කන්තෝරුව

කන්තෝරුව

ඉඳ හිට කැපිලි පුරසාරම් බස් ද               ඇසේ
සිඳ දුක් වෙහෙස මිනි කිංකිනි සිනහ       ඇසේ
නද දෙන සැවුලන් ද නැති බව කියමි      කෙසේ
කද බැඳගත් මිතුරොද ඇත කඳු              විලසේ

නමයට පෙර යතුරෙහි රතැඟිලි             තබතී
සබයට ඇවිත් පෙර දේ රස කර            දොඩතී
සරියට තමා රූ සොබ ගැන උදම්          වෙතී
දිය යට ගින්දරත් හිමිහිට මාරු             වෙතී

පෙරදා බැලූ ටෙලියක රස තැන්           මතුවේ
විහිදා දැනුම මතු සිදු වන දේ               කියැවේ
පණදා කලත් අද වැඩ ටික නිමා          නොවේ
ගජිඳා ලෙසින් ගොනු ටික වෙත සිත    යොමුවේ

අර්නෝලිස්ගෙ ඉඩමෙහි පැනයක්       ඇත්තේ
සර්කියුලර් අනුව එහි විසඳුම්              නැත්තේ
විමසා එගැන මහතැන වෙත යා         යුත්තේ
ඒකට කලින් අපි යමු කැන්ටිම          පැත්තේ

උදේ පටන් සෙනඟකි වැඩ කර         ගන්න
වදේ කියා බැහැ නොව එය              සළකන්න
කදේ දමන්නට අද නම් බැහැ           ඔන්න
සුදෝ ඇවිත් මා හට ‘සප්’ එක          දෙන්න

දහවල පැමිණ ඇත කෑමට             වෙලාවය
සුලමුල සොයයි කෑමක එය          කලාවය
කලබල නැතුව හිමිහිට කා           නිමාවිය
යරලව බොඳවෙනා තරමට          නිදිමතය

විහිලූ කතා ඇස් රතුවන තැන් ද    මැදින්
යහලූ මිතුරු කම් ඔසවා ඉහට      උඩින්
දවස ගෙවෙනවා නොදැනිම අපට හොරෙන්
වෙහෙස නිවන කන්තෝරුව ආයු බොවන්

ඩබ්. ඩී. ටී. වසන්ත - ගාල්ල