මාධ්‍යවේදියෙක් වෙන්න හැඳුනුම්පතක් ඕනෙද?

මාධ්‍යවේදියෙක් වෙන්න හැඳුනුම්පතක් ඕනෙද?

ලංකාව පුරාම ඉන්න මාධ්‍යවේදීන් 200කගේ අදහස් විමසලා සකස් කරපු සමීක්ෂණ වාර්තාවක් බ්‍රහස්පතින්දා (නොවැම්බර් 24) නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (Free Media Movement) ප්‍රකාශයට පත් කළා.

සහෝදර මාධ්‍යවේදීන් මුහුණදෙන බොහෝ ගැටළු ගැන මේ සමීක්ෂණයේ අවධානය පළවෙලා තිබුණ නිසාමදෝ මාධ්‍යවේදීන් බොහොම උනන්දුවෙන් ඒකට අදහස් පළකරලත් තිබුණ. කොයිතරම් උනන්දුවක් තිබුණද කියනවා නම් අන්‍යතාව හෙළි නොකර සමීක්ෂණයට සහභාගි වෙන්න හැකියාව තිබුණත් ගොඩක් දෙනා අදහස් පළකරලා තිබුණේ නමත් හෙළිකරලා බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ භාණ්ඩාගාරික ආනන්ද ජයසේකර මා එක්ක කිවුව.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් මාධ්‍යවේදීන්ට දෙන හැඳුනුම්පත ලැබුණද කියන එක සමීක්ෂණයෙදි මතුකරපු එක ප්‍රශ්නයක්.

ඒකට ලැබුණු පිළිතුර කිසිසේත්ම සතුටුදායක දෙයක් නෙවෙයි; මාධ්‍යවේදීන් 39% කට හැඳුනුම්පතක් ලැබිල නැහැ.

ලංකාවේ මාධ්‍යවේදීන් මුහුණදෙන හිරිහැර, අතවර, තර්ජන, බියගැන්වීම් වගේ දේවල් බලනකොට මේක ඉතාමත්ම බරපතල තත්වයක්. හැඳුනුම්පත් තියන මාධ්‍යවේදීන්ට පවා ආරක්ෂක අංශ තවමත් හිරිහැර කරන ආකාරය පහුගිය දවසක හමුදාව මුලතිව් මාධ්‍ය සමාජයට ඇවිත් කරපු ප්‍රශ්න කිරීමම හොඳ උදාහරණයක්. (https://theleader.lk/news/14349-2022-11-25-16-30-02)

මේ අතරේ යුද ගැටුම් උත්සන්නව තිබුණ කාලේ උතුරත්, දකුණත් යාකරපු පාලම වගේ හිටිය සහෝදර මාධ්‍යවේදී නිමලරාජන්ට හැඳුනුම්පතක් දීම රාවය පුවත්පත වගේම බීබීසී ආයතනයත් ප්‍රතික්ෂේප කරපු හැටි ගැන ආයෙත් සංවාදයක් මතුවෙලා. (https://lankaecast.com/nimalarajans-bicycle-and-media-id/)

ඇත්තටම මේක තමයි මෙතන තියන ප්‍රශ්නය. නිමලරාජන් මරා දාල අදට අවුරුදු 22ක්. ඒත් අදත් බොහෝ මාධ්‍ය ආයතන නිදහස් (freelance) මාධ්‍යවේදීන්ට හැඳුනුම්පතක් දෙන්න කැමති නැහැ.

රටේ තමන් කැමති ඕනෑම තැනකට ගිහින් තමන්ගේ රැකියාව කරන්න මේ රටේ පුරවැසියෙකුට අයිතිය තියෙන්න ඕන කියල මම විශ්වාස කරනවා. ඒකට හැඳුනුම්පතක් අත්‍යවශ්‍ය විය යුතු නැහැ.

නමුත් මාධ්‍යවේදීන් ලංකාවේ මුහුණදෙන අභියෝග සහ තර්ජන වගේම සමහර වෙලාවට විශේෂ ප්‍රවේශ අවස්ථා (access) අවශ්‍ය නිසා හැඳුනුම්පතක අවශ්‍යතාවය දැඩිව තියෙනව.

කොහොම වුණත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව (ආණ්ඩුව) මාධ්‍යවේදීන්ට හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනස් විය යුතුයි කියල මට හිතෙනවා.

බ්‍රිතාන්‍යයේදී නම් journalism කරන්න id එකක් අවශ්‍ය නැහැ.

අවශ්‍ය තැනකදී අපි use කරන්නේ අපේ ආයතනය දීපු identity එක. ඇත්තටම ඒක දීල තියෙන්නේ journalist කෙනෙක් කියල ඔප්පු කරන්න නෙමෙයි; ආයතනය ඇතුළට යන්න.

මාධ්‍යවේදියෙක් කියල සනාථ කරන්න බ්‍රිතාන්‍යයේ වැඩිපුරම භාවිතා කරන identity card එක තමා NUJ (National Union of Journalists)  මාධ්‍යවේදීන්ගේ ජාතික වෘත්තීය සමිතියෙන් දෙන හැඳුනුම්පත. රටේ ඕනෑම තැනක ඒක පිළිගන්නවා. අනෙක එතන වැදගත්ම දේ තමා, හාම්පුතා හැඳුනුම්පතක් දෙන්න බෑ කිවුවත් නිදහස් (freelance) මාධ්‍යවේදීන්ට trade union එකෙන් හැඳුනුම්පතක් ගන්න පුළුවන් වීම.

සමහර වෙලාවට ඒකෙන් අපේ රැකියාව පහසු කරන බව ඇත්ත වුණත් මාධ්‍යවේදියෙක් බව පෙන්නන්න identity එකක් ඕන කියල බ්‍රිතාන්‍යයේ නීතියක් හෝ සම්ප්‍රදායයක් නැහැ.

ඉතින් මම හිතන්නේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ id එක වෙනුවට අපිම හැඳුනුම්පතක් හදාගන්න ක්‍රමවේදයක් ගැන අපි හිතන්න ඕනේ කියල.

හැබැයි මේකත් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ.

මාධ්‍ය හැඳුනුම්පතක් තියෙනව කියන්නේ කැමති, කැමති විදියට ඕනෑම තැනකට රිංගන්න හරි, නීති විරෝධී දේවල් කරන්න හරි, විශේෂ වරප්‍රසාද ලබාගන්න හරි use කරන ලයිසන් එකක් නොවිය යුතුයි.

කෙටියෙන් කිවුවොත් මාධ්‍ය හැඳුනුම්පත කියන්නේ වෘත්තිය පහසු කරගන්න භාවිත කරන මෙවලමක් විනා "මං පොර" වෙන්න සහතිකයක් නෙවෙයි.

සංවාදයට විවෘතයි. අපි කතා කරමු.

     

| සරෝජ් පතිරණ | عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته.