ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ අවිධිමත්ව ස්ථාපිත කරන්නට උත්සාහ ගත් කාබනික වගා සංග්‍රාමය උපන්ගෙයිම මිය ගියේ ගොවියා කබලෙන් ලිපට වට්ටමින් හා ආණ්ඩුවට ගෙදර යන්නට එක් බලවත් හේතුවක්ද වෙමිනි. අදවනවිට, තමන්ම ගෙවත්තේ වවා ගතහොත් හෝ ඉහළ මිළක් ගෙවා සුපිරි වෙළඳසැළකින් මිළට ගතහොත් හෝ නොවන්නට කාබනික ආහාර පරිභෝජනයට අවස්ථාව අහිමි මෙරට ජනයාට වස යෙදූ බව දැන දැනම එළවලු ඇතුළු සෙසු ආහාර පරිභෝජනය කරන්නට සිදුව ඇත. ඊට හේතුව කාබනික ආහාර සුලබ නොවීම හා කාබනික වගාවට පමණක් යොමුවීම දුෂ්කර වීමයි. එසේම උඩරට හා පහතරට එළවලු වර්ග බොහෝමයක් කෘෂි රසායනික නොයොදා වගා කළ නොහැකි බව ගොවීන්ගේ අත්දැකීමයි. ලංකාවේ කෘෂිකර්මාන්තයේ ස්වභාවය අනුව සම්පූර්ණයෙන්ම කාබනික ගොවිතැනට යොමුවීම ප්‍රායෝගික නොවන අතර නිසි පිළිවෙත් අනුව රසායන භාවිතා කරමින් ගොවිතැන් කිරීම උපාය මාර්ගය විය යුතු බව කෘෂිකර්ම විශේෂඥයින්ගේ ද අදහසයි. මහජන සෞඛ්‍ය හා තවත් කරුණු ගණනාවක් සළකා බලනවිට කාබනික මෙන්ම අවශ්‍ය නම් පමණක් නිසි ප්‍රමිතීන්ට අනුව නිර්දේශිත පිළිවෙළට රසායනික භාවිතා කරන තිරසාර ගොවිතැනට යොමු විය යුතු බව සඳහන් කරන කෘෂි විශේෂඥයෙකු වන බිඳුණුවැව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ ජී. ඒ. ඒ ගුරුසිංහ මහතා සඳහන් කරන්නේ ගොවීන් ද කෘෂි ව්‍යාප්ති සේවාව ද කෘෂි රසායන අලෙවියට සම්බන්ධ ව්‍යාපාරිකයන් ඇතුළු සමාගම් ද ඒකාබද්ධ ප්‍රවේශයකින් ගැටළුවලට විසඳුම් සෙවිය යුතු වන අතර ඇතැම් කරුණුවලට අදාළව දැනුම හා පිළිවෙත් යාවත්කාලීන විය යුතු බවයි.
ඉවක්බවක් නැතිව රසායන භාවිතා කිරීම අවුලක්
උඩරට එළවලු වගා කරන බදුල්ල දිස්ත්‍රික්කයට අයත් වැලිමඩ කෘෂිකර්ම කලාපය මෙරට අර්තාපල් නිෂ්පාදනයේ ප්‍රමුඛ භූමිභාගය වන අතර සෙසු එළවලු වර්ග නිෂ්පාදනයෙන් ද ඉදිරිපෙළ ස්ථානයක හිමි කරගෙන ඇත. නිදසුනක් ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව දිවයිනේ අර්තාපල් නිෂ්පාදනයෙන් සියයට 75ක් බදුල්ල දිස්ත්‍රික්කය තුළ නිපදවන විට ඉන් වැඩි ප්‍රමාණය වගා කරන්නේ වැලිමඩ කෘෂිකර්ම කලාපයේය. ඒ හැරුණුවිට බෝංචි හා තක්කාලි නිෂ්පාදනයෙන් ද බදුල්ල දිස්ත්‍රික්කය මුල්තැනට එද්දී සෙසු උඩරට එළවලු බහුලව නිපදවන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කය බව දත්තවලින් පෙන්නුම් කරයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන මේ සංඛ්‍යාලේඛනවලින් නිගමනය කළ හැකිවන්නේ, කෘමිනාශක දිලීරනාශක බැක්ටීරියානාශක ලෙස වර්ග කළ හැකි විෂ සහිත රසායන ද මේ දිස්ත්‍රික්ක දෙක තුළ බහුලව භාවිතා වන බවයි. එහෙත්, එකී භාවිතා වීමේ ස්වභාවය සම්බන්ධ ඇතැම් දත්තවලට අනුව රසායන භාවිතයේ අනුක්‍රමික වැඩිවීමක් පෙන්නුම් කරයි. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ පර්යේෂණ වාර්තාවකට අනුව 2006 වසරට සාපේක්ෂව 2011 වසරේදී මෙරටට ආනයනය කළ කෘෂි රසායන ද්‍රව්‍යවල හා ඒවායෙන් සංශ්ලේෂිත යෙදවුම්වල ප්‍රමාණාත්මක අගය වැඩිවීම සියයට 49 කි. 2020 වසරේ නිකුත් වූ ලෝක බැංකු වාර්තාවකට අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් සියයට 85 ක් තම වගාවට කිසිම උපද්‍රවයක් ඇතිවීමට පෙරම කෘෂි රසායන භාවිතා කිරීම ආරම්භ කරයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ එම ප්‍රතිශතය සියයට 66 කි. මෙය ඉතාමත් භයානක තත්ත්වයක් බව වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි නුවන් වරුෂවිතාන පවසයි. ඔහුට අනුව ගොවීන් නිසි දැනුමකින් තොරවීම, ප්‍රමිතිගත නියාමනයක් නොමැතිවීම, කෘෂි ව්‍යාප්ති සේවාවේ දුර්වලතා ආදිය නිසා මෙවැනි තත්ත්වයක් පැන නැගිය හැකි අතර ඉන් සෞඛ්‍ය තර්ජනයක් උද්ගත වීමට ඉඩ තිබේ.
| වෛද්‍ය නුවන් වරුෂවිතාන
“මූලිකවම මේ රසායන භාවිතා කරන ගොවීන් සහ ආසන්න ජනයා අයහපත් සෞඛ්‍ය තත්ත්වයන්ට ගොදුරු වෙන්න පුළුවන්. අපි දකිනවා ඇතැම් ගොවියො ආරක්ෂාකාරී පිළිවෙත් අනුගමනය නොකරමින් රසායන භාවිතා කරනවා. හිස් භාජන ඇලදොළවලට දානවා. දියර ඉසින ඒතැන්වල හෝදනවා. අනික මට අහන්න ලැබිලා තියෙනවා බොහෝ වෙලාවට පෙර අස්වනු කාලය නොසළකා රසායන යොදනවා කියලා. තක්කාලි හෙට වෙළඳපොළට යවනවා නම් අද වස ගහන අවස්ථා අපිට දකින්න ලැබෙනවා. එතකොට ඒ එළවලු පාරිභෝගිකයා මිළට ගන්නේ අහිතකර විය හැකි රසායන, වියෝජනය වෙන්න කළිං. එහෙම වුණාම රසායනිකත් ආහාරයට එකතුවෙලා පිළිකා වගේ රෝග ඇතිවෙන්න අවදානමක් තියෙනවා. දැන් කොහොමත් කථාබහක් තියෙනවානේ පිළිකා වගේ ලෙඩ හැදනවා වැඩියි කියලා. අනික පානීය ජලයට මේ රසායන එකතුවීමත් බරපතල ගැටළුවක් විදිහට මං දකිනවා. තවම හරියට ඔප්පු කරල නැතත් වතුරට රසායන එකතුවීමයි සමහර රෝගයි අතර සම්බන්ධයක් තියෙන්න පුළුවන්.”
වෛද්‍ය නුවන් වරුෂවිතාන පෙන්වා දෙන මේ භයානක යැයි සැළකිය හැකි තත්ත්වයට වගකිව යුතු වන්නේ කවුරුද? නිලධාරීන්ට අනුව උපදෙස් පිළිපදින්නේ නැති ගොවියා වරදකරුය. ගොවියාට අනුව නිළධාරීන් උපදෙස් ලබාදීමට ගොවිබිම්වලට නොඑන නිසා තමන් අලෙවිසැල්වලින් උපදෙස් ලබාගෙන වගාවට රසායනික යෙදීම සිදුකරයි.
වැරැදිකරුවාට පෙර වරද වටහා ගත යුතුය
වැලිමඩ නුවරඑළිය බොරලන්ද හා බණ්ඩාරවෙල සිදු කළ අපේ අධ්‍යයනවලදී පැහැදිලි වූයේ ගොවීන් වැඩිදෙනෙකු කෘෂි රසායන භාවිතය පිළිබඳ උපදෙස් ලබා ගැනීමේදී නිලධාරීන් කෙරෙහි විශ්වාසය නොතබන බවයි. වංගියකුඹුරේ අර්තාපල් ගොවියෙකු වන සුසන්ත බණ්ඩාර මහතා පැවසුවේ, කෘෂිකර්ම නිලධාරීන් හමුවීම අපහසු නිසා උපදෙස් ලබා ගැනීමට යොමු නොවන බවයි. “අපි උපදේශක මහත්තුරු මුණ ගැහෙන්න නම් ගොවිජන සේවා මධ්‍යස්ථානේ තියෙන කාර්යාලයට සඳුදා දවසේ යන්න වුවමනායි. හැබැයි සඳුදාත් අපිට වගාබිම්වල වැඩ නම් යන්න වෙන්නේ නැහැ. ඊට ලේසියි දන්න වෙන කෙනෙක්ගෙන් අහලා වැඩ කරගන්න එක.”
ඒ අතර කැප්පෙටිපොළ හෙවණකුඹුරේ උඩරට එළවළු ගොවියෙකු වන ප්‍රේ මරත්න මහතා පවසන්නේ වෙනස් කතාවකි. “අපි අවුරුදු ගාණක් තිස්සේ ගොවිතැන් කරනවා. උපාධි නැතත් අපිට තියෙනවා ප්‍රායෝගික දැනීම. උපදේශක මහත්තුරු නිතර වගාබිමට ආවේ නැතත් ටෙලිෆෝන් කළාම කරුණු කාරණා අහගන්න පුළුවන්. හැබැයි ඒක නෙවෙයි ප්‍රශ්නය. ඒ සමහරු අළුත් දේවල් දන්නෙ නැහැ. ඒවා දන්නේ කඩේ ඉන්න අයයි. කොම්පැනිවල මහත්තුරුයි තමයි”
මේ හා සමාන අදහසක් දරන බණ්ඩාරවෙල හීල්ඔය ප්‍රදේශයේ ගොවියෙකු වන දමිත කුමාර මහතා ද පැවසුවේ නිලධාරීන් යාවත්කාලීන වූ දැනුමකින් යුක්ත විය යුතු බවයි. ඔහු පවසන්නේ පොතේ කුමක් තිබුණද ඇත්ත දුෂ්කරතාවලට මුහුණ දෙන්නේ ගොවීන් බවයි. කෙසේවෙතත් මේ ගොවීන් තිදෙනා සහ අප හා කථා කළ සෙසු ගොවීන්ද පොදුවේ පිළිගන්නා කරුණක් වේ. ඒ කෘෂි රසායන භාවිතයේ අවිධිමත් ස්වරූපයක් තිබෙන බවයි.
| සුසිල් තල්දෙන
පෝෂණවේදය සඳහා උපාධිධාරියෙකු වන සුසිල් තල්දෙන මහතා බණ්ඩාරවෙල තල්දෙන ඇග්‍රෝ හී අධිපතිවරයාය. ගොවීන් නිලධාරීන්ට වඩා තමන් වැනි ව්‍යාපාරිකයින් හා සමාගම්වල නියෝජිතයින් වෙත යොමු වීමේ ප්‍රවනතාවයක් පවතින බව ඔහු ද පිළිගනියි. ඒ හේතු සහිතවය.
“පළවෙනි කාරණය තමයි නිලධාරීන් කියන තරම් ගමට යන්නේ නැති එක. ඒකට විවිධ හේතු තියෙන්න පුළුවන්. නමුත් ඒකෙන් වෙන්නෙ ගොවියො එක්ක තියෙන සංවාදය දුර්වල වීම. අනෙක මං දකිනවා නිලධාරින්ගේ දැනුම අප්ඩේට් වෙන්න අවශ්‍යයි කියලා. සමහර කම්පැනි ඒජනට්ස්ලා ඉන්නවා නිලධාරීන්ට වඩා අළුත් දේවල් දන්නවා. ගොවියෝ කැමතියි එයාලගේ උපදෙස් ගන්න. අනිත් කාරණය තමයි පනතත් අප්ඩේට් වෙන්න වුවමනායි.” ඔහු මේ පවසන්නේ පලිබෝධ නාශක පාලනය කිරීමේ පනත පිළිබඳවයි. කෙසේවෙතත් පලිබෝධනාශක ඇතුළු කෘෂිරසායන භාවිතයේ අවිධිමත් හා නිවැරදි විය යුතු තැන් ගණනාවක් ඇති බව සුසිල් තල්දෙන මහතා ද පිළිගනියි.
“දැන් තව ගැටළු තියෙනවානේ අපි ඇඩ්රස් කරන්න අවශ්‍ය. මේ පළාතේ සමහර ගොවියෝ බෝංචිවලට ඩෙටෝල් ගහනවා. තව සමහරු හාපික් ගහනවා. බල්ලන්ගේ හරකුන්ගේ කිනිතුල්ලන්ට යොදන රසායන වගාවට භාවිතා කරනවා. අජිනමොටෝ ප‌්‍රෙ ටල් කළවම් කරලා දාලා වල් මරනවා. මේවත් ප්‍රශ්න. අනික දැනට තහනම් කරලා තියෙන මැලතියන් වගේ රසායන ගොවියො ගාව තියෙනවා. ඒවා ලංකාවට එන විදියත් බලන්න වුවමනායි. මුහුදු මාර්ගයෙන් එනවා වෙන්නත් පුළුවන්. ගොවියෝ අපෙන් උපදෙස් ගන්නවා කියන එක සුළු දෙයක් ඒවත් එක්ක බලද්දී”
කෙසේවෙතත්, “කෘෂි සමාගම්වල නියෝජිතයෝ කෘෂිකර්ම නිලධාරින්ට වඩා දැනුවත් පිරිසක් වීම නිසා ගොවීන් ඔවුන්ගෙන් උපදෙස් ලබනවා” යන කරුණද සැළකිල්ලට ගැනීම වැදගත්ය. දැනුවත් බව කෙසේවෙතත්, ඔවුන් උත්සාහගන්නේ සිය සමාගම්වල නිෂ්පාදන අලෙවිකර ගැනීමටයි. එකී ව්‍යාපාරික වුවමනාව නිසා වරදක් සිදුවුවහොත් වගකියන්නේ කවුද යන්න බරපතල ගැටළුවකි.
පාලනය කරන්නේ කවුද? කොහොමද?
පලිබෝධනාශක පාලනයට අදාළ නිසි බලධාරියා පලිබෝධනාශක රෙජිස්ටාර්වරයාය. වර්ථමානයේදී ඒ තනතුර දරන්නේ ආචාර්ය ජේ ඒ සුමිත් මහතාය. ඔහු හා කථා කිරීමට පෙර ඔහුගේ ආයතනයේ වෙබ් අඩවිය වෙත පිවිසුණු අපි ලංකාවේ කෘෂිරසායන භාවිතය පිළිබඳ දත්ත පිරික්සීමට උත්සාහ ගත්තත් එම දත්ත අදාළ වෙබ් අඩවියේ ප්‍රගාමීව හෙළිදරව් කර නැත. කෙසේවෙතත් අපට අවශ්‍ය දත්ත පිළිබඳව විමසූ විට සිය ආයතනයෙන් ඒවා ලබාගත හැකි බව ඔහු පැවසුවේය. ආචාර්ය සුමිත්ට මහතාට අනුව කෘෂිරසායනික වන පලිබෝධනාශක අවභාවිතය පාලනය කරන්නේ සිය ආයතනයයි.
| ආචාර්ය ජේ ඒ සුමිත්
එමනිසා ඒ පිළිබඳ පැමිණිළි ඇත්නම් යොමු කළ යුතු වන්නේ පලිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයටයි. මේ විමසුමේදී අනාවරණය වූ තවත් කරුණක් නම් පලිබෝධනාශක ව්‍යාජව නිෂ්පාදනය කිරීමයි. ඒවායෙහි රසායනික අන්තර්ගතය පිළිබඳ ගැටළු පවතින බැවින් වඩා අනතුරුදායක විය හැකිය. නිදසුනක් ලෙස මේ දිනවල දොම්පේ හා දොළොස්බාගේ ප්‍රදේශවලින් ඇග්ස්ටාර් ඩයියුරොන් නම් රසායනිකයේ ව්‍යාජ අනුකාරක හමුවී ඇත. එසේම මිට්සු ඇබමෙක්ටීන් නිෂ්පාදනයේ ව්‍යාජ අනුකාරකයක් උඩරට ප්‍රදේශවල අලෙවිවෙමින් පවතී. ප්‍රමිතිය පරීක්ෂා නොකළ හා අනුමත නොකළ මෙවැනි අනුකාරක හා අපේ රටේ අලෙවියට අවසර දී නොමැති පලිබෝධනාශක රසායනික සිය ගණනක් භාවිතයේ පවතින බව පලිබෝධනාශක රෙජිස්ටාර්වරයා නිවේදනය කරන අතර ඉන් සමහරක් පිළිබඳ විස්තර පලිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයේ වෙබ් අඩවියේ සඳහන් වේ. මේ නීතිවිරෝධී පලිබෝධනාශක හා කෘෂිරසායන භාවිතයෙන් වැළකීමට ගොවීන් උනන්දු විය යුතු වන්නේ ඒවා ඔවුන්ගේ ද පාරිභෝගික ජනයාගේ ද ජීවිත අනතුරට ඇදහෙළන බැවින්ය.
අන්තිමට මොකක්ද උත්තරය?
බිඳුණුවැව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ ජී. ඒ. ඒ ගුරුසිංහ මහතා පෙන්වා දෙන පරිදි පලිබෝධ නාශක පාලනය කිරීමට අදාළ පනත 1994 අංක 06 දරන පලිබෝධ නාශක පාලනය කිරීමේ සංශෝධිත පනතයි. පලිබෝධනාශක රෙජිස්ටාර්වරයාට බලතල ලැබෙන්නේ එම පනතෙනි. එහෙත් අණපනත් තිබූ පමණින් මේ සම්බන්ධ ගැටළු විසඳන්නට නොහැකිය. නිදසුනක් ලෙස විද්‍යාත්මක කෘෂිකර්මාන්තයට අනුව නම් ගොවියා වගාව ඇරමීමට පෙර කළ යුතු පළමු කාර්යය පස පරීක්ෂාවයි. එය ඉතාම සුළු මුදලකට කළ හැකිව තිබියදී නොතකා හරින ගොවීන් ඉවක් බවක් නැතිව රසායන පොහොර යොදා පස විෂබවට පත්කරන අතර පොහොර සහනාධාර දෙන රජයද ඊට උඩගෙඩි දෙයි. අන්තිමේදී පොහොර අධිකවීම නිසා වඩාත් මෘදුව වැඩී රෝග හා පලිබෝධවලට පහසුවෙන් ගොදුරුවන බෝගවලට වැඩිවැඩියෙන් පලිබෝධනාශක යොදන්නට ගොවියා පෙළඹෙන බව බිඳුණුවැව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ ව්‍යාප්තිසේවා නිලධාරිණියක වන වාසනා මහත්මිය පවසයි. ඇය පවසන්නේ ඒකාබද්ධ ප්‍රවේශයකින් ගැටළුවලට උත්තර සෙවිය යුතු බවයි.
ජී. ඒ. ඒ. ගුරුසිංහ මහතාට අනුව, මේවනවිට පනතට අනුව පලිබෝධනාශක පාලනය සිදුවන නමුත් අදට ගැලපෙන පරිදි පනත සංශෝධනය කළයුතු නම් විශේෂඥ උපදෙස් මත රජය ඒ සඳහා අවශ්‍ය පියවර ගත යුතුය. එසේම ගොවීන්ගේ ආකල්ප ද සංවර්ධනය විය යුතුව තිබේ. පලිබෝධනාශක හා කෘෂිරසායන ඇසුරුම් බැහැරලීම සඳහා යාය වශයෙන් ගොවීන් මැදිහත් කරගනිමින් ක්‍රියාත්මක ක්‍රමවේද දැනට පැවතියද ඒවාට ගොවි සහභාගීත්වය අඩුය. පෙර අස්වනු කාලය හෙවත් අස්වැන්න නෙළීමට දින 14කට පෙර රසායන යෙදිය යුතුය යන නිර්දේශය ගොවීන් පිළිපදින්නේ නැත. එමනිසා ගොවි ආකල්ප ද වෙනස් විය යුතුය.
කොහොම නමුත් මේවනවිට පලිබෝධනාශක පාලනයට නියාමනයට හා ප්‍රමිතිකරණයට අදාලව පනතක් හෙවත් නීතියක් තිබේ. ඒ මගින් ස්ථාපිත කරනලද බල අධිකාරියක් ද තිබේ. නිලධාරි තන්ත්‍රයක් ද පත්කර ඇත. එසේ තිබියදී වස කෑමෙන් මියයෑම වළක්වා ගතයුතුයැ’යි කියමින් තවදුරටත් කයිවාරු ගසමින් සිටීම පමණක් සිදුවන්නේ නම් වහා දැඩි හා ප්‍රායෝගික පියවර ගැනීම සඳහා වගකිවයුතු සියළු පාර්ශ්ව කටයුතු කිරීම ද ඒ වෙනුවෙන් ජනතාවගේ සහාය ලබාදීම ද සිදුවිය යුතුය.
| ලසන්ත ද සිල්වා