ගමෙන් ඇවිත් විසිහතර පැයම වැඩකරන රෝද තුනේ හාදයෝ

ගමෙන් ඇවිත් විසිහතර පැයම වැඩකරන රෝද තුනේ හාදයෝ

වෙලාව උදෑසන 5.45ට පමණ ඇත. මේ පුරහල ඉදිරිපිට ඔරලෝසුව කණුව ඇති ප්‍රදේශයයි. දවටගහ මුස්ලිම් පල්ලිය ඉදිරිපිට ඇත්තේ සුප්‍රදිද්ධ නිළියක් යම් චෝදනාවකට දණගහගෙන සිටි සුප්‍රකට රෙදි අලෙවිහලකි. දිවලකඩ සිට බුලත්සිංහල හරහා එන බසයෙන් මෙතැන බහින විට යන්තම් එළිය වැටෙමින් පැවතිණි. රෙදි අලෙවිහල ඉදිරිපිට බස් නැවතුමේ කර්ටන් වැසූ ත්‍රිරෝද රථ 5ක් පමණ පේළියට ගාල් කොට ඇත. තැනට පැමිණි ට්‍රැෆික් රාලහාමි කෙනකු ත්‍රීවීල් 5ටම ගසමින් ඇතුළේ නිදියමින් සිටි රියැදුරන්ට බැණ වදින්නට විය.

‘‘උඹලට ඊයේ රෑ පාක් කරනකොටම කිව්වනේ උදේ හතර වෙනකොට වික්ටෝරියා පාක් එකට ගිහින් ටොයිලට් එකෙන් නාගෙන වැඩට පලයල්ලා කියලා. මෙතනින් DIG මහත්තයා ගිහිල්ලා මට අමු තිත්ත කුණුහරුපෙන් බැන්නා.’’

ඝෝෂාව ඇසී ඇහැරුණු ත්‍රිරෝද රියැදුරු කර්ටන් එකේ සිප් එක විවෘත කර ගෙන බැස්සේ කබ කඩමිනි.

‘‘අයියේ කොල්ලුපිටියේ ස්ටේෂන් එක ගාව ඉඳන් බම්බලපිටිය පැත්තට තියෙන නයිට් පාක් ත්‍රීවීල් දෙතුන් සීයෙන් එකක්වත් මේ කොරෝනා නිසා නෑ. ඉන්න පාළු හින්ද තමයි අපි පස් දෙනා මෙතෙනට ආවේ!’’

කොළඹ දුවන මේ ත්‍රිරෝද රියැදුරන් කොරෝනා පළමු රැල්ලට පෙර අමුතුම විදිහේ ජීවිතයක් ගත කළ පුද්ගලයන් පිරිසකි. මොවුන් බොහෝ දෙනාගේ ගෙවල්දොරවල් පිහිටියේ අකුරැස්ස, ඇඹිලිපිටිය, මහියංගණයේ වැනි නගරවලටත් එහාය. මොවුන්ගේ ජීවන උපාය මාර්ගය වූයේ ගමේ සිට කොළඹ පැමිණ සතියක් පමණ ගමේ නොගොස් ත්‍රිවිල් හයර් දිවීමය. හයර් අඩුවන රාත්‍රි 8-9 වනවිට ඔවුන් කරන්නේ ත්‍රිරෝද රථයේ රෙට්ටුව දෙපැත්තේ ඇති සිප් දෙක වසා දමා ත්‍රිරෝද රථයට වී නිදා ගැනීමය.

මේ බොහෝ ත්‍රිරෝද රියැදුරන් ගමෙන් කොළඹට ආවත් කොළඹ පාරවල් ගැන අවබෝධයක් තිබුණේ නැත. ඔවුන්ගේ පිහිටට ආවේ ‘google map’ එකය. ස්මාට් ෆෝන් එක ඉදිරිපස තබාගෙන මුල් කාලයේ හයර් දිව්වේ. මේ රියැදුරන් මුල් කාලේ ගෙවනලද පොලිස් දඩ ප්‍රමාණය ඉතා විශාලය. ඊට ප්‍රධාන හේතුව සමහර වන්වේ නොහොත් තනි අතට යන පාරවල් ගැන google map එකේ සඳහන් නොවීමය.

මේ දුරබැහැරින් ආ ත්‍රිරෝද රියැදුරන්ගේ සබ්බ සකල මනාවම ඇත්තේ පිටුපස තබා ඇති තඩි බෑග් එකකය. එහි දවස් 6කට ප්‍රමාණවත් ඇඳුම්. සබන්, දත් බේත්, බුරුසු හා සැන්ට් පවුඩර් ද ඇත. ඒත් එම බෑග් එකේ ඇති ෆෝන් චාර්ජයෙන් ෆෝන් චාර්ජ් කරන්නේ කෙසේ දැයි ඇති වූයේ විමතියකි.

‘‘සමහරු පොඩි සොලාර් පැනල් එකක් ගහල ෆෝන් එක චාර්ජ් කර ගන්නවා. කොහොමත් දැන් ත්‍රීවීල්වල ෆෝන් චාර්ජ් කරන ඇඩැප්ටරය තියෙනවා. සමහරු තමන් රෑට නවතින කඩ ළඟදී කඩේ කොල්ලෙක් අල්ලගෙන පොඩි ගතමන්ට් එකක් නැතිනම් සිගරැට් එකක් වගේ අරන්දීලා ෆෝන් එක චාර්ජ් කර ගන්නවා. ෆෝන් එක නැතිනම් ඉතින් මේ ජොබ් එක කරල හමාරයි’’

මේ හයර් දුවන බොහෝ දෙනා පවසන්නේ රාත්‍රි හති වැටෙනතුරු හෝ හයර් අඩුවන තුරු රෑ 9-10 වනතුරු හයර් දුවන බවය.

‘‘එතකොට එකතු වෙන සල්ලි ටික උදේටද දාන්නේ බැංකුවට’’

‘‘අපෝ නැහැ. ලොකු ගාණක් එකතු වුණොත් දවල් 12ට වුණත් මැෂින් එකෙන් බැංකුවට දානවා. රෑට තියාගන්නේ රුපියල් 150ක් විතර උදේට කන්න. තේ එක් බොන්න තමයි. මේ කොරෝනා අස්සෙනම් කන්න තැනකුත් නෑ. රෑට නවත්තලා තියෙන තැන්වලින් පොලිසිය හමුදාව එළවනවා.

‘‘මේ ත්‍රිරෝද රියැදුරන් බොහෝ දෙනා තම වාහන නවත්වන්නේ සාමූහිකවය. මොවුන්ගේ නවාතැන් වන්නේ කොල්ලුපිටියේ ඉස්ටේෂම අසල සිට වැල්ලවත්ත දෙසටත්, වික්ටෝරියා පාක් එක වටා ඇති පැත්තය.

‘‘රෑට නම් ත්‍රීවීල් එකේ කර්ටන් එක වහගෙන ත්‍රීවීල් එකේම නිදාගන්නවා. සමහරු මදුරු කොයිල් පත්තු කරනවා. සමහරු එළි වෙනකම් ත්‍රීවීල් එකේ සැට් එකේ පිරිත් දාගන්නවා. රෑට නම් කියටවත් හයර් ආවට දුවන්නෙ නෑ.’’
මේ එක් ත්‍රීවීල් රියැදුරු අප සමග මිත්‍ර වූයේ අච්චාරු ගැන ලිපියක් ලියනන්ට යාමේදීය. ඔහුගේ ගම මාතර කඹුරුගමුව විය.
‘‘මේ කොළඹ ගොඩක් දුවන්නේ අපි වගේ පිටින් ආපු ත්‍රීවීල්. ගිය සැරේ කොරෝනා ආවම ගමේ ගිය ගොඩක් අය ආවේ නැහැ. සමහරුන්ට ගෙවල්වලින් එන්න දුන්නෙ නැහැ. සමහරු බයට ආවේ නැහැ. ගම්වල හයර් අඩුයි. ඊටත් වැඩිය ගමේ හංදියේ ත්‍රීවීල් එකක් ගහ ගහන්න අමාරුයි. ත්‍රීවීල් තුන තිබ්බ තැන්වල දැන් දහය විස්ස තියෙනවා. ඔය තැන්වල හයර් දුවන්න ගියොත් මරාගන්න වෙනවා’’

මේ ඇතැම් දුෂ්කර ගම්වලින් පැමිණි ත්‍රීවීල් රියැදුරෝ විවිධාකාරයේ ආදායම් මාර්ගවලට පිවිස සිටිති. එයින් සමහර අය හයර් දුවන්නේ රාත්‍රියේ බම්බලපිටිය, කොල්ලුපිටිය පැතිවලය. හොඳ ජැන්ඩියට ඇඳුම් ඇඳගත් ‘මහත්තුරු’ නයිට් ක්ලබ්වලට ඇරල වීම ඔවුන්ගේ බිස්නස් එකය. එවිට නයිට් ක්ලබ් එකෙන් ගතමන්ට් එකක් ලැබෙන අතර ගෙන ගොස් ඇරල වූ හාදයා නයිට් ක්ලබ් එකේ ‘කැසිනෝ’ ගැහුවොත් හයර් රියැදුරා ගොඩේ ගොඩය. ඊට හේතුව කැසිනෝ ගසන ප්‍රමාණයට කොමිෂන් මුදලක් ත්‍රීවීල් ඩ්‍රැයිවරට හිමිවීමයි. ඇතැම් නයිට් ක්ලබ්වල වෙරිමරගාතේ උදේ 2-3 වනතුරු නටන කොල්ලන් හෝ කෙල්ලන් රෙදි ඇතිව හෝ නැතිව ගෙදරට ගොස් ඇරලවීමේ ‘ඩියුටිය’ නයිට් ක්ලබ් එක භාරදෙන්නේ මේ ත්‍රිරෝද රථ රියැදුරන්ටය.

අප කලින් කියූ ත්‍රිරෝද රථ රියැදුරු පැවසුවේ තමන් රෑට නිදන්නේ වික්ටෝරියා පාක් එක අසල රථ ගාලක බවය.

‘‘පාන්දර තුනට, ඉස්සර නම් ටොයිලට් එක ඇරියා. අනික් අය එන්න ඉස්සෙල්ල පාන්දරම ටොයිලට් එකට ගිහින් ඊට පස්සේ රැවුල කපාගෙන නා ගන්නවා. අනික් අය පෝලිමේ ඉන්නකොට මම එළියට ඇවිත් ඉවරයි. ඔක්කොටම රු. 100ක් ගන්නවා.’’

මේ බොහෝ රියැදුරන් කියන්නේ දැන් නම් මේ රස්සාව එන්න එන්නම අමාරු බවය. ත්‍රීවීලරයේ අංකයේ WP නැතුව SP, CP, NP වැනි ඉංග්‍රීසි අකුරු දුටු විට පොලිසියෙන් අනිවාර්යයෙන් නවත්වා තමන් පැමිණෙන ගම්පළාත ලොක් ඩවුන් හෝ ඇඳිරිනීතිය ඇති පැත්තක්ද ප්‍රශ්නකිරීම නිසා දැන් බොහෝ දෙනා මේ රස්සාවට එන්නෙ නැත. ඊටත් වඩා කොරෝනා රෝගියකු ගෙන ඇරලුවොත් ඉන්පසුව ඇතිවන රස්තියාදුව ගැන මතක් වන විට කොළඹ අතැර ගමට යාමට සිතී ඇති බව අපට එක් ත්‍රිරෝද රියැදුරකු පැවසුවේ සැකයෙන් වටපිට බලමිනි. ඒත් ඉතින් මේ අවුරුදු 10-15 කළ රස්සාව හැර වෙනත් රස්සාවක් මේ ත්‍රිරෝද රියැදුරන්ට ඇත්තේ නැත.

‘‘ඉස්සර නම් අපි ගොඩක් වෙලාවට සෙනසුරාදා රෑ ගමේ යනවා. ඉරිදාටයි - සඳුදාටයි කොළඹ හයර් අඩුයි. දැන් ප්‍රශ්නෙ කොළඹ ආවොත් ගමට යන්න විදිහක් නෑ. සමහර වෙලාවට ගම ලොක් ඩවුන්. ගියොත් කොටු වෙනවා. මට සැරයක් සුමානයක් කොම්පැනියක වැඩ කරල චෙක් එකක් දුන්නා. බැංකුවේ සිකියුරිටි මගේ අයිඩී එකේ ඇඩ්‍රස් එක දැකල ඇහුවා ඒ පැත්ත ලොක්ඩවුන් පැනල ආවේ කොහොමද කියල. බැංකුවට ඇතුළු වෙන්න දුන්නේ නැහැ. පොලිසියට අල්ලල දුන්නා.’’

පොදුවේ ගත් කල කොළඹ ත්‍රීවීල් ස්ටෑන්ඩ්වල ඕපාදූප කතා කරමින් පත්තර බලමින් අලසව සිටින ත්‍රීවීල් රියැදුරන්ගේ පොදු සතුරා මේ ගම්වලින් පැමිණ කොළඹ හයර් දුවන මේ ත්‍රීවීල් රියැදුරන්ය. බොහෝ විට මේ රියැදුරන් තම හයර් යාමට පුද්ගලයන් සමග සම්බන්ධ වන්නේ ‘ඇප්’ හරහාය. තම නිවෙස ඉදිරිපිට තියෙන ගෙදර නෝනා මේ ත්‍රීවීල් රියැදුරකු ගෙදරටම ගෙන්වා ගෙන ත්‍රීවීල් ස්ටෑන්ඩ් එක පසු කර යන්නේ එහි රියැදුරන්ට ඔලොක්කු සිනාවකින්ද සංග්‍රහ කරමිනි. එවැනි අවස්ථාවක හන්දියේ ස්ටෑන්ඩ් එකේ ත්‍රීවීල් රියැදුරන්ට හිමි වන්නේ දත් මිටි කෑම පමණි.

මේ දුර බැහැර සිට එන ත්‍රීවීල් හයර් රියැදුරන්ටත් කොළඹදී අත්වන්නේ කොළඹ ස්ටෑන්ඩ්වල ත්‍රීවීල් දුවන රියැදුරන්ටත් අත්වන පොදු ඉරණමක් තිබේ.

‘‘ගොඩක් පොලිසියේ අය රාජකාරි ඉවරවෙලා යුනිෆෝම් ගලවල සිවිල් පිටින් ත්‍රීවීල් එළවනවා. පොලිසිය ත්‍රීවීල් එළවන අපට ඉතාම සාහසික විදියට සලකන්නේ. දඩ කොළයක් දෙන්න හේතුවක් නැත්නම් ටයර් එකක් ගෙවිල කියල හරි දඩ කොළයක් දෙනවා. පොලිසියේ ඉන්න හයර් දුවන අයට මේ මොකක්වත් නැහැ. පොලිස් අයිඩෙන්ටිය පෙන්නලා බේරෙනවා.’’

අවසානයේ අපට පෙනී ගියේ මේ දුරබැහැරින් පැමිණි ත්‍රිරෝද රියැදුරන්, කොළඹට සෙනඟ තවමත් නොපැමිණීම නිසා තම ගම්වලට නැවත යාම ශීඝ්‍ර ලෙස වර්ධනය වී ඇති බවය. මෙයින් බොහෝ රියැදුරන් ආරක්ෂක අංශ නොහොත් ‘සිකියුරිටි ජොබ්’ වලට යන බවට අපට කිව්වේ වෝඩ් ප්ලේස් එකේ ඇති ෆුඩ්සිටියේ ආරක්ෂක නිලධාරියාය. ඔහුද වසර 2කට අධික කාලයක් වලස්මුල්ල ප්‍රදේශයේ සිට පැමිණ ත්‍රීවීල් හයර් දුවා ජීවත් වූවෙකි. ඒත් ඉතින් පොදුවේ ගත්කල මෙම ආර්ථික ගරාවැටීම මෙම ත්‍රීවීල් රියැදුරන්ට පමණක් උරුම වූවක් නොව පොදුවේ සමාජයම මෙයට ගොදුරු වී ඇත්තේ කොරෝනා උවදුර නිසා බව අමුතුවෙන් මතක් කළ යුතු නොවේ.

(අරුණ)