පොහොට්ටුවේ මහින්දානන්ද, තිස්සකුට්ටිආරච්ච් වගේ මන්ත්‍රීලා ඇයි තාමත් ගෑනුන්ට වම්බටු වගේ පරණ ජෝක් කරන්නෙ? උන් සෙක්සිසම් සම්බන්ධයෙන් පවා අප්ඩේටඩ් නැති, ඒකටවත් නිර්මාණශීලීත්වයක් නැති කට්ටියක් නේද? ඔය වම්බටු ගහල පලාගන්න කතාව මට මීට අවුරුදු 25කට විතර උඩදි පෙම්වතියක් තමයි කියල දුන්නෙ. එයා කිව්වෙ පොලක බඩු විකුණන්න කෑගහපු හැටි ගැන කතාවක්. ඒකෙ ඉතුරු කෑල්ල තමයි තව එක්කෙනෙක් කොහිලයි, කැකුළ මුලුයි විකුණපු හැටි. කෝ හිල… කකුල මුල…
ඔය වගේ සෙක්සිස්ට් කතා සමාජයේ තියෙනවා. ඒවා තියෙන්නත් ඕනැ. ඇම්ඩන්ගෙ කතාවල ඔයිට වඩා සෙක්සිස්ම් ඕනැ තරම් තියෙනවා. ෆේස්බුක්වල සමහරුන් ෂෙයාකරන ශිෂ්ට වගේ පේන විහිළු කතාත් එහෙමයි. සාහිත්‍යයෙත් සෙක්සිස්ම් තියෙනවා. ඩබ්ලිව් ජයසිරි ලියපු ලොරෙන්සෝද අල්මේදා සිංදුවෙත් එහෙම කෑලි තියෙනවා. “නෝනා මට අත වනනවා – අපි ඔක්කොම එයාට බෑ කියනවා.” ශෘංගාර සාහිත්‍යයේ මෙන්ම පොදුවේ කලාවේ සෙක්සිස්ම් අනුපානෙට වගේ තියෙන එකේ මම නම් වරදක් දකින්නෙ නැහැ.
පාර්ලිමේන්තු කතාවකදි කිසිම හේතුවක්, අදාළබවක් නැතුව කාන්තා මන්ත්‍රීවරියන්ට අපහාස කරන්නට සෙක්සිස්ම් භාවිතා කිරීම වරදක් වන හැටි තිස්සකුට්ටිආරච්ච්ට තේරෙන්නෙවත් නැහැ. ඔහු ඒ තරම් මුග්ධයෙක්.
සෙක්සිස්ම් කියන්නෙ අනවශ්‍ය පරිදි ලිංගිකත්වය මතුකර සිදුකරන වාචික හිංසනයක්. වම්බටු කරලේ තියෙන ශිශ්නයක් සමග ඇති සමානත්වය තමයි මහින්දානන්දලා තිස්සකුට්ටිආරච්ච්ලා කාන්තා මන්ත්‍රීවරියන් හමුවේ පවසන්නෙ. ඒකෙ කිසිම ඍජු අදාළත්වයක් ඒ මන්ත්රීනියන්ට නැහැ. ඒ නිසා මේ වම්බටු කතාව විවෘතවම අපි පිරිමි, අපට වම්බටු වගේ ලොකු ශිශ්න තියෙනවා කියන මෝඩ පිරිමි අහංකාරකමක ප්‍රදර්ශනයක්.
මේ වගේ චර්යාවන් තියෙන්නෙ මානසික ගැටලු සහිත අය ළඟ. සමහරවිට පුරුෂ ලිංගය ස්ත්රීන්ට පෙන්නා සතුටුවන විපරීතයනුත් මෙවැනි අය තමයි.හරවත් විහිළුවක් වුණත් කරන එක අමාරුයි. ඒකට නිර්මාණශීලීත්වය අවශ්‍යයි. ඒක නැති වාචාලකම පවා ඉවසන්න බැරිතරම් අප්පිරියයි. තිස්සකුට්ටිආරච්ච්ට වුණේ ඒක.
වාචාලකමෙත් ප්‍රභේද තියෙනවා. අඩුගානෙ විමල් වීරවංශ වගේ වාචාලයෙකු වෙන්න තිස්සකුට්ටිආරච්ච් උත්සාහ කළ යුතුයි.
කැස්බෑව හිටපු මන්ත්‍රීවරයකු වූ සෝමවීර චන්ද්‍රසිරි කවියා තමන්ට රැස්වීමකදී හූ කියූ තරුණ පිර්සකට සෙක්සිස්ට් පිළිතුරක් කවියෙන්ම ලබාදුන් ආකාරයයි.
කොල්ලෙකු උපන්නොත් නරියකු හට දාව
උපතින් උරුම වෙයි ඌටත් නරි හූව
එම්බල කොල්ලනේ අද මට හූ කීව
අම්මා ළඟට ගෙන ගොස් මකවන් හූව
අජිත් පැරකුම් ජයසිංහ– Praja.lk