විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතන වල අන්තර් විද්‍යායතන කමිටුව රැස්වේ

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතන වල අන්තර් විද්‍යායතන කමිටුව රැස්වේ

ශ්‍රී ලංකා  වෛද්‍ය සංගමයේ සංවිධානයෙන් , අනුග්‍රහයෙන් මෙරට විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතන වල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පවත්වන අන්තර් විද්‍යායතන කමිටු රැස්වීම (08) දින සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් විජේරාම මාවතේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙරට ජනතාවගේ සෞඛ්‍ය උන්නතිය සදහා අදාල වන පොදු කාරණා සම්බන්ධයෙන් කතිකාකොට එකගතාවයන්ට පැමිණ ඒ පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය සමග ඉදිරි සාකච්ජා  පවත්වා මෙරට ජනතාවට ගුණාත්මක, ප්‍රශස්ථ සෞඛ්‍ය සේවාවක් ලබා දීම  මෙහි ප්‍රධාන පරමාර්ථය වේ.

අද දින පවත්වන ලද අන්තර් විද්‍යායතන කමිටු රැස්වීමේදී වැරදි ආකාරයට ප්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීම  සම්භන්ධයෙන් එය නිවැරදි කිරීමට ගතයුතු කරුණු පිළිබදවත්,මේ වන විට රට තුළ තරුණයන් අතර දුම්පානය වෙනුවට E සිගරැට් භාවිතය ඉතාම හානිකර තත්වයක් වන බැවින් ඒ සදහා ගතයුතු ඉදිරි පියවරයන් පිළිබදවත්, විවිධ අංශ වල විශාල වියදමක් යන ඖෂධ  නිසියාකාරව භාවිතා කිරීමට සකස් කරන උපදේශණ මාලාවක් මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ එය නිසියාකාරව භාවිතා කරන ආකාරය පිළිබදව මාර්ගෝපදේශණ සකස් කරන්නේ කෙසේද යන්න පිළිබදවත්, ඉදිරියේදී දරුවන්ට මව්කිරි දීම සම්භන්ධයෙන් ප්‍රතිපත්ති මාලාවක් සකස්කිරීම පිළිබදවත්, එමෙන්ම ඉදිරියේදී  ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබදවත් මෙහිදී මූලික වශයෙන් සාකච්ජාවට භාජනය විය.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ ඉදිරි කාලය තුළ රෝගීන්ගේ ආරක්ෂිතභාවය වෙනුවෙන් සියලු දෙනා එක්ව කටයුතු සිදුකලයුතු බවය. අඩු පිරිවැයකින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සපයන රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව ඇගයීමට ලක් කර තිබෙන බවද, මෙවැනි කමිටු රැස්වීම් වලින් ලබා ගන්නා අදහස්  මගින් මෙරට ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීමට පිටුවහලක් වන බවද  කීය.

මෙම අවස්ථාවට  ශ්‍රී ලංකා  වෛද්‍ය සංගමයේ වත්මන් සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, අන්තර් විද්‍යායතන කමිටුවේ සභාපති වෛද්‍ය සුරන්ත පෙරේරා යන මහත්වරුන් ද, මෙරට විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතන නියෝජනය කරමින් නියෝජිතයන් පිරිසක්ද සහභාගි වූහ.