මාතෘත්වය පූජනීයත්වයෙන් පිළිගන්නා රටක කාන්තාවන්ට වෙනස් කොට සැලකීම්වලින් තොර සමාජයක් ගොඩනැගිය නොහැකිද?
ලෝකයට ජීවය දෙන්නියද, ලොවට හැඩයක් දෙන්නියද, ලොව සුන්දර කරන්නියද, ලොවට පෙම්කරන්නියද ඇයයි. එනිසාම ශ්‍රී ලංකාව මාතෘත්වය පූජනීයත්වයෙන් පිළිගන්නා රටක් බවට පත්ව ඇත. එය එසේවුවද මාතෘත්වයට ලබාදෙන උසස් පිළිගැනීමෙන්, සමාජය තුළ සමස්ත ස්ත්‍රී ප්‍රජාවට රැකවරණයක් ලැබෙන බවක් පෙනෙන්නට නැත.
මනුෂ්‍ය වර්ගයාගේ තිරසර පැවැත්ම රඳා පවතිනුයේ, සවිබල ගැන්වුණු කාන්තා සංහතියේ ශක්තිය මත බව අප සැවොම පිළිගන්නා කරුණකි. දියුණු, ශිෂ්ටසම්පන්න සමාජයක් ගොඩනැංවීම උදෙසා ස්ත්‍රී පුරුෂ සමාජභාවය සවිබල ගැන්වීම සහ කාන්තාව ඒ සඳහා දායක කරගැනීමේ වැදගත්කම කෙරෙහි සමාජයක් ලෙස දැන් අපගේ අවධානය යොමුව ඇත. 2030 වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය අත්පත් කරගත යුතු තිරසර සංවර්ධන ඉලක්කවල පස්වැන්න ලෙස දක්වා ඇත්තේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහතික කිරීම සහ කාන්තාවන් හා ගැහැණු ළමයින් සවිබලගැන්වීමයි. ඒ තුළ විශිෂ්ඨ කාර්යභාරයක් ඉටු කරනු සඳහා කාන්තාව දිරි ගැන්වීමට බල ගැන්වීමට සුදුසු ස්ථිරසාර පරිසරය නිර්මාණය කිරීම මේ මොහොතේ අපට පැවැරී ඇති ඓතිහාසික වගකීමකි.
රට තුළ තිරසාර සංවර්ධනය තහවුරු කිරීමේ උත්සාහයේ දී ශ්‍රී ලාංකික කාන්තාවගේ අනන්‍යතාව, ආරක්ෂාව මෙන්ම සංවර්ධන ක්‍රියාදාමයට සක්‍රීයව හවුල්වීමේ සහ මෙහෙයවීමේ අවස්ථාව කාන්තාවට ලබාදීම වෙනුවෙන් මැදිහත්ව සක්‍රීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. ඒ වෙනුවෙන් පෙළගැසෙන, හඩනගන සමාජයක් බිහිකරගැනීමට මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේදී අදිටන් කරගනිමු.
විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ (පා.ම)
ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය