ලංකා වතු සේවා සංගම් නායකයාගේ අත්දැකීම්
2018 වසරේ එවකට පැවැති යහපාලන ආණ්ඩුව විසින් කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. එදා ශිෂ්‍ය ප්‍රජාව ප්‍රමුඛව අධ්‍යාපනයට සම්බන්ධ සියලූ පාර්ශවයයන්ද, බුද්ධිමතුන් සහ ප්‍රගතිශීලී බලවේගද, ඊට එරෙහිව නැඟී සිටියේය. පනත් කෙටුම්පත හකුළා ගන්නට ආණ්ඩුවට සිදු විය. එදා කොතලාවල පනතට එරෙහි වූවන් අතරේ වර්තමාන රජයේ නායකයින්ද විය. 2021 වසරේ නැවත එම කෙටුම්පත පාර්ලිමේන්තුව හමුවට ගෙන එන්නට එදා ඊට එරෙහි වූ වත්මන් රජය කටයුතු සූදානම් කළේය. ඊට එරෙහිව යළි අරගල බිමට බසින්නට ශිෂ්‍ය සංවිධාන, වෘත්තීය සමිති, සහ සිවිල් ක්‍රියාකාරිකයින්ට සිදු විය. ඒ නිදහස් අධ්‍යාපනය වළලා දමා පෞද්ගලික අධ්‍යාපනය පෙරට ගැනීම වළක් වන්නටය.ආණ්ඩුව අධ්‍යාපනය මිලිටරීකරණය කිරීමට ගත් උත්සාහය පරාජය කරන්නටය.
නිදහස් අධ්‍යාපනය යනු කිසිම ආකාරයක කොන්දේසියකට යටත් නොවී සදා රැකගත යුත්තක් බව යළි යළිත් පෙන්වා දියයුත්තක් නොවන බව අවධාරණය කළ යුතුය.ජනතාවගේ ජීවිතය තම හැකියාවන් තුළින් ඉදිරියට රැගෙන යන්නට මග පෙන්වූයේ නිදහස් අධ්‍යාපනය විසිනි. තම ජීවිත ඉරණම වෙනස් කිරීම සඳහා එමෙන්ම සමාජ සංවර්ධනය උදෙසා මග කියාදුන් නිදහස් අධ්‍යාපනය අනාගත පරපුර වෙත ඒ අකාරයෙන්ම සුරක්ෂිත කර දීම අප ඉදිරියේ ඇති පැහැර හැරිය නොහැකි සමාජ වගකීමකි. ගෝලීය වසංගතයේ තෙවැනි රැල්ල පැතිර යමින් තිබූ මොහොතේ ජනතාව භීතියෙන් තැතිගෙන සිටියදී, කොරෝනා ව්‍යසනයට මුවාවී මේ පනත සම්මත කරගැනීම ආණ්ඩුවේ අරමුණ විය.
අගෝස්තු 3 කොවිඩ් වසංගතයේ තෙවැනි රැල්ලේ භීතිය රටපුරා පැතිර යමින් තිබූ මොහොතක පාලකයන් තම අරමුණ දියත් කිරීම පිණිස හොඳම වෙලාව තෝරාගෙන තිබුණි. "උද්ඝෝෂණ එපා කොරෝනා පැතිරෙනවා" කියා ජන මනසට කාවද්දමින් තම සැඟවුණු අරමුණුවලට ජනතා විරෝධය එල්ලවීම වළක්වන්නට අවස්ථාව සටකපට ආකාරයෙන් ප්‍රයෝජනයට ගන්නට පාලකයින් සූදානම් විය. මෙරට ශිෂ්‍ය ව්‍යාපාරය ප්‍රමුඛ ප්‍රගතිශීලී බලවේග මෙම අනතුර හඳුනා ගනිමින් අරගලය මුවහත් කරමින් සිටි අතර අගෝස්තු 03 සටන ඇවිලෙන්නේ මෙම කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ සම්මත කරගැනීමට ගත් උත්සාහයට විරුද්ධවය. එදින පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුම ඉදිරිපිට ශිෂ්‍ය ව්‍යාපාරය වෘත්තීය සමිති බහුජන සංවිධාන සහ වෘත්තිවේදීන් එක්ව දැවැන්ත පෙළපාලියක් සහ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි. ඊට ලංකා වතු සේවා සංගමයද සාමාජිකත්වය ලබා ඇති "නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරය" නායකත්වයදී තිබුණි.
අපේ ජීවිත වලට ආලෝකය ගෙනා නිදහස් අධ්‍යාපනය විශේෂයෙන් ග්‍රාමීය හා වතු ආශ්‍රිත අඩු ආදායම් ලබන ලකෂ සංඛ්‍යාත ජනයාගේ දරුවන්ට සමාජයේ හිමිවිය යුතු තැන ස්පර්ශ කිරීමට ඇති අවස්ථාව විනාශ කරනවිට, සමාජ සංවර්ධනයේ ඉදිරිගාමීත්වයට අගුළුදමා යහපත් සමාජයක් වෙනුවෙන් කැපවූ අපට එය ඉවසා දරාගැනීමට පුළුවන් කරුණක් නොවුණි. ලංකා වතු සේවා සංගමයේ මේ අරගලයට මැදිහත් වන්නේ ඒ අයුරිනි. පාලකයන් වෘත්තීය සමිති යනු බඩ වඩාගන්නන්ගේ රංචු ගැසීමක් යැයි සමාජගත කරමින් එය හුදු ආර්ථීකය ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටින බව ඒ්ත්තු ගන්වමින් සමාජ මතයක් නිර්මාණය කරමින් සිටි අතර සමාජ අත් දැකීම් අඩු ඊට ගොදුරු වූ පිරිස් අප අතරද නැතුවා නොවේ. ස්වාර්ථය වෙනුවෙන් පෙනීසිටින පටු ඉල්ලීම් වෙනුවෙන් පමණක් සංගමයේ කටයුතු මෙහෙයවීමට යොමු කිරීමේ සූදානම සහිත ප්‍රතිගාමී අදහස් වලද අඩුවක් නැත. ඒ මත දරන්නන් වෘත්තීය සමිතියකට ඇති සමාජමය වගකීම අමතක කරමින් සිටී.
එහෙත් අමතක නොකල යුතු මූලධාර්මික ප්‍රතිපත්තීන් ගැන නැවත කියවන්නැයි අපි ඔවුන්ගෙන් ඉල්ලමු. වෘත්තීය සමිති යනු "සාමාජිකයන්ගේ සමාජ, ආර්ථීක, දේශපාලන උවමනාවන් වෙනුවෙන්" පෙනී සිටින ව්‍යාපාරයක් ලෙස හුදු ආර්ථීක ඉල්ලීම් වෙනුවෙන් පමණක් පෙනී නොසිටි අපේ සංගමයේ නායකයන් ඉතිහාසය පුරා එය නැවත නැවතත් ඔප්පු කර අවසන්. එකී ඓතිහාසික ගමන් මගෙහි මේ මොහොතේ සමාජ කාර්යභාරය වෙනුවෙන් අප පෙනී සිටියෙමු. එකී අනතුරුදායක අතිදුෂ්කර මාවත දැනුවත්ව බොහොම කැමැත්තෙන් තෝරා ගන්නට අප පැකිළුණේ නැත.
අදහස් දැක්වීම, උද්ඝෝෂණ කිරීමේ අයිතිය මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අපට ලැඛෙන මූලික අයිතියකි. අපි එදා පාවිච්චි කළේ ඒ අයිතියයි. එහෙත් පාලකයින් විසින් අසත්‍ය චෝදනා එල්ල කර එකී අයිතිය අපෙන් උදුරගෙන අප මර්දනය කර තම අරමුණු කරා යන්නට ඔවුන් උත්සාහ කළේය. එදා වගේම අදත් නිදහස් අධ්‍යාපනය රැකගන්න අපි දිවිහිමියෙන් සටන්වදින බවත් නූපන් පරපුරක අයිතිය මිහිදන් කිරීමට ඉඩ නොදෙන බවත් මේ පනත හකුලන ගන්නා ලෙසත් අපි බල කළෙමු. මේ අදහස් පාලකයන්ට ඉවසුම් නොදෙන්නට ඇත.
විරෝධතාවයට පසුව නිවෙස් බලා ගිය ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් හා වෘත්තීය සමිති නායකයන්ගේ නිවෙස්වලට කඩා වැදුණු පොලීසිය කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණ. මර්දනයේ ගොදුරු බවට පත්කර ගැනීමට සැකසුණු ලයිස්තුවේ මගේ නම ද සඳහන්ව තිබිණි.
පොලීසියේ අත්තනෝමතික හැසිරීම පාලකයන්ගේ මර්දනීය වුවමනාවේ නියෝජනයක් බව පැහැදිලිව පෙනෙන්නට විය. කොරෝනා රෝගීන්ගෙන් රෝහල් පිරි ඉතිරී පැවතිණි.බන්ධනාගාර තුළද අති විශාල රෝගීන් පිරිසක් විය. තලංගම පොලීසිය ඇතුළු පොලිස් ස්ථාන 7ක නිලධාරීන් සහ රාජ්‍ය බුද්ධි කොට්ඨාශ මගේ නිවසට, රැකියා ස්ථානයට, ඥාතීන්ගේ සහ මිතුරන්ගේ නිවෙස් වෙත පැමිණ සෝදිසි කොට තිබුණි. ඔවුන්ගේ වුවමනාව දැඩි මර්දනයක් තුළින් අප නිහඬ කිරීම බව දැනෙන්නට විය.එකී අරමුණු ඉටු කිරීමට අප සම්බන්ධ නොවිය යුතු බව ගත් තීරණය මත ආරකෂාකාරීව කටයුතු කරන්නට අප තීරණය කළෙමු. අත් අඩංගුවට පත් ශිෂ්‍ය, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පස්දෙනෙකුට මාස 3කට අධික කාලයක් ඇප ලබා නොදීමට පොලීසිය හරස් වුණේ සාධාරණ හේතු නොමැතිව පාලකයන්ගේ වුවමනාව වෙනුවෙනි.
ආරකෂිතව ගත කල කාලය අති දුෂ්කර අත්දැකීමක් විය. ආදරණීය බිරිඳ සහ දරුවන් සමග ගතකල ජීවිතය මගෙන් උදුරගෙන තිබිණ. මේ පාලකයන් මට ලබාදී තිබූ ප්‍රමුඛතාව ගැන හිතන විට මගේ මැදිහත්වීමේ ප්‍රමාණය ගැන ලැබුණු තක්සේරුව නිසා මා තවතවත් ශක්තිමත් වූ අතර මගේ ආරක්ෂාව වෙනුවෙන් සංගමය, මිත්‍රයින්, සහෝදර වෘත්තීය සමිති හා බහුජන නායකයින් මෙන්ම වෘත්තිකයන් ද වෙහෙස නොබලා මැදිහත් විය.ආණ්ඩුව තුළද ප්‍රගතිශීලී අමාත්‍යවරුන් සහ මහජන නියෝජිතයන්ගේ මැදිහත්වීම මම බලාපොරොත්තු නොවූ තත්ත්වයක් විණි.ජාත්‍යන්තර වෘත්තීය සමිති මධ්‍යස්ථානය, මානව හිමිකම් මධ්‍යස්ථානය, යුරෝපා සංගමය අප වෙනුවෙන් මැදිහත් වූ අතර මේ නිසාම නිරුපද්‍රිතව නිදහස් අවකාශයන් සලසා ගන්නට හැකි
විය.
මේ කාලය තුළ බොහෝ පත පොත කියවීමට ලැබුනු අවස්ථාවෙන් ලබා ගත් දැනුම අනාගතය සඳහා දැවැන්ත ආයෝජනයක් වනු නිසැකය.
මේ මර්ධනය අගෝස්තු 03 සිදුවීම මත පාදක වූවක් නොවන බව පැහැදිළිය. පසුගිය කාලය තුළ රට පුරා ජනතාවගේ සම්පත් විකිණීමට විරුද්ධව, අයිතීන් උදුරා ගැනීමට විරුද්ධව, කෘෂිකර්මාන්තය බිඳවැට්ටීමට එරෙහිව අප කල මැදිහත්වීම පාලකයින්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්ධනයට ඉවහල්වූ බව නොරහසකි. මේ පාලනයේ පළමු ගොදුරු බවට අප පත් වුවද අරගලයට අගුළු දමන්නට නොහැකි බව අද මැනවින් ඔප්පු වී අවසන්ය. අප මතු කළ බොහෝ කරුණු රට පැත්තේ සිටගෙන සංවේදීව ඇහුම්කන්දීමට නොහැකි තත්ත්වයක් තුළ අද රට පුරා ඇවිලයන මහා ජන අරගලයක් බවට පත්ව ඇත.
රට මේ මොහොතේ පත්ව ඇති ඉරණම වෙනස් කිරීමට නම් වඩා යහපත් සමාජ ආර්ථීක වටපිටාවක් සහිත අලූත් ආකෘතියකට වෙනස් විය යුතුව ඇත. ඒ් සඳහා පොදු ජනතාවගේ අරගලය නිවැරදි මාවතේ ගමන් කරවීමට වැඩකරන පන්තියේ බලවේග වල මැදිහත් වීම මව්බිම බලාපොරොත්තු වන නිමේෂය උදාවී ඇත.
-ලංකා වතු සේවා සංගමයේ හිටපු සභාපති චතුර සමරසිංහ