ඒ අනුව අද දින සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බෝ වන රෝග පිළිබඳ ක්ෂේත්‍ර රාජකාරිවලට සුපුරුදු ලෙස සම්බන්ධ වෙනවා. “

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435