 
	2025 ජනවාරි මස දෙවන සතියේ දිනක මගේ ජංගම දුරකතනය නාද වෙයි. ඒ මගේ සම්භක්ත ශිෂ්‍යා සුනිලා විජයසිංහ නම් කීර්තිමත් කිවිඳියගේ කටහඬය.
"සර් , සෝමා ජයකොඩිගෙ අලුත් නවකතාව එළි දක්වන උත්සවය තියෙනව ජනවාරි 18 වැනි සෙනසුරාදා රාගම පුනරුත්ථාපන රෝහලේ.
සර්ට ඇවිල්ල කතාවක් කරන්න පුළුවන් නං හොඳයි. එයා හුඟක් සතුටු වේවි. සෝමා සාහිත්‍යයට අත්පොත් තිබ්බ කාලෙ ඉඳලම සර් එයා ගැන දන්නවනෙ".
අස්වස්ථතාව කරණකොටගෙන සාහිත්‍ය උත්සව ආදියට සහභාගීවීමෙන් වැළකී සිටියද , සෝමාගේ පොත එළි දක්වන උත්සවයට එකතින්ම සහභාගිවීමට මම තීරණය කළෙමි. ඇය මෑතදී හදිසියේ රෝග ග්‍රස්තව ඔත්පළව සිටින බව ඇසීමෙන් මසිත සැලී ගියද ඇය බැලීමට යෑමට අවස්ථාවක් සලසා ගත නොහැකිවීමෙන් මම බලවත් සන්තාපයට පත්ව උන්නෙමි. මානව ගුණයෙන් ආර්ද්‍ර ඇගේ හද ඔද වැඩීමෙන් ඇයට උරුම සාහිත්‍ය ආත්මය ඉඳුරා පුනරුත්ථාපනය වන මෙවැනි බ්‍රහ්ම මුහුර්තයක් මම කෙසේ පැහැර හරිම්ද?
මගේ මතකය 6 වන දශකය කරා ඇදී යයි. ඒ සමගම එවක ලංකාවේ එකම ගුවන්විදුලි ආයතනය මගේ දෑස අබියස අභිමානවත් යෝධයෙකුගේ විලාසයෙන් උත්තුංගව විරාජමාන වෙයි. අපේ S.S.C පන්තියේ ඉංග්‍රීසි පාඨ ග්‍රන්ථය වූ Charles Dickens ගේ A Tale of Two Cities නවකතාවේ පළමු ඡේදයේ ඇතැම් පාඨ නේත්‍රාභිරාම ෂින්‍යා ටීචර් වාගාඩම්බරයෙන් යුතුව , නාට්‍යානුසාරයෙන් උච්චාරණය කරන ගම්භිර කථන හඬද එවේලේ මගේ මතකයේ නින්නාද වෙයි.
"It was the best of times. It was the times of wisdom.It was the epoch of belief. It was the season of light. It was the spring of hope.We had everything before us."
"එය හොඳම කාලයයි. එය ප්‍රඥාවේ අවධියයි. එය විශ්වාසය රජ කළ යුගයයි. එය ආලෝකය පැවති සමයයි. එය අපේක්ෂාවේ වසන්තයයි. එය අප ඉදිරියේ සියල්ලම පැවති යුගයයි."
චාල්ස් ඩිකන්ස්ගේ එකී ශ්‍රුති රම්‍ය ඉංග්‍රීසි වර්ණනය වූකලී අපගේ භද්‍ර යෞවන ගුවන්විදුලි සමය අරභයා විරචිත පරම රමණීය ප්‍රශස්ති පාඨයකට අසමාන නොවේ.
නමෝ විත්තියෙන් ගුවන්විදුලි නාට්‍යයේ ඉඳුල ගැන්වී සිංහල සාහිත්‍ය ලෝකයට ප්‍රවිෂ්ට වුණු සාහිත්‍යකරුවෝ සිවු දෙනෙක් වෙති. ඔවුහු කවරහුද? ඒ වනාහි මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍ර , ඇරැව්වල නන්දිමිත්‍ර , කැත්ලින් ජයවර්ධන සහ සෝමා ජයකොඩි යන චතුෂ්ටය මිස අන් කවරහුද? ඔවුන් සිවු දෙනාගේම භාව ලෝකය සමග මුලින්ම හෘදය සංවාදයෙහි යෙදුණේ මෙරට ශ්‍රාවක ජනයා මිස ප්‍රේක්ෂක ජනයා හෝ පාඨක ජනයා නොවේ.
මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ කලාව හා ජීවිතය අරභයා විචාර විමර්ශන කරන වැඩි දෙනෙකු ඔහුගේ නිර්මාණ ප්‍රවේශය දකින්නේ පොළෝ කරළිය මත මිස ගුවන් කරළිය මත නොවේ. මක්නිසාද යත් ඔවුන් ඔහුගේ නිර්මාණ පදවීතිහාරයේ සුල මුලට අඳ ඇස් ඇත්තන් වන බැවිනි. මහැදුරු සරච්චන්ද්‍රයන් සිංහල නාට්‍ය නිර්මාණකරුවෙකු වශයෙන් පළමුව එළඹියේ මෙරට ශ්‍රාවක ජනයා වෙතය. 5 වන දශකයේ ගුවන්විදුලිය ඔස්සේ ඔහු ප්‍රචාරය කළ 'යෞවන සමාජය' වැඩසටහන ඊට සාක්ෂ්‍ය සපයයි. ඔහු වේදිකා නාට්‍යකරුවෙකු වශයෙන් ප්‍රේක්ෂක ජනයා මුණගැසුණේ ඉන් අනතුරුවය. එසේම නවකතා කෙටිකතා රචකයෙකු ලෙස ඔහු පාඨක ප්‍රසාදය අත්පත් කර ගත්තේ ඉනුත් බොහෝ කලකට පසුවය.
ඇරැව්වල නන්දිමිත්‍ර , කැත්ලින් ජයවර්ධන සහ සෝමා ජයකොඩි යන සංඥා නාමයෝ 6 වන දශකයේ මෙරට ගුවන්විදුලි ශ්‍රාවක ජනයා අතර නිතර තුඩ තුඩ රැව් දුන් හෘදයංගම නාම ත්‍රයයකි. එය කෙසේ සිදුවූ හාස්කමක්ද? එකල සතිපතා ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරය වුණු 'ගුවන්විදුලි රඟ මඬල' නාට්‍ය වැඩසටහන සඳහා ඔවුන් තිදෙනා නිරන්තරයෙන් ලියා ප්‍රචාරය කළ අපූර්ව භාව අනුභූතින් ගැබ් වුණු හෘදය ග්‍රාහී නාට්‍යාවලිය ඊට ඒකාන්ත සාධක වූ බැව් ඉඳුරා පැවසිය හැකිය. ඔවුන් තිදෙනාගේ ඒ නිර්මාණ ශෂ්‍ය සම්පත්තිය උදෙසා අත්‍යවශ්‍ය ආවේශය , ආභාසය හා ආලෝකය ප්‍රජනනය කළ ප්‍රභවය වූයේ එකල ගුවන්විදුලියේ නාට්‍ය අංශය භාරව සිටි සුගතපාල ද සිල්වා මහා නාට්‍යවේදියාණන්ය. පසු කලෙක මේ ගුවන්විදුලි නාට්‍ය රචක ත්‍රිමූර්තියට නවකතා , කෙටිකතා යන නිර්මාණ වර්ගයන්ගෙන් සජ්ජිත නූතන සාහිත්‍ය ලෝකයේද තුඩ තුඩ රැවු දෙන කීර්තියක් අත්පත් කරගත් සාහිත්‍යකරුවන් හැටියට සම්භාවනා ලැබීමට එකී ගුවන්විදුලි අනුභූතිය භාග්‍යෝදයක් වූවා නිසැකය.
6 වන දශකයේ එක්තරා හවස් යාමයක මම ගුවන්විදුලි නාට්‍යයක් පටිගත කිරීම සඳහා ගුවන්විදුලියේ
කොරිඩෝරය දිගේ 10 වන මැදිරිය දෙසට යමින් සිටියෙමි. නාඳුනන වැඩිහිටියෙකු සහ භද්‍ර යෞවන යුවතියක මා ඉදිරියට එනු පෙනෙයි. ක්‍රීම් පාට පූජි සිල්ක් ජාතික ඇඳුමක් ඇඳ සිටි වැඩිහිටියා අත රැඳි දිග කුඩයකි. ඔසරියකින් සැරසී සිටි යුවතිය නාගරික පන්නයේ සංකර එකියක නොවන බව පෙනේ.
"දහවෙනි මැදිරිය කොහෙද තියෙන්නෙ? සුගතපාල සිල්වා මහත්තය ඒකෙ ඉන්නව කිව්ව. මට ලියුමක් එවල තියෙනව අද ගුවන් විදුලියට එන්න කියල. මං ලියපු නාට්‍යයක් පටිගත කරනවයි කියල."
"එන්න මාත් එක්ක. මාත් යන්නෙ දහවෙනි මැදිරියට තමයි."
ඇය මඳක් නවතියි.වැඩිහිටියා දෙස බලයි. දෙදෙනාගේම මුහුණට මඳ සිනා නැඟෙයි.
"මහත්තයද කරුණාරත්න අමරසිංහ කියන්නෙ?"
"ඔව්. කොහොමද දන්නේ?"
"කටහඬෙන් අඳුනගත්තෙ. රූපෙ දැක්කෙ අදයි. මේ අපේ තාත්ත. එයයි මායි දෙන්නම මහත්තයගෙ ගුවන් විදුලි නාට්‍ය රසිකයො."
මම ඔවුන් කැඳවාගෙන ගොස් සුගත්ට හඳුන්වා දුන්නෙමි. සෝමා මට නමෝ විත්තියෙන් මුණගැසී හඳුනාගන්නට ලැබුණේ එදාය. එසේම ඇගේ නෑඹුල් ගුවන්විදුලි නාට්‍යය පටිගත කෙරුණේද ,
ඇගේ ගුවන්විදුලි නාට්‍යයක පළමු වරට මා රඟපෑ වේද එදාය. එදායින් පසු ඈ ලියූ ගුවන්විදුලි නාට්‍ය පටිගත කරන දිනයට පුරුදු පරිදිම ඇය ආවේ පියා සමගය. කාලයාගේ ඇවෑමෙන් ඇගේ රැකවරණය මට පවරා යෑම ඇගේ පියා වතක් කර ගති. ඉන්පසු ඇයද අයියණ්ඩී යන හෘදයංගම නාමයෙන් මා ඇමතීම වතක් කරගත්තීය. මට අයියණ්ඩී යැයි අමතන එකම තැනැත්තියද ඇයම වන්නීය.
සෝමාවන් තම මානව ප්‍රේමී හදවතින් ගොතා පළ කළ 'ළෙන්ගතු පෙම් කව' එළි දක්වන උත්සවයට සහභාගීවීමට තම කාරයෙන් මා රැගෙන ගියේ මගේ සහෘදයෙකු වන ගාමිණි අබේවික්‍රම මිත්‍ර ලේඛකයාණන්ය. ඒ සියලු පහසුකම් සලසන ලද්දේ මගේ සම්භක්ත ශිෂ්‍යා දයාලූ සුනිලාවන් විසිනි.
වෙනදා මා හමුවුණු හැම විටම සෝමාවන් 'අයියණ්ඩී' යන හෘදයංගම ස්වරයෙන් මා අමතන්නේ මගේ අත දෑතින් ගනිමිනි. අද ඇය මා දුටු සැණින් ඇගේ මුහුණේ නිබඳ රැඳුණු ළෙන්ගතු සිනාව පාමින් 'අයියණ්ඩී' යැයි ඇමතුවේ මගේ අත ඇගේ දෑතින් නොගනිමිනි. අද ඇගේ දෑත ඇයට අවසඟය. දහසක් සහෘද ජනයා ළතෙත් කළ පොත් ගෙතු සුරතක් නිසලවීම තරම් විපතක් තවත් ඇද්ද ! ඇගේ ගුවන්විදුලි නාට්‍යයන්හි රඟපෑමෙන් මගේ වාග් රංගන කුසලතාව පොහොසත් කර ගැනීමට අපමණ සෙත සැලසුණේ සෝමාවන්ගේ මෙි සුරත නිසා නොවේද? මගේ හදට බරක් දැනුණි. මම සුසුමක් හෙළීමි.

| කරුණාරත්න අමරසිංහ (මුහුණු පොතින්)

