කොවිඩ් 19 වසංගත රෝගයේ පැතිරයාමත් සමග කටුනායක වෙළෙඳ කලාපයේ ඇඟලුම් සේවක සේවිකාවන් මුහුණ දෙමින් සිටින්නේ දැඩි අර්බුදකාරී තත්ත්වයකටය. නිරෝධායනයට රැගෙන යෑමේ දී සහ එසේ රැගෙන ගිය පසු ඇතැම් සේවක සේවිකාවන් මුහුණ දෙන ගැටලු පමණක් නොව නේවාසිකාගාරවල රැඳී සිටින්නන් බොහෝ දෙනෙකු ද මේ වන විට මැදිව සිටින්නේ අසීරු තත්ත්වයකටය.
කටුනායක ඇඟලුම් කම්හල් ආශ්‍රිතව නේවාසිකාගාරයක් පවත්වාගෙන යන අජිත් සිල්වා අපට පැවසුවේ මෙවන් කතාවකි. “ගෙවල්වල යන්නත් එපා බෝඩිංවල ඉන්න කියලා තිබුණාට ඒ ළමයින්ට දැන් කන්නත් නෑ. මෑන්පවර් විධියට වැඩ කළ අයට අතේ සතයක් නැහැ. ඒ අය පුදුම විධියට අසරණ වෙලා. ඇඳිරි නීතිය තිබුණාට ළමයි වැඩට යනවා. මෙහේ දැන් තියෙන්නේ හරිම කරදරකාරී තත්ත්වයක්. කඩවල් වහලා නිසා කිසිම දෙයක් ගන්නත් විධියක් නැහැ. කඩවල් බාගෙට ඇරලා ළමයින්ට බඩු දෙද්දී පොලීසියෙන් නඩු දැම්මා. ඒත් ළමයින්ට කන්න දෙයක් ගන්නත් විධියක් නෑ. බෝඩින් වල පොඩි ළමයි එක්ක ඉන්න අයත් ඉන්නවා. පවුල් පිටින් ඇවිත් ඉන්න අය ඉන්නවා. මේ අයට දවසක් දෙකක් නම් අපිට කන්න දෙන්න පුළුවන්. ඊට එහා අපිටත් කරන්න බැහැ. පහුගිය කාලයේ නම් අපි මේ ළමයින්ටත් කන්න දුන්නා. පුළුවන් අය නම් එක සැරේට එකතු කරගෙන ගබඩා කරගෙන තියාගෙන කනවා. නැති කෙනාට කොහොමත් නෑ. ඒ වගේ ප්‍රශ්න ගොඩක් දැන් මෙහේ තියනවා.”
ඇතැම් නේවාසිකාගාරවල සේවක සේවිකාවන් නිරෝධායනය සඳහා යුද හමුදාව විසින් රැගෙන ගොස් තිබෙන අතර තවමත් ප්‍රදේශයේ රැඳී සිටින අය ද මේ වන විට ගැටලු රාශියකට මැදිව සිටින බව ඔහු පැවසුවේය. ප්‍රදේශයේ බලපැවැත්වෙන ඇඳිරි නීති තත්ත්වය හේතුවෙන් කඩ සාප්පු වසා දැමීමත්, එසේ වසා නොදැමූ අවස්ථාවල පවා සේවක සේවිකාවන් පැමිණෙන අවස්ථාවල වෙළෙඳසැල් වලින් ඔවුන්ට අවශ්‍ය දේ ලබාදීම් ප්‍රතික්ෂේප කිරීමත් ආදී ගැටලුවලට ඔවුන්ට මුහුණ දීමට සිදුව තිබුණි. ඒ අතර ඇතැම් කර්මාන්තශාලාවල කටයුතු පවත්වාගෙන යන බැවින් සේවක සේවිකාවන් සේවය සඳහා ගෙන්වා ගැනීම ද සිදුවේ. “සමහර ෆැක්ටි්රවලින් ළමයින්ට වැඩට එන්න කියලා තියන නිසා ඒ අය වැඩට යනවා. නැත්නම් ඒ අයව රස්සාවෙන් ඉවත් කරන නිසා ළමයින්ට වැඩට යන්නත් වෙනවා. ඒ ගිහින් ඇවිත් සමහර අය ඔළුව රිදෙනවා වගේ දේ කියනවා. ඒ ළමයි එළියේ ගිහින් ආපහු බෝඩිම්වලට ආවට පස්සේ අසනීපයක් තියනවා නම් අනෙක් අයටත් බෝ වෙනවා. එක ළමයෙකුට ෆැක්ටි්ර එකෙන් බෙහෙත් දෙන්න එනවා කියලා තිබුණත් ආවේ නැනි නිසා ඒ ළමයා ත්‍රීවීල් එකක් අරගෙන ගියා. වෙළෙඳ කලාපේ ටික දවසකට වැහුවා නම් ටිකක් හරි මේ තත්ත්වය පාලනය වෙයි. එහෙම කරලා නැති නිසා ළමයි වැඩට යනවා. එළියට යනවා. ඇඳිරි නීතිය දැම්මාට වැඩට යන්න පුළුවන්.” අජිත් සිල්වා පැවසුවේය.
කටුනායක වෙළෙඳ කලාපය ආශ්‍රිතව එක් නේවාසිකාගාරයක සිටින සේවිකාවන් පිරිසක් පැවසුවේ පසුගිය දිනවල පීසීආර් පරීක්ෂණ සඳහා පැමිණෙන ලෙස කළ දැන්වීමට අනුව එම ස්ථානයට ගියත් රෝග ලක්ෂණ නොමැති අයට නැවත යන ලෙස දැන්වූ බවය. එසේ පැමිණි අය සඳහා ඊට දින කීපයකට පසු ඇඟලුම් ආයතනයේ මැදිහත්වීමෙන් පීසීආර් පරීක්ෂණ කළ පසු ඒ අතර සිටි ඇතැම් අයට රෝගය ආසාදිත බව තහවුරු වූ බවය. “මේ බෝඩිංවල එක පෙළට කාමර ගොඩක් තියනවා. එකම වැසිකිළි, එකම නාන කාමර තමයි පාවිච්චි කරන්නේ. සමහර වෙලාවට එකම කාමරේ එක්කෙනෙක්ට පොසිටිව් කියලා ගෙනිහින්, ඒ කාමරේම හිටිය අනෙක් කෙනා ඉන්නවා. විෂබීජහරණය කරන්නවත් ඇවිත් නැහැ. නිරෝධායනය වන තැනක් කියලා දැන්වීම තියන නිසා එළියට යන්නත් බැහැ, කෑම බීමත් ගන්න විධියක් නැහැ. සනීපාරක්ෂක තුවා අවශ්‍ය අයට ඒවාත් නැහැ. කොවිඞ් පොසිටිව් වුණු කෙනා එක්ක එකට හිටිය අනෙක් අයගේ පීසීආර් කරලාත් නැහැ.”
ආහාරපාන ආදී මූලික අවශ්‍යතා සපයා ගැනීම සම්බන්ධයෙන් මෙන්ම මෙම වසංගත රෝග තත්ත්වයෙන් ආරක්ෂාවීම සම්බන්ධයෙන් පමණක් නොව රැකියාව සම්බන්ධයෙන් ද දැන් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන්ට තිබෙන්නේ දැඩි අවිනිශ්චිත බවකි. දැවැන්ත ආදායම් ලැබූ ඇඟලුම් ක්ෂේත්රයේ සේවක සේවිකාවන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් එම ආයතන හිමිකරුවන් හෝ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය හෝ නිසි මැදිහත් වීමක් සිදු නොකිරීම ඉතා කනගාටුදායක තත්ත්වයකි. “සමහර නේවාසිකාගාරවල වැඩට ගිය අය එද්දී අනෙක් අය නිරෝධායන කඳවුරුවලට ගෙනිහින්. සමහර නේවාසිකාගාරවල අයිතිකරුවාත් ගෙනිහින්. ඒ නිසා එවැනි ස්ථානවල ඉන්න සේවක සේවිකාවන් ගැටලු රාශියකට දැන් මැදිවෙලා ඉන්නවා. එවැනි සමහර තැන්වල අයිතිකරුවා නැති නිසා වතුර සපයා ගන්නත් විධියක් නැති අය හිටියා. මොකද ගේ ඇතුළෙන් වතුර මෝටරය ක්‍රියාත්මක කරන්නේ අයිතිකරුවා නිසයි. සමහර අයට අත්‍යවශ්‍ය දේ ලබා ගන්න විධියක් නැති තත්ත්වයක් තියනවා. මේක ඉතාම අසීරු අවස්ථාවක්. ගොඩක් ආයතනවල දැනටත් වැඩ කරනවා. සමහර ආයතනවලින් අලුත් සේවකයන් නැවත ගන්නේ නැහැ කියලත් තියනවා. මෑන් පවර් සේවකයන්ට කර කියාගන්න දෙයක් නැහැ. ඉතාම අසරණ තත්ත්වයක්. ආයෝජන මණ්ඩලය මේවාට මැදිහත් විය යුතු මොහොතක් වුණත් එහෙම මැදිහත්වීමක් නැහැ. අපි ලිපි ගණනාවක් යොමු කළත් පිළිතුරක්වත් නැහැ.” නිදහස් වෙළෙඳ කලාපයේ සේවක අයිතීන් වෙනුවෙන් කටයුතු කරන Standup Movement Lanka කැඳවුම්කාරිනිය වන අශිලා දංදෙණිය පවසන්නීය.
නිරෝධායනයට රැගෙන යෑම සම්බන්ධයෙන්ද ගැටලු රාශියක් තිබුණත් මේ වන විට රාත්‍රී කාලයේ රැගෙන යෑම වෙනුවට දිවා කාලයේ ඒ කටයුතු සිදුවන නමුත් තවමත් එසේ රැගෙන යෑමේ දී විවිධ නේවාසිකාගාරවල හා විවිධ ආයතනවල අය වෙන් වශයෙන් නොව එකට රැගෙන යාම සිදුවන බව ඔවුහු පවසති. නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ඇතැම් අයට ද අත්‍යවශ්‍ය ඇතැම් දේ ලබාගත නොහැකි තත්ත්වයක් ඇති බැවින් හැකි අයුරින් ආධාර යැවීමේ සූදානම් පවතින බව ද අශිලා දංදෙණිය පැවසුවාය.
“සමහර ආයතනවලින් මුලදීම වැඩට එන්න එපා කියලා තිබුණා. ඒ අයට වැටුපෙන් ලැබිලා තියෙන්නේ භාගයක් විතරයි. කලාපේ අය අදත් බඩගින්නේ ඉන්නවා. ඒ අය මානසිකව වැටිලා ඉන්නවා. ආයතන හිමිකරුවන් හා රජය එකතු වී පීසීආර් කර ආසාදිතයන් ඉන්නවා නම් ඒ අය වෙන් කරගන්න ඕනෑ. ඒ වගේම මේ අයව ඉක්මනින් රැකියාවල යොදවන්න ඕනෑ. මොකද ලබන මාසයේත් වැටුප් නොලැබුණොත් මේ අය ජීවත්වෙන්නේ කොහොමද. මේ කම්කරු කාන්තාවන් රටේ දෙවැනි තැනට ආදායම් උපයන පිරිසයි. ඒ නිසා මේ සේවකයන් ආරක්ෂා වෙන්න ඕනෑ.” කටුනායක රෙඞ් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා චන්ද්‍රා දේවනාරායන පැවසුවාය.
කටුනායක වෙළඳ කලාපයේ සේවක අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන කීපයක් සහ තවත් සිවිල් සංවිධාන කීපයක් එක්ව පසුගිය දිනක මාධ්‍ය හමුවක් ද පවත්වමින් මෙම ගැටලුකාරී තත්ත්වය රටට අනාවරණය කර තිබුණි. ඒ අතර මතු කර තිබූ ප්‍රධානතම එක් ගැටලුවක් වූයේ කලාපයේ සේවක සේවිකාවන් නිරෝධායනය සඳහා රැගෙන යන ආකාරය සහ ඔවුන් එහිදී මුහුණ දුන් ගැටලුය. මේවා සම්බන්ධව මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ද පැමිණිලි කිරීමට එම සංවිධාන එක්ව කටයුතු කර තිබුණේය. “අපි මේ ගැටලු මතු කිරීමේ බලාපොරොත්තුව වෙන්නේ සිදුවන වැරදි නිවැරදි කරගෙන ඉදිරියේ දී හෝ සෞඛ්‍ය අංශ මැදිහත් කරගෙන සෞඛ්‍ය කමිටු හදාගෙන අමාත්‍යවරයාත් ආරක්ෂක අංශත් සියලුදෙනා මැදිහත්ව මේ තත්ත්වය සමනය කරන්න යම් උත්සාහයක් ගැනීමයි. එසේ නැතිව කිසිවෙකුට අපහාස කිරීමේ හෝ ආණ්ඩුව පෙරළීමේ බලාපොරොත්තුවෙන් නෙමෙයි. අපිට ඕනෑ කම්කරුවන් ආරක්ෂා කරගන්නයි. අපේ ප්‍රධාන අරමුණ වුණේ එයයි. මොකද නිදහස් වෙළෙඳ කලාපයේ ක්‍රියාකාරී කාන්තා සංවිධාන විධියට අපිට ඒ අය වෙනුවෙන් ඉදිරිපත්වීමට වගකීමක් සහ යුතුකමක් තියනවා. මේක හමුදාවට දොස් කීමක් නෙවෙයි. නමුත් මෙතැනදී ප්රමුඛ වෙන්න ඕනෑ සෞඛ්‍ය අංශයි. ගෙනියන වෙලාවේ වුණත් පීඑච්අයි ඉන්න ඕනෑ. වගකීම තිබෙන්නේ ඔහුටයි. අනෙකුත් කටයුතු වලදීත් සෞඛ්‍ය අංශයේ අය ඉන්න ඕනෑ. කොරෝනා කියන්නේ දැන් යුද්ධයක් වෙලා. මේ රෝගය ඉක්මනින් අවසන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ තත්ත්වය පාලනය කරගෙන එදිනෙදා නිෂ්පාදන කටයුතු, එදිනෙදා විය යුතු කටයුතු වෙන්න ඕනෑ. නැතිනම් ආදායම් අහිමි වෙනවා. එහෙම වුණොත් රජය මේ අයව නඩත්තු කරන්නේ නැහැ. සමහර රටවල එහෙම රජයෙන් නඩත්තු කළත් ලංකාවේ එහෙම තත්ත්වයක් නෑ. ඒවා සලකා බලද්දී මේකට මුහුණ දෙන්න නම් රජය සහ ආයතන හිමිකරුවන් මැදිහත් වී මේක පාලනය කරන්න මැදිහත් වෙන්නම ඕනෑ.” චන්ද්‍රා දේවනාරායන පැවසුවාය.