නොවැම්බර් 12 වන දින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ 2022 වර්ෂය සඳහා වූ අයවැය ඉදිරිපත් කළ අතර අයවැය ලේඛනයේ අඩංගු කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ මෙන්ම පාර්ලිමේන්තුවෙන් පිට සිවිල් සමාජයේ ද යම් කතිකාවක් නිර්මාණය වී ඇත. විශේෂයෙන් රාජ්‍ය සේවය සහ සේවකයන් පිළිබඳව මෙවර අයවැයෙන් සාකච්ඡා වී ඇති අතර එහිදී රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව 65 දක්වා දීර්ඝ කිරීම සඳහා එක් කළ යෝජනාව සම්බන්ධයෙන් මේ වන විටත් සැලකිය යුතු මට්ටමේ විරෝධතාවක් පාර්ලිමේන්තුව තුළ මෙන්ම සමාජයේ ද ගොඩනැගී ඇත.
රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම ගන්නා වයස් සීමාව 65 දක්වා දීර්ඝ කිරීම තුළ තරුණ තරුණියන්ට රාජ්‍ය සේවයට ඇතුළත් වීම වසර 5කින් සීමාවීම තුළ ඒ හා බැඳි ගැටලු ගණනාවක් මතු වී ඇත. එමෙන්ම අත්දැකීම් සහිත රාජ්‍ය සේවකයන්ගෙන් උපරිම සේවාවක් මේ තුළින් රාජ්‍ය සේවයට ලබා ගැනීමට හැකියාව වැනි යම් සාධනීය ලක්ෂණයන් ද පවතී. මේ පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කිරීම සඳහා කිහිප දෙනෙක් අප සමඟ සම්බන්ධ වූහ.
උදේනි දිසානායක, සභාපති, සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමය
මේකෙ පැති දෙකක් තියෙනවා. රාජ්‍ය සේවාව 65ක් දක්වා ගියාම ආණ්ඩුවේ තියෙන මූල්‍ය අර්බුදය සමනය කරගන්න පුළුවන් කියලා ආණ්ඩුව එක පැත්තකින් හිතනවා ඇති. අනිත් පැත්තෙන් රාජ්‍ය සේවාවට අලුතෙන් බඳවගන්නා පිරිස සීමා වෙනවා. ඒ වගේම උසස්වීම් හිමි වෙන්න ඕනෑ නිලධාරීන්ට නියමිත උසස්වීම් හිමි වෙන්නෙ නෑ මේ කාරණය නිසා. ආණ්ඩුවට මූල්‍යමය හැකියාවක් නැත්නම් ඒක විසඳන්න ඕනෑ මේ වගේ දේවල් කරලා නෙවෙයි. දවසින් දවස මිනිසුන්ට ජීවත් වෙන්න බැරි තත්වයකට රට පත්වෙලා තියෙනවා ඒකට පිළියමක් විදියට හෝ රටේ තියෙන මූල්‍ය අර්බුදයට පිළියමක් විදියට රාජ්‍ය සේවාවක විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 කිරීම හොඳ දෙයක් විදියට කිසිම කෙනෙක් දකින්නෙටි නෑ. ආයු කාලයත් එක්ක බැලුවාම ලෝකයේ තියෙන තත්වයත් එක්ක සේවය කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් මෙතැන තියෙන්නේ වෙනස් තත්වයක්. ආණ්ඩුව මේ වෙලාවෙ බලනවා රාජ්‍ය සේවකයෝ විශ්‍රාම ගත්තාම විශ්‍රාම වැටුපක් ගෙවන්න ඕනෑ. මේ ගෙවීම් අවුරුදු 5කට කල් දාපුවාම ඒක මූල්‍ය අර්බුදයට විසඳුමක් කියලා හිතනවා නම් ඒක හිතලුවක් විතරයි. ඒ වගේම රාජ්‍ය සේවකයන්ගෙ පහළ මට්ටමෙන් එන පීඩනය තව ටිකක් වැඩි වුණොත් මේ ඉදිරිපත් කරලා තියෙන යෝජනාවත් අකුලා ගන්න වෙයි කියන එක තමයි මගේ අදහස.
රෝහණ ද සිල්වා, සභාපති, පරිපාලන සේවා සංගමය
පරිපාලනසේවා සංගමය හැටියට අපි අපේ විශේෂ විධායක කමිටු රැස්වීමක් කැඳවලා මේ පිළිබඳ සාකච්ඡා කළා. මේ සාකච්ඡාවෙදී ධනාත්මක කරුණු වගේම සෘණාත්මක පැති ගණනාවක්ම ඉදිරිපත් වුණා. රාජ්‍ය සේවකයන්ගේ වයස් සීමාව 65 දක්වා දීර්ඝ කිරීම තුළ රාජ්‍ය සේවයේ අත්දැකීම් බහුල නිලධාරීන්ගෙන් තව දුරටත් සේවය ලබාගෙන අත්දැකීම් බහුල රාජ්‍ය සේවකයන් තවදුරටත් තියාගන්න පුළුවන් කියලා අදහසකුත් ආවා. ඒ එක්කම අවාසි ගණනාවක්ම කතා වුණා, මේ තත්වය තුළ රජ්‍ය සේවයේ තනතුරු පුරප්පාඩු වෙන්නෙ නැහැ ඊළඟ අවුරුදු පහ දක්වා. ඒ වගේම අලුතින් රාජ්‍ය සේවයට තරුණ තරුණියන් එක් වීම අවුරුදු පහකින් සීමා වෙනවා. රාජ්‍ය සේවයට බඳවා ගැනීම යම් හෙයකින් සීමා වුණොත් පරිපාලන සේවාවෙ තනතුරු 2800 නම් තියෙන්නේ මේ 2800න් ඊළඟ අවුරුදුවල පුරප්පාඩු වීමට නියමිත තනතුරු පුරප්පාඩු වෙන්නේ නැහැ. පුරප්පාඩු නොවුණාම අලුතෙන් බඳවාගැනීම් සීමාකරන්න වෙනවා. උදාහරණයක් විදිහට වයස අවුරුදු 28ට අඩු අයට විතරයි පරිපාලන සේවා විභාගය ලියන්න පුළුවන්. නමුත් මේ තත්වය තුළ පරිපාලන සේවයට එන්න බලාපොරොත්තුවෙන් සිටි අයගේ අවුරුදු 28 කියන සීමාව පනින්න ගන්නවා. එහෙම නම් තව අවුරුදු පහක් මේ වයස් සීමාවත් දීර්ඝ කරනවාද කියන එක විශාල ගැටලුවක්. අනිත් කාරණය තමයි ඉහළ තනතුරු පුරප්පඩු නොවීම මත තව අවුරුදු පහකට මේ අයට තමන් හිටපු තැනමයි ඉන්න වෙන්නේ. ඒක නිසා ඒ අය තුළ දැඩි කලකිරීමක් ඇතිවෙනවා ඒ අයගෙ අනාගත සේවා ගමන් මාර්ගය ඇහිරීම පිළිබඳව. නිශ්චිත කන්ඩායම් ගණනාවක් තුළ සේවා අතෘප්තියක් ඇති වෙන්න පටන් ගන්නවා. තරුණ වයසෙදි රජයේ රැකියාවක වගකීමක් දැරීමේ හැකියාව මේක තුළින් නැතිවෙලා යනවා. තවත් කාරණයක් තමයි සෑම සේවා ගණයන්ටම මේ තත්වය ගැලපෙන්නෙ නෑ කියන එක. උදාහරණයක් විදියට කම්කරු රස්සාවේදි ඕනෑ ගතේ හයිය. එතකොට අවුරුදු 18 කෙනෙක්ගෙන් කරන වැඩේ අවුරුදු 65 කෙනෙක්ගෙන් කරන්න පුළුවන්ද කියන එක. මේ වගේ බොහෝ කරුණු ප්‍රමාණයක් විශේෂ විධායක සභාවේදි සාකච්ඡාවට ලක් වුණා. ඒ අනුව අපේ විධායක කමිටු සාමාජිකයන්ගෙන් අනුකමිටුවක් පත් කළා. මේ සියලුම කාරණා සහ සාමාජිකයන්ගේ තොරතුරු එක්ක සතියක් ඇතුළත මේ පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා. ඒ වාර්තාව අනුව පරිපාලන සේවා සංගමයේ මතය අපි රජයට සහ ජනතාවට ඉදිරිපත් කරනවා.
අශෝක පීරිස්, හිටපු අමාත්‍යාංශ ලේකම්
ලෝකයේ වගේම ලංකාවෙත් ආයු අපේක්ෂා කාලය සහ සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු වෙලා තියෙන වටපිටාවක මිනිස්සුන්ට වැඩ කරන්න පුළුවන් කාලය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා රාජ්‍ය සේවය අවුරුදු 65 දක්වා වැඩි කිරීමේ ගැටලුවක් නෙමෙයි තියෙන්නේ. දැන් රාජ්‍ය සේවයේ 1369000 විතර ඉන්නවා. මම හිතන්නේ ලංකාවේ ජනගහනය අනුව මේ ප්‍රමාණය ඉතාම වැඩියි රාජ්‍ය සේවයට. මේ වගේ පිරිසක් නඩත්තු කරන්න ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වෙලාත් නැහැ. මේ සඳහා ආණ්ඩුව හරි වැඩපිළිවෙළක් සකස් කර ගත යුතුයි. රාජ්‍ය සේවය අවුරුදු 65ට වැඩි කරන එකේ මගේ කිසි විරෝධයක් නැහැ. නමුත් මේකත් අනිත් හැම දෙයක්ම වගේ බොරු ව්‍යාජයක් වගේම විශාල නොගැළපීම් තියෙනවා. මුදල් ඇමතිතුමාම එක් අවස්ථාවකදී රාජ්‍ය සේවකයෝ රජයට බර වැඩියි කියලා ප්‍රකාශ කරලා එතුමාම අවුරුදු 5කින් රාජ්‍ය සේවය දික් කරන්න කියනවා. මට කියන්න තියෙන්නෙ මේ ප්‍රකාශයන් සරුවපිත්තල ප්‍රකාශ කියලා තමයි. ඒවගේම මේ ආණ්ඩුවට රාජ්‍ය සේවය සම්බන්ධයෙන් කිසිම ප්‍රතිපත්තියක් නැහැ. මේ පිළිබඳව තීරණයක් ගන්න ඕනෑ රටට ගැළපෙන විද්‍යාත්මක ක්‍රමයකට රාජ්‍ය සේවය නැවත ප්‍රතිව්‍යුහගත කරන එකෙන්. රාජ්‍ය සේවකයා ගැන තීරණය කරන්න වර්තමාන මුදල් ඇමතිවරයාට සදාචාරාත්මක යුතුකමක් නෑ. මොකද එයා රාජ්‍ය සේවයේ ඉඳලාත් නෑ. ඒ ගැන කතා කරන්න ශාස්ත්‍රාලීය ඥානවන්තයෙකුත් නෙමෙයි. වර්තමාන මුදල් ඇමතිවරයාට වැඩ කරලා පළපුරුද්දකුත් නෑ.
රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම ගන්නා වයස් සීමාව වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රියද තම මුහුණු පොතේ ඔහුගේ පෞද්ගලික මතය එක් කොට තිබුණි. ‘රජයේ සේවකයන්ගේ විශ්‍රාමයෑමේ වයස අවුරුදු 65 කිරීමේ යෝජනාව පිළිබඳව මගේ පෞද්ගලික අදහස කුමක්දැයි මගෙන් බොහෝදෙනෙක් විමසති. මට මේ ගැන ඇත්තේ මිශ්‍ර අදහසකි.
අවුරුදු 60 න් ඔබ්බට සේවය කළ හැකි දක්ෂ හා යහපත් මානසික/ශාරීරික සෞඛ්‍යයෙන් යුතු විශාල පිරිසක් රජයේ සේවයේ සිටිති. එමෙන්ම මැතිවරණ රාජකාරිවලට කැඳවූ විට හෝ ස්ථාන මාරුවීමක් ලද විට ඉතා බරපතළ අසනීපවලින් පෙළෙන බවට වෛද්‍ය සහතික පවා ඉදිරිපත් කරන අවුරුදු 50 අවට රැසක්ද සිටිති. අනෙක් අතට පළපුරුද්ද, දැනුම, ප්‍රවීණතාව සහිත ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු, සරසවි මහාචාර්යවරු දැනටමත් වයස අවුරුදු 65 තෙක් සේවයේ නිරත වෙති. විශේෂඥ වෛද්‍යවරු (හා වෛද්‍යවරියෝ ද?) වයස අවුරුදු 60න් ඔබ්බට රජයේ සේවයේ නිරත වෙති. ප්‍රමාණවත් තරම් නිලධාරීන් නැති හා පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කරගත නොහැකි විට කොන්ත්‍රාත් පදනම මත විශ්‍රාමික රජයේ සේවකයන් වයස අවුරුදු 67 තෙක් සේවයේ යොදවා ගැනීමටද කලකට පෙර සිට ප්‍රතිපාදන තිබේග අනෙක් අතට විශ්‍රාම වයස ඉහළ දැමීමෙන් පුරප්පාඩු අඩුවීම නිසා තරුණ තරුණියන්ට රජයේ සේවයට ඇතුළු වීමේ අවස්ථාව අඩුවනු ඇත. එමෙන්ම සේවයේ සිටින මාණ්ඩලික නිලධාරීන්ට ඇතුළු බොහෝ සේවක කාණ්ඩවලට පුරප්පාඩු මත උසස්වීම් ලබාදෙන ඉහළ ශ්‍රේණිවලට (විශේෂ/අධි යනාදි ශ්‍රේණි..) පත්වීමට නොහැකිවීම බරපතළ ගැටලු ඇති කිරීමට හේතුවේ. තවද ජේ්‍යෂ්ඨතාව මත (හා අවශ්‍ය සුදුසුකම් සපුරාලීම මත) නිර්බාධිත උසස්වීම් තුළින් 1 පන්තියට ඇතුළත් වන සැමට එකී පන්තියේ තනතුරු ලෙස වර්ග කර ඇති නිල වාහන යනාදි පහසුකම් සහිත තනතුරු ප්‍රමාණවත් නොවන විට එකී නිශ්චිත තනතුරු ලබා ගැනීම සඳහා අප්‍රසන්න ක්‍රියාකාරකම්, දැකිය හැකි වනු ඇත.
මේ ගැන උනන්දුවක් දක්වන සැමගේ අදහස් කියවීමට කැමැත්තෙමි.
ආරක්ෂක හමුදා නිලධාරීන්ට නියම කර ඇති විශ්‍රාම ගන්නා වයස තවමත් අවුරුදු 55 යයි සිතමි.’
ඇන්තනී වෙරංග පුෂ්පික (අනිද්දා)