මා ඉගොර් ගැන සිතමින් සිටින්නෙමි. ඉගෝර් යැයි සුහුරු බසින් කීවාට ඔහු ඉගෝර් ෆියදොවිච් ස්ට්රවින්ස්කිය. ඔහු සුපතළ රුසියානු සංගීත සමායෝජකයෙකි. නවීන සංගීත ප්රවණතාවේ ද සමාරම්භකයෙකි. ඔහු පසුකලෙක ප්‍රංශ -ඇමෙරිකානු පුරවැසි බව ද ලද්දේය. හේ මෙසේ කියයි.
"Lesser artists borrow, great artists steal
නිම් හිම් නැති සංගීතය, දේශසීමා මතුනොව බාල මහළු ලෙස ඇති බෙදුම් රේඛාව ද සොරාගන්නේය. සංගීතය ලෙසින් මිනිසා ලත් දිව්‍යමය තිළිණය දෙදාහේ පරපුර වෙතද නොමසුරුව ප්‍රතිදානය කර ඇති සේය. එහි දිසි අපූරුව සිරස සති අන්ත ටෙලිවිෂණයේ දැන් අඛණ්ඩව දිග හැරෙමින් ඇත්තේය. මේ බුහුටි සුහුඹුල් බාලකයන්ද - ලලනාවන්ද අප නෙත් සිත් එකපැහැර පැහැර ගනිමින් සිටින්නෝය.
ඉදින් ඉගොර් බස සැබෑය. සුළුතර කලාකාරයෝ අපගෙන් ණයට ගන්නා ආකර්ෂණය - මහා සංගීත කාරයෝ සොරා ගන්නේය. අතිශයෝක්තිමය බසක් යැයි අවමන් ලද්දේ විය හැකි වුවද සංගීත රසික මාගේ ෂඩ් ඉන්ද්‍රියම පුබුදන සජ්ඣායනා ස්වර පෙළහර සුපසන් මුලපිරුමකි. වෙසෙස් චින්තාවකි. ඒ ලොව නොනගින අපිට හැරදුන් නවමු ද්වාරයකි. අපගේ මහා කලාකාරයන් ගැන දෙදාහේ පරපුර නැවත කියවීම අපූරුය.
සජ්ඣායනා යනු සිරසේ නිමැවුමකි. අටෝරාසියක් වූ නව මුලපිරීම් මැද්දේ සිරස අද ද විනෝදාස්වාදන කලාවට පාර කියන්නේය. එය විවාදිත බව සත්‍යය. එනමුත් අත්හදා බැලීම් යනු කිසිවෙකු ඬුකඳේ නොගැසිය යුතු සොඳුරු උත්සාහයකි.
නිමල් ලක්ෂපතිආරච්චි - නිහාල් වික්‍රම එදිරිසූරිය වැන්නෝ එදා ද අද ද සිරසේ සංගීත මුද්‍රාව සරාජිකව නඩත්තු කල ප්‍රතිබද්ධ විරියෙන් සපිරි වැඩ්ඩෝය. චන්දන සූරියබණ්ඩාර ද එලෙස නිකිණි සේ සොයා ගැනුමේ දුලබ නිර්මාණාවේශයෙන් ගිනියම් වූ කලාකාමී නිමැවුම්කරුවෙකි. ධනේෂ් උපුල්ගේ සුපසන් අදියුරුකමින් එළිපෙහෙළි වන
සජ්ඣායනා සංගීත සමාධිය නිෂ්පාදනය වෙනුවෙන් විරාජ් ද අගැයුමට ලක්විය යුත්තේය. එනමුත් සමන් ධම්මිකගේ නැවුම් පිටපත ස්පර්ශිත සමස්ත කතන්දරය සජ්ඣායනාහි සවිමත් අරටුවයි. ආදිත්‍යා නැවුම් සම්ප්‍රවේශිකාවක ව පෙළහර පෑමේ එක් සැඟවුණු රහසක් වනුයේ සමන්ගේ පිටපත විය හැකිය. 'හෝම් වර්ක්' නැති වැඩේ දෙල් වීම අහම්බයක් නොවේ. එබැව් තියඩෝර් රූස්වෙල්ට් ද කීවා නොවැ.
ඒ මෙහෙම - “Speak softly and carry a big stick; you will go far.” මෘදුව බස් තෙපලමින් ඔබ බොහෝ දුර යනු ඇති, එහිලා ලැබෙන සවිය පෙර සූදානමයි.
අප ශ්‍රී ලාංකිකයන් ව සිටිමින් වත්මනෙහි ගෙවන්නේ තෘප්තිකර දිවියක් නොවේ. දෙවේලක් හෝ පාතරාසය සවිකර ගැනුම අප මේ යුගයේ දරන ආයාසකර ම වෑයමයි. එවැනි අගෝචර බිමක අනේකවිධ නාලිකා මඟින් ආලින්දය සරසන හඬන වැළපෙන දසුන් නරඹා ඇතිවන තෙහෙට්ටුවද අපිරිමිතය. එවන් පසුබිමක සජ්ඣායනාව තුළ නින්නාදිත පණිවුඩය පැහැදිළිය. ''අපට ඕන සතුට. සතුට ඇති තැන ප්රජාතන්ත්රවාදය ද ඇතැයි මා නොයෙක් වර සිතා ඇත්තෙමි. අද ද සිතන්නෙමි.
පරසිදු භාරතීය ලේඛිකා සුරේන්ද්‍ර කපිලා එය අපට වරක් සිහිකර දුන්නා මතකද?
''සංගීතය යනු මිනිස් සිතේ සන්තුෂ්ටි උල්පතයි''...............
සජ්ඣායනාහි අරමුණ අප පසුකර ගිය සංගීතකරුවන්ගේ විශ්මය හා දිස්නය විමසීමයි. ඒ යන්තමින් විසිවැනි විය ඉක්මවූ දරුවන් හා දැරියන් මඟිනි. එනමුත් ඔවුන් පෙරාපු රත්තරං හා සම ප්‍රතිභාණයෙන් හා විසේකාර ආලෝලනයෙන් සුසැඳි නව යෞවන යෞවනියෝය. මෙවැන්නක් කල යුතු තැන රත්මලානේ ස්ටෙයින් මන්දිරය නොවේ. එක්කෝ ටොරිංටන් පෙදෙස් අරා වැජඹෙන ගුවන්විදුලි මහගෙදරයි. නැත්නම් ඒ ඉදිරිපස දිසි රූපවාහිණියයි. එහෙත් ඒ ඇත්තෝ හිසසුන් කවන්ධ සේ එහෙමෙහෙ වැනෙනවා පමණී. ඕනෑමනම් මෙලෙස ඇසිය හැක්කේය.
''කිරා බුදිද බං''
දැන් දැන් සජ්ඣායනා බලන්නෝ පමණක් නොවේ. ඊට එක්වන්නට පෙරුම් පුරන වියපත් කලාකාමියෝද බහුලය. ඒ ඔවුන් අනගි සම්භාවනාවක් ලබන නිසාම නොවිය හැකිය. මේ සිරස සොයාගත් අනගි මිණි වන කෙල්ලන් හා කොල්ලන් රෝපිත විසුල සංගීත ශානරයේ ශෝබන රිද්මයට ඇළුණු නිසා බව සිකුරුය. එහි එකදු කලාකාර ගැටවරයෙක් හෝ ගැටිස්සියක් තවත් තම රැහේ එකෙකුට නොදෙවෙනිය. ආදිත්‍යා හා සම සමව ගයන්නේය. ඉන් ඔබ්බේ ඇ හා අත්වැල් අල්ලන්නීය.
සංගීතයෙන් තොර දිවිය අත් වැරදීමක් ”’ විය හැකි යැයි පැවසුවේ ෆ්රෙඩ්රිච් නිට්ෂේය. එය තරම් මිනිස් හදට ආමන්ත්‍රණය කළ හැකි වෙනත් මෘදු බසක් මෙලොව නැත්තේය. ”වචන අසමත් වන නිමේෂයේ සංගීතය කතා කරන්නේ” යැයි පවසන්නේ එහෙයිනි. ලොව පරසිදු සංගීතවේදීහු මතු නොව ගායකයෝද මිහිබට දෙවිවරු යැයි අදහන්නෝ එදත්, අදත්, කවදත් මෙලොව දිවි ගෙවන්නේය.
ජෝර්ජ් බ්රිජ්ටවර් නම් වයලීන වාදකයා වෙත පිදූ මිනිත්තු 43ක් පුරා අදියර ත්‍රිත්වයක එකතුවෙන් දිව යන බීතෝවන්ගේ කෘට්සර් සොනාටාව යැයි නම් ලද සංගීතමය අමුර්තය පිලිබඳ නොදන්නෝ කවුරුන්ද? එය සිහි ණුවනින් පරිශීලනය කලවුන් ලත් බ්‍රහ්මාස්වාදයේ අසිරිය, මනු ලොව සිසාරා ගොස් බඹ ලොවට ද දැනුණා විය යුතුය.
ලොව සුවහසක් රසික රසිකාවියන් එක පැහැර මන්මත් කොට තම කර්ණ රසායන ගායනාවේ අසහාය බලයෙන් ලොවක් වසඟ කල එල්විස් ප්‍රෙස්ලි පිලිබඳ මතක මාත්‍රයකින් පවා සැලෙන – සසැලෙන යෞවන යෞවනියෝ කෙතරම්ද? සූසැට බරණින් සැරසී ආටෝප සාටෝප සපිරි දිවියක් ගෙවන්නේ වුවද ධනවාදී අර්ථ ක්රමයේ සැබෑව නම් එය දුෂ්කෘතය ම වඩාලන ඉච්ජා භංගත්වයෙන් පරිපීඩිත ජීවන චාරිකාවක් බවය. එකී දිවි අරඹේ ඇති ඒකායන සතුට සංගීතාදී කලාංගයක පහස ලබා සැනසීම මිස අන් කවරක්ද! එනයින් බලන කල මෙකී විශ්ව ගම්මානයේ අග්‍රතර වාණිජ කර්මාන්තය විනෝදාස්වාදය සැපයීමයි.
එහිලා මෙහි පූරකවරිය වන ආදිත්‍යා වැලිවත්ත නඟන බසද - දරන සැහැල්ලුවද ඇයගේ ආදිතම ප්‍රවීනයන් පහසුවෙන් පරදන්නේය. සුළුතරයක් වූ හඩු ''යූ ටියුබ්කරුවන්'' ඇය උස්සා පොළොවේ නොගැසුවහොත් ඈට දිගු ගමනක් හිමිය. එමතු නොවේ. සජ්ඣායනාහි සැඟවුණු කැරිස්මාවේ අප්‍රකට තවත් තැනක් ඇත්තේය. ඒ ගැලපෙන උළුවස්සට ගසන නිවැරදි ඇනයයි. ඇන්ජලීන් පැමිණෙන විට හඳින පළඳින කොස්ටියුමයේ සැකසුම සුනිල් ශාන්තයන් සිහිකෙරුමේදී සපුරා වෙනස්ය. දයාරත්න රණතුංගයන් නැසීගිය තම ප්රියාදරිය හා ගැයු 'අමරාදේවී' නම් මාහැඟි ගැයුම ඩිල්මි හා ෂෙහාර රණතුංගයන් අසල සිට ගයන රිද්මය මේ සමස්ත කතන්දරයම පවසන්නේය. නොඑසේනම් සියුමිණි හා සංදීප් ගයන ගාලුපුරේ සිරී ගීය විමසනු මැනවි.
මා පෙර දැක්වූ නිට්ශේ බස් නැවතද සොරාගෙන ඊට ප්‍රතිශෝධිත අදහසක් පළකරන්නමි. එනම් සජ්ඣායනා ඔබට මඟ හැරුණේ නම් එය ඔබ දිවියේ ලත් අත්වැරැද්දක් විය හැකිය.
| මංජුල ගජනායක