ගෙවුණු තීරණාත්මක අරලිය මන්දිර ප්‍රහාරය දියත් වූ දින මා යාපනය දෙසට ගමන් කරමින් සිටියෙමි. ඒ තවත් ප්‍රකට සමාජ ක්‍රියාකාරිනියන් දෙදෙනෙක්ද සමඟිනි. අනුරාධපුරය පසුකල සැණෙන් නොනැවතී අපගේ ජංගම දුරකථන ආක්‍රමණය කල සමාජ ජාල මාධ්‍ය වේදිකා ඔස්සේ අනවරතයෙන් ගලා ආවේ සුර - අසුර යුද්ධයක් ඇරඹීමට ආසන්න බවයි. අසුරයන් එන්නේ රජ මැදුරු බිතක්කනේ සිටය. එකම විකල්පය අසුරයන් නැවැත්තීමයි. ඒ අල්ල පනල්ලේ රේඛා කහඳගම නම් කාන්තාවකගේ සෙල්ෆියක්ද දුටුවෙමි. ඇයට අනුව 'මයිනාගෝගම' ෆ්ලැට්ය. 'ගෝඨාගෝගම' වාෂ්ප වීමට ආසන්නය. ඇය කොළඹ මහනගර සභාව සඳහා තෝරා පත්කරගන්නා ලද සභිකාවියක් බව පසුව දැනගතිමි.
එකෙනෙහිම දුටු චන්ද්‍රිකා ජායාරුපයක් මගින් සනාථ වූයේ ගාලුපාර හරස්කොට තබන මාර්ග බාධක දෙකතුනකින් පෝටෑවක් සේ ගලාඑන අසුරයෝ නැවැත්විය හැකි බවයි. එහෙත් අප පසුපස ආසනයේ සිටි යුවතියක් පැවසූ වදනින් අපි තිගැස්සුනෙමු. දේශබන්ධු තෙන්නකෝන් 'මයිනාගෝගම' සහ 'ගෝඨාගෝගම' අතරමැද පිරිස් හසුරුවන්නේය. ඔහුගේ සරල හා සැහැල්ලු භාවිතාව හමුවේ අප දුටුවේ ශ්‍රී ලංකා -පකිස්තාන් ක්‍රිකට් තරඟයක් නැරඹීමට ඛෙත්තාරාම ක්‍රීඩාංගණය වෙත ඇදීයන ජනතාව දෙස බලා සිටින පොලිස් කොස්තාපල්වරයෙකුගේ වේශයකි. අයුතු ජනරාශියක් වැලැක්වීමේ තමන් සතු නිලවරම මතු නොව තමන් මුළු දිවයිනටම බලපාන ලෙස ක්‍රියාකළ හැකි සාම නිළධරයෙක් බව ඔහුට අමතක වූ සෙයකි.
ඔහුට නොදැනුණු එහෙත් අපට දැනුණු භය සංත්රාසය නිමක් නැති බැවින් කලක් අප ගෞරවනීය මිතුරෙක් හා නිළධරයෙක්ව වැජඹුණු සී. ඩී. වික්‍රමරත්න මහතා ඇමතුවෙමු. ඔහු නිහඬය. දැන් අසුරයෝ ගාළුමුවදොරට වැදී එහි ඇටවුම් සියල්ල ආලපාළු කරන්නේය. පසුව අප සුමිතුරු රජයේ ඉහළ නිළධරයෙක් වෙතින් ඉල්ලා සිටියේ වහා පොලිස්පති අමතන ලෙසයි. පිළිතුර අපේක්ෂා කල එකමය. ඔහු එක්කෝ නිදිය -නැත්නම් චේතනාන්විත නිහඬබවක ගිළිලාය. පුදුමත් නැත. තෙන්නකෝන්ලා -රෝහණලා මෙතුවක් කලක් වංගු ගසද්දී ඔහු සිටියේ හිම කිරම රස බලමින් විය හැකිය. පසුව අප ඔහු වෙත කෙටි ඇමතුම් තුනක් යොමු කළෙමු. එහි සරලාර්ථය වූයේ ඔහුගේ දිවියේ ගන්නා තීරණාත්මක තීන්දුව මෙය බවත් ඊට නොපැකිලෙන ලෙසත්ය.
එහෙත් සියල්ල සිදුවූයේ පුර්ව සැළසුමකට අනුව බව පෙනී යයි. පොලීසිය පිළිබඳ දනන් තුඩග රැව් දෙන හාස්‍යමය ප්‍රකාශයක් මෙහි බහාලමි. ඒ මෙපරිදිය.
''මමියක් ලෙස සැරසුණු පුද්ගලයෙක් දකුණු දකෝටාවේ (ඇමෙරිකාවේ පිහිටි එක් පෙදෙසක්) කැසිනෝ හලක් මංකොල්ල කෑවේය. පොලීසිය සැකකරු පිළිබඳව විස්තර කරන ලද්දේ මෙලෙසිනි. වසර 25 ත් - 8,000 ත් අතර වියේ පසුවන්නෙකි''.ශ්‍රී ලංකා පොලීසියද බොහෝ විට මෙබඳුය. දෘශ්‍යමානයේ ඇති නපුර දෙස නොබලා අනාගත විපත වෙනුවෙන් දරදිය අදින්නේය. එබඳු පොලිස්කාරයෙක් හා අප සලරුවක දුටු පුණ්‍යසෝම අතර වෙනස කිම?
මා අහිංසක ශ්‍රී ලාංකේය පුරවැසියෙක්මි. දැනුම්වත්ව රජයට එකදු රුපියලක හෝ අලාභයක් කර නොමැත්තෙමි. එබැවින් අප සුරැකීමට දිවුරුම් දී රාජ්‍යය උසුලන්නෝ අපගේ ගැලවුම්කරුවන් යැයි අපි සිතන්නෙමු. එනයින් අප වසන බස්නාහිර පළාත්බද ආරක්ෂාව දරන දේශබන්ධු තෙන්නකෝන්ගේ චර්යාව අප සුරකින එකක් යැයි වරනැඟිය හැකිද? තමන් සතු අවම හෝ අවශ්‍ය වේවා කවර බලයක් හෝ නොයොදා මහා රුහිරු ගඟක් ගලායන ඊළඟ නිමේෂය තුළ ක්‍රියා නොකර හිටි පිළිම ගානට සිටිය හැක්කේ දුටු දුටු එකා තැරි ගහන සොම්බි වරයෙකුට හැර වෙන අන් කාටද? මීට දශකයකට පෙර මර්වින් ක්රෙන් කරළියට ගෙනා 'Rammbock: Berlin Undead aka Siege of the Dead' ඔබට මතකද? එනයින්ම නගර ගම් දනව් ගිනි තැබිය හැකි ප්‍රතිප්‍රචණ්ඩත්වයක් හමුවේ ලේ ගංගාවක් ගලාගොස් පොදු දේපොළ ගිනිබත් වූ භිෂණයක් අභිමුව සනත් නිශාන්ත වැනි නගරංකරුවන් හා හැල්මේ ගමන් යන දේශබන්දු ඉහත සලරුවේ දෘශ්‍යමාන ගනයේ අපත සොම්බියෙක් විය නොහැකිද?
ඔහු පිළිබඳ යම් ප්‍රමාණාත්මක තක්සේරුවක් වෙත එළඹෙන්නේ නම් ඔබ එය ඇරඹිය යුත්තේ පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයෙනි. ඒ ඔහු තම පළමු රැකියාව කල තැන සිරිකොත බැවිනි. ඉන් උගත් දේශපාලන ජිමික් ඔහු අද මෙන්ම හෙටද උරගා බලනු නියතය.
දේශපාලකයන් හා රමණය මෙන්ම දේශපාලකයන් වෙත වැරදි දිශානති පෙන්නීමද ඔහු කිසිදා අත්නොහළේය. වරක් වජිර අබේවර්ධනට කනිපින්දම් කියා තමන් පොදුජන පෙරමුණ හමුවේ දේශපාලන පළිගැනීමකට ලක්වුණා යැයි සහතික ලත් ඔහු ඊට වසර කිහිපයකට පසු ප්රතිපාක්ෂික දේශපාලන පක්ෂයේ ගැලවුම්කරුවා වීම කවරනම් අසිරිමත් පුවතක්ද? මැතිවරණ ප්රචණ්ඩත්වය වරින්වර මතුවූ වසර 2011 පැවති පළාත් පාලන ජන්ද විමසීමේදී ද දේශබන්දුගේ භූමිකාව තීරණාත්මක එකක් විය. මා මැතිවරණ නිරික්ෂකයෙක්මි. එබැවින් මා සිතන හා පතන කරුණ නම් දුමින්ද සිල්වා යම් නොසන්සුන්තාවක් අරඹන මොහොතේ ආසන්නයේ දැවටුණු දේශබන්ධු පොලිස් අධිකාරීවරයෙක් ලෙස තමන් සතු බලය නිසි ලෙස උපයෝගී කරගත්තේ නම් භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද අද ද දිවමන් බවයි. දේශපාලන ප්රචණ්ඩත්වය කෙරෙහි ආශක්ත යම් පර්යේෂකයෙක් වේනම් එකී මිනිස් ඝාතනය හා සබැඳි පොලිස් භූමිකාව නිසි සමාලෝචනයකට ලක්කිරීම වෙසෙස් කරුණු සමුදායක් සොයා ගැනුමේ මහරු මඟක් වනවා නොඅනුමානය.
එකී මැතිවරණය හා සමගාමිව සිදුවූ සිද්ධි දාමය අපූරුය. වරෙක විමල් විරවංශ මෙන්ම සුසිල් ප්‍රේමජයන්ත යන දෙදෙනාටම තම ආධාරකරුවන් හා එක්ව දැවැන්ත රථ පෙළපාලියක් යෑමේ දේශපාලන දොළක් පහළ විය. එය මහජන සාමයට බාධාවක් බැවින් වහා නතර කල යුතු යැයි යන්න මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම විය. එහෙත් කවදත් අවරගණයේ දේශපාලන උපක්‍රම අත්හදා බැලු විමල් ඔහුගේ අනුගාමිකයන් රොත්ත රැගෙන තම මුල් දේශපාලන පක්ෂයේ මුලස්ථානය වූ පැලවත්ත වෙතම පැමිණියේය. එය පාලනය භාරව සිටියේ දේශබන්ධු තෙන්නකෝන්ය. මාගේ මතකය නිවැරදි නම් එවකට මැතිවරණ කොමිසමේ වගකීම දැරූ මහින්ද දේශප්‍රිය මහතා ඔහුගෙන් මෙන්ම එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන්ද කාරුණිකව ඉල්ලා තිබුණේ මේ පෙළපාලි ද්විත්වයට අවසර නොදෙන ලෙසයි.
එහෙත් අනෙක් පෙළපාලියේ ගමන් මඟ නවතාලීමට එහි ආරක්ෂාව භාරව සිටි පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා සමත් විය. පෙළපාලියේ ගමන්කලවුන් එකාදෙන්නා සංසුන්ව පැමිණ එවකට කඩුවෙල පුරපති බුද්ධදාස මහනගර සභා පරිශ්‍රයේ පිරිනැමූ පාතරාසය සුවචව හා කීකරුව ගිල දැමුවේ වෙන අන් කිසිවක් නිසා නොවේ. මැතිවරණ කොමිසමේ අණ නිසිලෙස ක්‍රියාවට නැඟූ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා නිසාය. ඔහු අද ද යහපත් පොලිස් නිළධරයෙක්ව මාතර රාජකාරි කරන්නේය.
මෙය ඉතා දිගු කතාවකි. කෙටියෙනි පැවසුවේ. කතාවේ පුර්වාපර සන්ධි නොගැලපෙන්නේ නම් ඒ සිදුවීමේ කාලය දිග බැවිණි. මහින්ද දේශප්‍රිය මහත්මාට වුව අප නිවැරදි කල හැක්කේය. එහෙත් කතාවේ හරය කුමක්ද? දේශපාලකයන් පසුපස නොගිය නිශාන්තගේ පෙළපාලියේ සංසුන්කම පෙන්වීම හා දේශපාලන මාස්ටර්ලා කඩේ යැවීමේ පිකාසෝ කෙනෙක් වන දේශබන්ධුගේ අතීත පැටිකිරිය තුළ සිදුවූ විනාශය සිහිකිරීමයි. වසර 2011 නිකුත්ව ඇති පළාත් පාලන ආයතන ජන්ද විමසීම් වාර්තා සහ එවකට හුවමාරුවී ඇති මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානගත ලේඛන හා දේශපාලන පක්ෂ නිත්‍ය සාමාජික හමු වාර්තා පරිශීලනයෙන් වැඩිදුර කරුණු උගත මනාය.
මෙම කෙටි සටහන අවසන් කරන්නට මා එක් සුවිශේෂී දෙබසක් තෝරා ගන්නෙමි. එය සොරගත්තේ වසර 1940 දී පමණ සිසිල් බී. ඩිමෙල්ලි නිපැයූ ''North West Mounted Police'' චිත්‍රපටයෙනි. එහෙත් එය සිංහලට පරිවර්තනය නොකරන්නෙමි. ශ්‍රී ලංකා පොලීසිය පිළිබඳ සිහිකරගනිමින් ඔබට අවැසි පරිවර්තනය කරගනු යෙහෙකි.
“- Louis Riel: Blood will run like water.
- Jacques Corbeau: You won't notice it much. The mounted police wear red coats.”
එක්කෝ අපේ දැක්ම දුලබය. නැත්නම් පොලීසිය මරුය. කුමාර හෙට්ටිආරච්චි නම් අපේ කාලයේ සුකුමාර කවියා කියූ ලෙසම අපි සිටින්නේ දූරියන් ගසක් පාමුල භද්‍ර කල්පයක් ගෙවමිණි. අපේ දේශපාලන පොලීසිය අපිට අපේ පුරවැසි දිවිය එපා කරමින් සිටින්නේය.
| මංජුල ගජනායක