විශ්‍රාම දිවිය අර්ථවත් ලෙස ගත කිරීමට ඔබට කළ හැක්කේ කුමක් ද?

 Retirement-life-1

රැකියාවෙන් විශ්‍රාම ගැනීම ඕනෑම පුද්ගලයෙකුගේ ජිවිතයේ විශේෂ සන්ධිස්ථානයක් බවත් විශ්‍රාම ගැනීම තමන්ගේ ජිවිතයේ ක්‍රියාකරීත්වය අහිමිකර ගැනීමක් යැයි කිසිසේත් නොසිතිය යුතු බව ගාල්ල ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසයි.

රැකියාවෙන් විශ්‍රාම ගැනීම ඕනෑ ම පුද්ගලයෙකුගේ ජිවිතයේ විශේෂ සන්ධිස්ථානයක් බවත් විශ්‍රාම ගැනීම තමන්ගේ ජිවිතයේ ක්‍රියාකරීත්වය අහිමි කර ගැනීමක් යැයි කිසිසේත් නොසිතිය යුතු බවත් ගාල්ල ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසයි.

දීර්ඝ කාලයක් පුරා රැකියාවක නිරත වීමෙන් පසු ඕනෑ ම පුද්ගලයෙකුට විශ්‍රාම යාමට සිදුවන බැවින් විශ්‍රාම ගැනීම යනු ජිවිතයේ යම් කිසි කාලයක් තමන් කළ සේවයෙන් අනතුරුව විවේකයක් ලබා ගැනීම සඳහා අවස්ථාවක් හිමිවීමක් ලෙස සැලකිය යුතු බව ද ඔහු පෙන්වා දෙයි.

විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඇතැම් පුද්ගලයින්ට එය යම්කිසි මානසික පිඩනයක් බවට පත්වීමට හැකි අවස්ථාවන් දැක තිබෙන බැවින් ඒ පිළිබඳව කල් තියා අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම වැදගත් බව ද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

'විශ්‍රාමික ජීවිතයට හැඩ ගැහෙන්න අමාරු යි'

වසර 30කට ආසන්න කාලයක් පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වී සිට මේ වන විට විශ්‍රාම සුවයෙන් පසු වන මොහොමඩ් ඉෆ්තිකාර් බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් පැවසුවේ, රැකියාවෙන් විශ්‍රාම යාමෙන් අනතුරුව තමන්ට නිවසේ රැඳී සිටීම සහ එදිනෙදා වැඩ කටයුතු කළමනාකරණය කර ගැනීමේ අපහසුතාවක් මතු වූ බව ය.

"මම ඉස්සර උදේ 5.00ට කලින් නැගිටිනවා. එහෙම නැගිටලා රැකියාවට යන්න වගේ ම ගෙදර ළමයින්ව ඉස්කෝලේ යවන්න අවශ්‍ය වැඩවලට වයිෆ්ට උදව් කරනවා. ඔෆිස් එකට යනවා කියන්නේ මං ආස ම දෙයක්. උදේ බස් එකේ යද්දී අපිට විවිධ අය හම්බ වෙනවා. ඒ වගේ ම ඔෆිස් එකේ වැඩ තිබුණත් අපි කණ්ඩායමක් විදිහට ඒ පැය 08-09 කාලය හොඳට එකමුතුවෙන් හිටියා. විවිධ දේවල් ගැන කතා කළා, ක්‍රිකට් මැච් වගේ ම ෆුට් බෝල් මැච් ගැන කතා කරනවා. දේශපාලන සංවාද වගේ ම විහිළු තහළු කරන් හැමෝම එකතු වෙලා හිටියා.''

''ඒත් මගේ වයසත් එක්ක මට විශ්‍රාම යන්න වුණා ම ඒක මට ලොකුවට බලපෑවා. මට මුල් මාස කිහිපයේ ම ඒකට හැඩ ගැහෙන්න අමාරු වුණා. යාළුවෝ එක්ක ෆෝන් එකෙන් කතා කරන්න පටන් ගත්තා. මම හිතන්නේ මගේ ජීවිතයේ ඒක අමාරු කාලයක් වුණේ මගේ දරුවෝ දෙන්නත් ඒ වෙද්දී රටින් පිටව හිටියේ. මමයි නෝනයි දෙන්න ම දැන් විශ්‍රාම ගිහින්. ඒත් දැන් අපි ගෙදර තනියම ඉන්නවා. සති අන්තයට ඇවිදින්න යනවා ගෙවල් ළඟ තියෙන පාර්ක් එකට. එහෙම නැත්නම් ෆේස්බුක්, යූටියුබ් වීඩියෝ බලන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ," ඔහු පැවසීය.

හුදෙකලාවීම වැළැක්වීමට සාමුහික එක්වීම මානසික වශයෙන් වැදගත්

| හුදෙකලාවීම වැළැක්වීමට සාමූහික එක්වීම මානසික වශයෙන් වැදගත් බව මනෝවිද්‍යාඥයෝ පෙන්වා දෙති

විශ්‍රාම දිවියේදී මුහුණ දෙන ගැටලු මොනවා ද?

විශ්‍රාම දිවියට ඇතුළු වන පුද්ගලයෙකු මුහුණ දෙන ප්‍රධාන ගැටලු වන්නේ හුදෙකලාවීම සහ 'මූල්‍ය අස්ථාවරත්වය' බව ජාත්‍යන්තර පරිවර්තනීය පුහුණුකරුවන්ගේ සම්මේලනයේ සාමාජික, පුද්ගල හැකියා සංවර්ධනය කිරීමේ පුහුණුකරු භාතිය අර්ථනායක, බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවේ ය.

"පුද්ගලයෙකුට විශ්‍රාම දිවියක් හිමි වෙන්නේ එම පුද්ගලයා කායිකව සහ මානසික වශයෙන් පිරිහීම නිස යි. විශේෂයෙන් වැඩ කරන කාල සීමාව ගත්තා ම තරුණයෙක් ඉතා ම ජව සම්පන්නව වැඩ කරන්න පටන් අරන් ඒ කෙනාගේ ඵලදායීතාව ඉතා ඉහළ මට්ටමින් රඳවා ගන්න පුළුවන් කාල සීමාව පුරා තමන් සේවය කරන ආයතනයට වගේ ම රටට ඒ දායකත්වය ලබා දීම සිදු කරනවා.''

''හැබැයි අපි තේරුම් ගන්න ඕන කාරණාව තමයි මේ පුද්ගලයින් කණ්ඩායම එක පාර ම විශ්‍රාම ගිහින් නතර වුණා ම දැන් විශේෂයෙන් ආයතන පද්ධතියක් ඇතුළේ සේවය කරමින් ඉඳලා නතර වුණා ම ඔවුන් යම් කිසි ආකාරයක හුදෙකලා වීමකට ලක් වෙනවා. මානසික සෞඛ්‍ය පැත්තෙනුත් ඒ පුද්ගලයා යම් ගැටලුකාරී තත්ත්වයකට පත් වෙනවා.''

''මොකද ඒකට හේතුව තමයි දිනය පුරා ම කාර්යබහුල වෙලා හිටිය කෙනෙකුට කරන්න වැඩක් නැති වුණා ම ඒක ඒ පුද්ගලයාට මානසික වශයෙන් යම් බලපැමක් එල්ල කරනවා. මෙන්න මේ වැඩක් නැති වුණා ම ඒ පුද්ගලයා හුදෙකලා වෙන්න පුළුවන්. වෙන දා ඔහුට හම්බ වෙන සමාජයෙන් ඔහු ඈත්වීමක් වෙනවා, කාර්යාල වෙලාවේදී මුණ ගැහුණු අයත් එක්ක ගත කරපු කාලය අහිමි වෙනවා වගේ ම වැඩ කරන්නේ නැහැ.''

''අනෙක් කරුණ තමයි අද සමාජයේ බොහෝ දෙනා රැකියාව කරන්නේ ජීවත්වීම උදෙසා. නමුත් පවතින ආර්ථික තත්ත්වය තමන්ගේ කුටුම්භයේ මාසයක වියදම් පියවා ගැනීමට තමන්ගේ වැටුප වැය කරන්නේ. ඒ නිසා වියපත්භාවයට පත්විමත් සමග ආර්ථික වශයෙන් පීඩනයකට ලක්වෙනවා," ඔහු පැවසීය.

''විශ්‍රාම යෑමට සුදානම් වීමට පෙර සිටම තමන්ගේ විශ්‍රාම ජීවිතය ගත කරන්නේ කෙසේදැයි සැලසුමක් සකස් කළ යුතු වෙනවා. මේක කරන්න අවශ්‍ය විශ්‍රාම යෑමට පෙර සිටමයි. විශ්‍රාම ගැනීම කියන්නේ ජිවිතයේ වැඩ කිරීමේ අවසානය නොවන නිසා විශ්‍රාම ගැනීමෙන් අනතුරුවත් තමන්ට ලැබෙන කාලය තමන් සතුටුවිය හැකි ඕනෑම දෙයක් යොදවන්න පුළුවන්.''ඡායාරූප මූලාශ්‍රය,Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,''විශ්‍රාම යෑමට සුදානම් වීමට පෙර සිටම තමන්ගේ විශ්‍රාම ජීවිතය ගත කරන්නේ කෙසේදැයි සැලසුමක් සකස් කළ යුතු වෙනවා"

'විශ්‍රාම දිවිය කල් තියා සැලසුම් කරන්න'

කාලය ගත කිරීමට අවශ්‍ය වැඩකටයුතු නොමැතිවීම, වෙනදා ඇසුරු කළ පුද්ගලයින්ගෙන් ඈත්වීම, මුල්‍ය අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් ඇතිවන ප්‍රශ්න සහ පදිංචිය වෙනස් කිරීම යන ගැටලු හේතුවෙන් විශ්‍රාම ජිවිතයට එළඹෙන පුද්ගලයින් විවිධ ගැටලු වලට මුහුණ දෙන බව විශේෂඥ වෛද්‍ය රූමි රූබන් පෙන්වා දෙයි.

" මේ කාරණා නිසා ඇතිවන මානසික පීඩනය නිසා නින්ද නොයාම, තරහා යාම, හුදෙකලා බවක් දැනීම, ජිවිතයේ සතුටක් සහ අර්ථයක් නොමැතිවීම වැනි අදහස් ඇතිවන්නට පුළුවන්. මෙවැනි මානසික පීඩනය අවම කර ගැනීම සඳහා විශ්‍රාම ගිය පුද්ගලයෙකු සිදුකළ යුතු කරුණු කිහිපයක් තිබෙනවා.''

''විශ්‍රාම යෑමට සුදානම් වීමට පෙර සිටම තමන්ගේ විශ්‍රාම ජීවිතය ගත කරන්නේ කෙසේදැයි සැලසුමක් සකස් කළ යුතු වෙනවා. මේක කරන්න අවශ්‍ය විශ්‍රාම යෑමට පෙර සිටමයි. විශ්‍රාම ගැනීම කියන්නේ ජිවිතයේ වැඩ කිරීමේ අවසානය නොවන නිසා විශ්‍රාම ගැනීමෙන් අනතුරුවත් තමන්ට ලැබෙන කාලය තමන් සතුටුවිය හැකි ඕනෑම දෙයක් යොදවන්න පුළුවන්.''

''විශ්‍රාම කාලයේදි තමන්ගේ වෘත්තීය දිවිය නිසා මග හැරුණු අධ්‍යන කටයුතු තියෙනවනම් ඒවා නැවත ආරම්භ කරන්න මේ කාලය යොදවන්න පුළුවන්. තමන්ට සතුටු ලෙස ජිවත් වෙන්න පුළුවන් කාරණාව කුමක්ද කියලා තීරණය කිරීමයි ඉතා වැදගත් වෙන්නේ.''

''ඒ වගේම තමන්ගේ පවුලේ සාමාජිකයින් සමග වැඩිකාලයක් ගත කරන්න පුළුවන්. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි මෙතෙක් මග හැරුණු තමන්ගේ ශරිර සෞඛ්‍ය ගැන අවධානය යොමු කිරීම, නිසි ව්‍යායාම් කිරීම, සමතුලිත ආහාර වේලක් ගැනීම සිදුකරන්න අවශ්‍යයි. විශ්‍රාම ගියාට පසුව තමන් සතුටෙන් සිටින්න හැකි තරම් කාලය යොමු කරන්න. සංගීතයට සවන්දෙන්න වගේම චිත්‍රපට නරඹන්න කාලය වැය කරන්න.''

''විශ්‍රාම ගියා කියලා පුද්ගලයෙක් ජිවිතයෙන් අයින් වෙන්නේ නැහැ. නව තාක්ෂණය සමග ගමන් කිරීම වැනි දේ ගැන ඉගෙන ගන්න මේ කාලය වැය කරන්න පුළුවන්. රැකියාව කිරීමේදී තමන්ට මග හැරුණු ගමේ වගේම සමාජයේ විවිධ සමිති සමාගම් සමග එක්වෙලා වැඩ කටයුතු වල යෙදීමෙන් ආත්ම තෘප්තියක් ලබන්න පුළුවන්.' ඔහු පැවසුවේය.

''විශ්‍රාම යෑමට සුදානම් වීමට පෙර සිටම තමන්ගේ විශ්‍රාම ජීවිතය ගත කරන්නේ කෙසේදැයි සැලසුමක් සකස් කළ යුතු වෙනවා. මේක කරන්න අවශ්‍ය විශ්‍රාම යෑමට පෙර සිටමයි. විශ්‍රාම ගැනීම කියන්නේ ජිවිතයේ වැඩ කිරීමේ අවසානය නොවන නිසා විශ්‍රාම ගැනීමෙන් අනතුරුවත් තමන්ට ලැබෙන කාලය තමන් සතුටුවිය හැකි ඕනෑම දෙයක් යොදවන්න පුළුවන්.''

|  ''විශ්‍රාම කාලයේදි තමන්ගේ වෘත්තීය දිවිය නිසා මග හැරුණු අධ්‍යන කටයුතු තියෙනවනම් ඒවා නැවත ආරම්භ කරන්න මේ කාලය යොදවන්න පුළුවන්"

'වැඩිහිටි ප්‍රජාවට එකතු වෙන්න ඉඩ සලසන්න'

විශ්‍රාම ගොස් සිටින වැඩිහිටි ප්‍රජාවට ඒකරාශී වීමට ඉඩ සැලසීම හරහා හුදෙකලාවීමේ ගැටලුවට පිළිතුරු ලැබෙන බවත් ඔවුන්ට එය මානසික වශයෙන් ද උපකාරයක් වන බවත් භාතිය අර්ථනායක පැවසීය.

එමෙන් ම, ඔවුන් එදිනෙදා සිය දෛනික කටයුතුවල නියැලීම හරහා මානසිකව අත්විඳින ඇතැම් පීඩාකාරී සිතුවිලිවලින් මිදීමට හැකි වන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

"විශ්‍රාම ජීවිතය ඇතුළේ වැඩිහිටියන් විවිධ වැඩ සංඛ්‍යාවක් කරනවා. නමුත් මේ ටික කරගෙන යද්දී සමහර වෙලාවට තමන්ට කරන්න වැඩක් නැහැයි කියන තැනට ආවා ම තමයි ඔවුන් මානසිකව මෙන් ම කායික වශයෙන් තනි වෙන්නේ.''

''යම් විදිහකින් කය වෙහෙසා වැඩනොකරන යම් ව්‍යවසායකත්වයක් ඇති කළොත් කණ්ඩායමක් වශයෙන් ඔවුන්ට එකට එකතු වෙන්න පුළුවන් වටපිටාවක් සෑම අංශයකින් ම නිර්මාණය කරන්න හැකියාව තියෙනවා. අන්න ඒ දේ නැති කරන්න වැඩපිළිවෙළක් රජයෙන් වගේ ම පෞද්ගලික අංශය එකතු වෙලා කරන්න පුළුවන් නම් මේ ගැටලුවට පිළියමක් යොදන්න පුළුවන්.''

'අපිටත් පුළුවන් ජපානයේ ක්‍රමවේදය අනුගමනය කරන්න'

ජපානය වැනි රටවල් තම වැඩිහිටි ප්‍රජාව විශ්‍රාම ගැනීමෙන් පසුව ඔවුන්ව රටේ ඉදිරි ගමනට දායක කර ගන්නා බවත්, ශ්‍රී ලංකාවට ද එවැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීම හරහා වැඩිහිටි ප්‍රජාවට සිය විශ්‍රාම දිවිය සැලසුම් කර ගැනීම සඳහා උපකාරී වනු ඇති බවත් භාතිය අර්ථනායක පෙන්වා දුන්නේය.

"ජපානය වගේ රටක් ගත්තා ම මේ වගේ වයස්ගත වන අයව හඳුන්වන්නේ කයෙන් මෙන් ම මනසින් වියපත් වූ අය විදිහට නෙමෙයි. ඒ අය රටේ ඉදිරි ගමනට දායක කර ගන්න පුළුවන් අත්දැකීම් සහිත ප්‍රජාවක් විදිහට යි ජපානය ඔවුන්ව සලකන්නේ.''

''උදාහරණයක් විදිහට විශ්‍රාම යන විදුහල්පතිවරයෙක් ගත්තා ම එයා කායිකව වෙහෙස වී වැඩ කරන එක නෙමෙයි ඔහුගේ මනස වෙහෙසලා වැඩ කරන කෙනෙක්. විවිධ විශේෂඥ කමිටුවලට, ප්‍රාදේශීය වශයෙන් ස්ථාපනය කරන අධ්‍යාපනික කමිටුවලට ඒ අයගේ විශේෂඥ ඥානය ලබා ගන්න හැකියාව තියෙනවා. එතකොට මේ වැඩිහිටි ප්‍රජාවට ඒ වගේ අවස්ථාවක් ලැබෙනවා කියන්නේ ඒ අයට පෙර තමන්ට තිබුණු ගෞරවාන්විත හැඟීමක් වගේ ම සමාජයට තමන්ගෙන් සේවයක් ඉටුවනවා කියන හැඟීමත් එක්ක ඔවුන්ට ඉදිරියට යන්න අවස්ථාවක් ලැබෙනවා.''

''එතකොට මම දකින දේ තමයි ලංකාවේ විශ්‍රාම යන ප්‍රජාව ආකල්පමය වශයෙන් වැඩක් ගන්න පුළුවන් ගොඩක් දෙනා ඉන්නවා. හැබැයි මේ අය විශ්‍රාම ගියා ම ඔවුන්ව නිකම් ම අත්හැරලා දානවා. නමුත් මේ අය විවිධ කේෂ්ත්‍රවල විශාල අත්දැකීම් තිබෙන අය යි.''

''ජපානයේ ඉන්න මගේ මිතුරෙක් කිව්වා ඒ රටේ විශ්‍රාම ගොස් සිටින පුද්ගලයින්ගේ අත්දැකීම්වලින් විශාල වැඩ කොටසක් කර ගන්නවා කියලා. ලංකාවේ අවුරුදු 55 විශ්‍රාම ගියාට අවුරුදු 65-70 දක්වා හොඳ ශාරීරික වගේම මානසික සෞඛ්‍යයෙන් පසු වන අය ඉන්නවා.''

''ලංකාවේ විශ්‍රාම යන පුද්ගලයින්ගෙන් රටට යම් සේවයක් ලබා ගන්න රජය වගේ ම පෞද්ගලික අංශය එකතු වෙලා ශක්තිමත් යාන්ත්‍රණයක් හැදුවොත් අපිට පුළුවන් ඔවුන්ගේ හුදෙකලා වීම නැති කරන්න. ඒ වගේ ම ඔවුන්ගෙන් රටේ ආර්ථිකයට, සමාජ ප්‍රගමනයට, සමාජයට හොඳ දායකත්වයක් ලබා ගන්න පුළුවන්," ඔහු පැවසුවේ ය.

රැකියාවෙන් විශ්‍රාම ගැනීම ඕනෑම පුද්ගලයෙකුගේ ජිවිතයේ විශේෂ සන්ධිස්ථානයක් බවත් විශ්‍රාම ගැනීම තමන්ගේ ජිවිතයේ ක්‍රියාකරීත්වය අහිමිකර ගැනීමක් යැයි කිසිසේත් නොසිතිය යුතු බව ගාල්ල ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසයි.ඡායාරූප මූලාශ්‍රය,Getty Images

විශ්‍රාමයට වැදගත් වන ආයෝජනය

සේවයෙන් විශ්‍රාම යන පෞද්ගලයෙකු තමන්ගේ විශ්‍රාම දිවියේදී මූල්‍ය ස්ථාවරභාවය වෙනුවෙන් ඔහු හෝ ඇය රැකියාවක නිරත වන කාලයේ සිට යම් ආයෝජනයක් කිරීමට පෙළඹීම අත්‍යවශ්‍ය කරුණක් බව පුද්ගල හැකියා සංවර්ධනය කිරීමේ පුහුණුකරු භාතිය අර්ථනායක පෙන්වා දුන්නේ ය.

"අපි හුරුවෙලා ඉන්නේ මේ තියෙන තමන් උපයන මුදලින් පවතින ආර්ථික තත්ත්වය එක්ක අපගේ එදිනෙදා වියදම් පියවා ගන්න. නමුත් තමන් කවදා හෝ දිනයක විශ්‍රාම යනකොට ජීවත් වෙන්න ආදායමක් තිබීම ඉතා වැදගත්. මූල්‍ය සහතිකය වැදගත් සාධකයක් විශ්‍රාම දිවියක ඉන්න පුද්ගලයෙකුට.''

''අද වෙද්දී ගොඩක් දෙනා මේක ගැන අවබෝධයක් නැතිකම නිසා ආයෝජනය ගැන යොමුවෙන්නේ නැහැ. ඒ නිසා ආයෝජන සැලැස්මකට යොමුවීම විශ්‍රාම දිවියට එළඹෙන සෑම පුද්ගලයෙකු කල් තියා සැලසුම් කොට සිදුකිරීම අත්‍යාවශ්‍ය දෙයක්," ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

(bbc/sinhala)