සාක්ෂි අතේ තිබියදීත් ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවන්නේ ඇයි?

සාක්ෂි අතේ තිබියදීත් ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවන්නේ ඇයි?

ජනවාරි මාසය යනු ලෝකයේ බොහෝ රටවලට උත්සවකාරී ආරම්භයකි. ඒ සඳහා බොහෝ සූදානම් වීම් සිදු වෙයි. ශ්‍රී ලංකාවේ බහුතරයක් වූ සාමාන්‍ය ජනතාවට මෙවර උදා වී ඇත්තේ ජීවිතයේ කිසිදාකත් උදා නොවූ අපරිණත තීන්දු තීරණ නිසා ඇති වූ ජීවිත අරගලයකට මුහුණ දෙන්නටය. අත්තනෝමතික පාලනයේ ප්‍රතිවිපාක විඳින ජනතාවට නව වසර ගැන හිතනවාට වඩා එදිනෙදා ජීවත් වන්නේ කෙසේදැයි සිතමින් ලතැවෙන්නට සිදු වී තිබේ. මාධ්‍ය ක්‍රියාකාරීන්ට අනුව ජනවාරි මාසය යනු ''කළු'' මාසයකි. ජනවාරිය යනු ''කළු ජනවාරියකි''. එයට හේතුව, මාධ්‍යවේදීන්ට එරෙහිව සිදු වූ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා බලපෑම් කිරීමේ මාසය ලෙස ජනවාරි මාසය යොදා ගෙන තිබීමයි.

මාධ්‍යවේදීන්ට එරෙහිව සිදු වූ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට බලපෑම් කිරීමේ මාසය ලෙස ජනවාරි මාසය තෝරා ගෙන ඇත්තේ අනෙක් මාසවල අපරාධ සිදු නොවූ නිසා නොවේ. වසරේ සෑම මාසයක්ම ගත් විට මාධ්‍යවේදීන්ට එරෙහිව අපරාධ සිදු වී තිබේ. නමුත් බරබතල සහ වැඩිම සිදුවීම් ගණනාවක්ම සිදු වී ඇත්තේ ජනවාරි මාසයේදීය. සිරස මැදිරි සංකීර්ණය විනාශ කිරීම ( 2009 ජනවාරි 06), සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය (2009 ජනවාරි 08), සුබ්‍රමනියම් සුගීර්දරාජන් ඝාතනය ( 2006 ජනවාරි 24), ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම (2010 ජනවාරි 24), ලංකා ඊ නිවුස් කාර්යාලය ගිනි තැබීම (2011 ජනවාරි 30), රිවිර කර්තෘ උපාලි තෙන්නකෝන්ට ප්‍රහාරයක් එල්ල කිරීම (2009 ජනවාරි 23), ලාල් හේමන්ත මාවලගේට ප්‍රහාරයක් එල්ල කිරීම (2008 ජනවාරි 23) වැනි වර්තමාන යුගයට අයත් සිදුවීම් ගණනාවක් විසින් මාධ්‍යවේදීන්ගේ ජනවාරිය කළු කර ඇත.

අපගේ තොරතුරු ගොනු කිරීමට අනුව 1981 සිට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නිසා ඝාතනය වූ මාධ්‍යවේදීන්, මාධ්‍ය සේවකයින් හා සංස්කෘතික ක්‍රියාකාරිකයන්ගේ ගණන 115ක් පමණ වේ. (අදහස් ඝාතනයේ ගොදුරු කෘතිය - සීතා රංජනී - 2011) එම කාලය තුළ ඝාතන හැර ප්‍රහාරයන්ට ලක් වූ මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයින් සම්බන්ධයෙන් නිශ්චිත සංඛ්‍යා ගැන සොයා බැලීමක් කර නැත. එමෙන්ම අවසන් යුද්ධය අවස්ථාවේ යුද ගැටලුම්වලට ගොදුරුව මිය ගිය ජනතාව අතර යුද කළාපය තුළ ජීවත් වූ මාධ්‍යවේදීන් ද මිය ගිය බවට වාර්තා වුවද ඒ සම්බන්ධ නිශ්චිත තොරතුරු එකතුවක් නැත. නමුත් පසුගිය දශක දෙකක කාලය තුළ ඝාතනවලට අමතරව මාධ්‍යවේදීන්ට වූ හිරිහැර ප්‍රහාර සම්බන්ධයෙන් ඇති තොරතුරු සමුදාය වුවත් මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවල ස්වභාවය හා ප්‍රවණතා ගැන සාක්ෂි, ලෝකයට හෙළිදරව් කරයි.

මේ සටහනේ අරමුණ මේසා විශාල අපරාධ සංඛ්‍යාවකින් එකකට හෝ යුක්තිය ඉටු වී තිබේද යන්න ගැන විමසීමයි. ඈත අතීතය අත් හැරියත්, යුද කළාපය තුළ ගැටුමට මැදිව සිදු වූ ඝාතන ඇත්නම් ඒවා අත් හැරියත්, මෑත ඉතිහාසයේ අප දන්නා සිදුවීම් ලැයිස්තුව ගෙන බලන විට සෘජුවම මාධ්‍යවේදීන් ඉලක්ක කර සිදු කළ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට නොහැකි වූයේ මන්ද යන්න විමසිය යුතු කරුණකි. පරීක්ෂණ පැවැත්වීම සහ අධිකරණ ක්‍රියාමාර්ග සඳහා පොලිස් පැමිණිල්ලක් සහිත එවන් සිදුවීම් ලැයිස්තුවක් ගෙන බලමු.

සිදුවීම් ලැයිස්තුව - 2000 - 2015

ඝාතන

1. මයිල්වාහනම් නිමලරාජන්       ඝාතනය 2000.10.19

2. අයියාතුරෙයි ජී නඩේෂන්         ඝාතනය 2004.05.01

3. කන්දසාමි අයියර් බාලනඩරාජ් ඝාතනය 2004.08.16

4. ධර්මරත්නම් සිවරාම්               ඝාතනය 2005.04.28

5. රේලන්ගී සෙල්වරාජා  ඝාතනය 2005.08.12

6. සුබ්‍රමනියම් සුගීර්දරාජන්          ඝාතනය 2006.01.24

7. සම්පත් ලක්මාල් ද සිල්වා        ඝාතනය 2006.07.01

8. සුභාෂ් චන්ද්‍රබෝස්                   ඝාතනය 2007.04.16

9. සෙල්වරාසා රජිව්වර්මන්          ඝාතනය 2007.04.29

10. සහදේවන් නිලක්‍ෂන් ඝාතනය 2007.08.01

11. පරණිරූපසිංහම් දේවකුමාර්    ඝාතනය 2008.05.28

12. ලසන්ත වික්‍රමතුංග    ඝාතන   2009.01.08

අතුරුදහන් කිරීම්

1. සුබ්‍රමනියම් රාමචන්ද්‍රන්           අතුරුදහන් කිරීම 2007.02.15

2. ප්‍රගීත් එක්නැලිගොඩ               අතුරුදහන් කිරීම 2010.01.24

ප්‍රහාරවලට ලක්වූවන්

1. ටී.එම්.ජී. චන්ද්‍රසේකර  පහරදීම 2007.12.27

2. ලාල් හේමන්ත මාවලගේ        පහරදීම 2008.01.25

3. කීත් නොයාර් පැහැරගෙන යෑම/පහරදීම 2008.05.22

4. නාමල් පෙරේරා                     පහරදීම 2008.06.30

5. රදිකා දේවකුමාර්                    වෙඩි තැබීම 2008.09.08

6. උපාලි තෙන්නකෝන් පහරදීම 2009.01.23

7. එන්. විද්‍යාදරන්          පැහැරගෙනයාම/ පහරදීම 2009.02.26

8. පෝද්දල ජයන්ත        පැහැරගෙනයාම/ පහරදීම 2009.06.01

9. ඥාණසුන්දරම් කුගනාදන්        පහරදීම 2011.07.29

10. මන්දනා ඉස්මයිල්     තර්ජනය කිරීම   2013.08.23

මාධ්‍ය ආයතනවලට ප්‍රහාර

1 සුඩරෝලි පුවත්පත් ආයතනය -බෝම්බ ප්‍රහාරය 2005.08.29

2. උදයන් පුවත්පත් ආයතනය     ගිනි තැබීම/වෙඩි තැබීම් 2006.6.2/2013.04.13

3. සියත ආයතනය                     පහරදීම 2010.07.30

4. සිරස රූපවාහිනිය                   මැදිරි  විනාශ කිරීම 2009.01.06

5. ලංකා ඊනිවුස් ආයතනය          ගිනි තැබීම         2011.01.30

මෙම ලැයිස්තුවට ඇතුළත් සියලු සිදුවීම්වලට යුක්තිය ඉටු කිරීම සඳහා කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූලික පැමිණිලි සිදුව ඇත. මීට අමතරව අදාල කාල වකවානුව තුළ අදහස් ප්‍රකාශ කිරීම වැළැක්වීම අරමුණු කරගත් සෘජු ප්‍රහාර නිසා මාධ්‍ය සේවකයින් 12 දෙනෙක් ඝාතනය කර ඇත. ඉහත දැක්වෙන ලැයිස්තුවේ බහුතරය දෙමළ මාධ්‍යවේදීන් වූවා සේම, ඝාතනය වූ මාධ්‍ය සේවකයින් 12 දෙනාම දෙමළ ජාතිකයන් වේ. මීටත් අමතරව තවත් මාධ්‍ය සේවකයින් කිහිප දෙනෙකු ප්‍රහාරවලට ද ලක් වී ඇත. මාධ්‍යවේදීන් සෘජුව ඉලක්ක කර සිදු කළ ඝාතන නොවන හෙයින් ඉහත ලැයිස්තුවට අදාල කාලය තුළ  යුදමය හේතු මත බෝම්බ ප්‍රහාර ආදියට ඉලක්ක වී ඝාතනය වූ මාධ්‍යවේදීන් ඇතුළත් වී නැත. අත් අඩංගුවට ගෙන වදහිංසා ද පමුණුවා නිදහස් කළ (ජසීහරන්, වලර්මදී වැනි), විසි අවුරුදු සිර දඩුවම් නියම කර පසුව ජනාධිපති සමාව ලැබූ ( ජේ.එස් තිස්සනායගම්) සහ තවත් අය මෙම ලැයිස්තුවට එක් කර නැත. හේතුව, ඉහත කී ලැයිස්තුව යුක්තිය ඉටු කිරීමට මග කියන පෙර නිමිත්තක් සහිත ඒවා නිසා දණ්ඩ මුක්තිය ක්‍රියාත්මක වීමේ බරපතලකම එයින් වටහා ගැනීම පහසු වීමයි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධ පරීක්ෂණවලින් සැක කරුවන් ද හඳුනා ගෙන තිබියදී ඒවා අතර මඟ නතර වී ඇත. අතුරුදහන් වූ සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් හමුදා මුර පොළකදී අත්අඩංගුවට ගත්තේ මිතුරකු සමඟ යමින් සිටියදීය. අවසන්වරට අසවල්  හමුදා කඳවුරේ සිටින බව දන්වා ඔහුගේ නිවසට දුරකතන ඇමතුමක් දී ඉක්මනින් එන්න ලැබේයැයි ප්‍රකාශ කර ඇත. අදාල හමුදා කඳවුරට සහ තවත් වගකිව යුතු තැන්වලට ඔහු ගැන සොයා ගිය සහෝදරියට සහ පියාට සිදු වූයේ තමන් ද අතුරුදහන් විය හැකි බවට කළ තර්ජනවලට මුහුණ දෙන්නටය. සාමාන්‍ය පහර දීමක් නමුත් සාක්ෂි ඇස් පනාපිට  තිබියදී දණ්ඩ මුක්තිය ක්‍රියාත්මක වන බවට ප්‍රබල සාක්ෂියක් ටීඑම්ජී චන්ද්‍රසේකර සිදුවීමෙන් පෙනෙයි. ජාතික රූපවාහිනියේ තවත් සේවකයින් තිදෙනෙක් පසුව ප්‍රහාරවලට ලක් වූයේ මේ සිදු වීමේ දිගුවක් ලෙස බව කවුරුත් දන්නා දෙයකි. ටීඑම්ජීට පහර දුන්නේ රූපවාහිනියට කඩා වැදුණු එකල ඇමැතිවරයෙක් වූ මර්වින් සිල්වා ය. රූපවාහිනී සේවකයින් ඔහුව රඳවා ගෙන, එම සිදුවීම සජීවීව විකාශනය කළත් අද වන විටත් ඒ ගැන කිසිදු යුක්තිය ඉටු වීමක් නැත. හමුදා බුද්ධි අංශ සමඟ සම්බන්ධකම් පවත්වමින් වැරැදි මාධ්‍ය භාවිතාවක යෙදුණු බවට පසුව අනාවරණය වූ සම්පත් ලක්මාල් අවසන් වරට නිවසින් පිට වී තිබුණේ ඔහු නිතර සම්බන්ධා පැවැත්වූ මිතුරු හමුදා බුද්ධි අංශ නිලධාරියා සමඟ බව ඔහුගේ මව ප්‍රකාශ කර තිබුණි. ඇය සඳහන් කළ සම්පත්ගේ මිතුරු හමුදාවේ මහත්තයාගේ නම ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ සිද්ධියේදී ද කරළියට ආවේය. මන්දනා ස්මයිල් මාධ්‍යවේදිනියගේ නිවසට කඩා වැදුණු ආයුධ සන්නද්ධ කණ්ඩායමට සිය අවශ්‍යතාව ඉටු කර ගැනීමට හෝ ඇයට විපතක් කිරීමට හෝ හැකි වූයේ නැත. රාත්‍රියේ නිවසට ළඟා වූ ඇයගේ මාධ්‍යවේදී සැමියා, දුරකතනවලට පිළිතුරු නොදෙන නිසා, නිවසේ අමුතු යමක් සිදු වන බව දැන දුරකතන ඇමැතුමක් දී පොලීසිය කැඳවා තිබුණි. පොලීසිය සහ සන්නද්ධ කණාඩායම අතර වෙඩි හුවමාරුවෙන් කණ්ඩායමේ පුද්ගලයෙක් ඝාතනයට ලක් විය. මළ මිනියක් ලෙස සාක්ෂියක් අතේ ඉතිරි වුවත් එම සිදුවීම සම්බන්ධයෙන් ද කිසිවක් සිදු වූයේ නැත. 

ඉතිහාසය තුළ එකම එක නඩුවක් 2021 ජූලි මස 7 වැනිදා අවසන් විය. ඒ 2000 වසරේදී ඝාතනය වූ නිමලරාජන් සම්බන්ධ නඩුවයි. දිගු කලක් බහා තබා තිබූ එම නඩුව නීතිපති නියෝග මත අවසන් කරන ලද්දේ සැකකරුවන් ලෙස ඇප පිට සිටි හය දෙනා නිදොස් කොට නිදහස් කිරීමෙනි. නිමලරාජන් මරා දැමූ කෙනෙක් නැත. මේ ආකාරයටම ධර්මරත්නම් සිවරාම් ඝාතන නඩුව ද බහා තබා ඇති එකකි. එය අවසන් කරන්නේ කෙසේද, කවදාද නොදනිමු. පසුගිය යහපාලන සමයේ, ප්‍රගීත් එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග වැනි පරීක්ෂණ ආරම්භ වූ සිදුවීම් කිහිපයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කොට ඔවුන්ට රැකියා ද ලබා දීමට කටයුතු කළේ දේශපාලන අධිෂ්ඨානය පෙන්නුම් කළ රජයක ප්‍රධානියා ය. අනෙක් සියලු අපරාධ සම්බන්ධ පරීක්ෂණවත් ආරම්භ වන බවට ඉඟියක් හෝ ලබා ගැනීමට මේ වන විටනම් කිසිදු හැකියාවක් නැත.

 මේ සියල්ලෙන් පෙනී යන්නේ මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඇසට පෙනෙන, සහ ඔප්පු කළ හැකි සාක්ෂි තිබුණත් අපරාධකරුවන්ට නිදැල්ලේ සිටීමට හැකි වී ඇති බවයි. අපරාධකරුවන්ට තමන් කළ අපරාධවලින් නිදහස්ව සිටීමට හැකි අතර, ඒ අපරාධකරුවන් රාජ්‍ය පාලනයත් එක්ක ගැටගැහුණු අය වන බව දන්නා මාධ්‍ය සමාජයට සිදු වන්නේ තමන්ට ස්වයං වාරණ දමා ගෙන වැඩ කරන්නටය. දණ්ඩ මුක්තිය ක්‍රියාත්මක වීමේ අවදානම එයින් පටන් ගෙන මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝණය කිරීම බරපතල කිරීමට හේතුවක් වන බව විශේෂයෙන් කිව යුතු නොවේ.

හේග් නුවර ජනතා අධිකරණයේදී ජනවාරි 12, සහ 13 යන දිනවල සාක්ෂි විමසීමට නියමිතව තිබී කොවිඩ් නිසා අප්‍රේල් මස දක්වා කල් තබා ඇති, ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුව ජාත්‍යන්තර අධිකරණයට ගොස් ලැබෙන යුක්තිගරුක තීන්දුවකින් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් අඛණ්ඩව ක්‍රියාත්මක වන දණ්ඩ මුක්තිය සම්බන්ධයෙන් ලෝක අවධානය ලැබෙනු ඇතැයි විශ්වාස කරමු. එමෙන්ම මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමටනම් ඒ සඳහා දේශපාලන අධිෂ්ඨානයක්ද අවශ්‍යය. ඒ දේශපාලන අධිෂ්ඨානය සහිත දේශපාලනයක් අපගේ ජීවිත කාලය තුළ දකින්නට ලැබේද? ඒත් අපට ඒ සඳහා දිගටම බලපෑම් කිරීමට සිදු වී තිබේ.

සීතා රංජනී (عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته. ) අනිද්දා