ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමට අනුව අගෝස්තු 10 වන දින සිට විදුලිය ගාස්තු පොදුවේ සියයට 75 කින් වැඩි කරන්න “ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභාව” අනුමැතිය ලබා දුන්නා කියලා එහි සභාපති ඊට කලින් දින මාධ්‍යයට දැනුම් දී තිබුණා. ඒ වැඩි කිරීම් පොදුවේ සියයට 75 ක් කිව්වට ඇතැම් කාණ්ඩ සඳහා විශාල වැඩි කිරීම් කෙරෙනවා. ඒකක 30 ක් හෝ ඊට අඩුවෙන් භාවිත කරන අයට මාසික වැඩිවීම සියයට 264 ක් වෙනවා.
මාසයකට විදුලි ඒකක 30 ක් පරිභෝජනය කරනවා කියන්නේ ඉතාම අමාරුවෙන් විදුලි බුබුලක් දෙකක් පැය කිහිපයක් දල්වා ගෙන වැඩි කාලයක් අඳුරේ ඉන්න අසරණයින්. මේ යෝධ ආර්ථික අර්බුදය අතරේ ජීවත් වෙන්න හීන දකින එවැනි අසරණුන්ට තවත් රුපියල් හත් අට සීයක් වැඩි කෙරුවම ඒක ඔවුන්ට මහා බරක්. ...... විය යුතුව තිබුණේ ඔවුන්ට රුපියලක්වත් වැඩි නොකිරීමයි. මෙවැනි වැඩි කිරීම් වලට පවා අනුමැතිය දෙන මහජන උපයෝගිතා කොමිසන් සභාව ඔවුන්ගේ වගවීම කවුරුන් වෙනුවෙන්ද කියලා නැවත සිතා බැලිය යුතුයි.
එනිසා සියල්ලට පෙර කිව යුත්තේ මේ කොමිසන් සභා පිහිටුවා තියෙන්නේ ජනතාවගේ මුදලින් ජනතාව වෙනුවෙන් තීන්දු ගන්නයි. ඔවුන්ගේ මූලික වගකීම තියෙන්නේ ජනතාවටයි....... විදුලිබල මණ්ඩලයේ බලධාරීන් වෙනුවෙන් නෙවෙයි. මේ මොහොතේ ඔවුන්ගේ වගකීම තිබූයේ විදුලිය ගාස්තු වැඩි කිරීමට පෙර ජනතාවට හේතු දැක්වීමටයි.
විදුලිය ගාස්තු වැඩි කිරීමට අනුමැතිය දීමෙන් පසු මාධ්‍යයට එය දැනුම් දුන් මහජන උපයෝගිතා කොමිසන් සභාවේ සභාපතිට කියන්න තියෙන්නේ, මේ වැඩි කිරීම සාධාරණය කිරීමට ඉදිරිපත් කළ සියලු හේතු දැක්වීම් බාල, ප්‍රාථමික හේතු දැක්වීම් කියලා. ඔහුගේ එක හේතු දැක්වීමක් වුනේ මෙය අවුරුදු 09 ට පසු පළමු ගාස්තු වැඩි කිරීම බවයි. අවුරුදු 09 කින් නෙවෙයි අවුරුදු 19 කින් පසුව උනත් ගාස්තු වැඩි කරන්න වැදගත් හේතු තිබිය යුතුයි. ගාස්තු වැඩි කිරීමට අවුරුදු ගණන අදාල නැහැ.
ඔවුන් කියන තවත් කාරණාවක් නම්, 2001 සිට රුපියල අවප්රමාණයවීම නිසා ලංවිම වියදම් විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවයි. රුපියල අවප්‍රමාණය වීමෙන් වියදම් ඉහළ යාම රටටම පොදු තත්ත්වයක්. නමුත් ලංවිම වියදම් වැඩි වන්නට එකම හේතුව රුපියල නොවන බව...... කොමිසන් සභාවේ සභාපති දැන සිටිය යුතුයි. ලංවිම ඉංජිනේරුවන් සහ ඉහළ පරිපාලකයින් වැටුප් ලොකුවට වැඩි කර ගැනීම්, නොයෙකුත් දීමනා, වරප්‍රසාද ඔවුන්ට රිසි සේ හදා ගැනීම් සහ ඒ සමග මහපරිමාන දූෂණ හා වංචා වලට ඉඩ තැබීමත් ලංවිම පාඩු ලැබීමට හා වියදම් ඉහළ යාමට ප්‍රධාන හේතු වෙනවා.
ඒවායේ ප්‍රතිපල ලෙස මේ අවුරුද්දේ පළමු මාස 03 පාඩුව රුපියල් බිලියන 65 ක් වෙනකොට, 2010 සිට 2020 අවසානයේ පාඩු එකතු කළ විට එය රුපියල් බිලියන 308 ක් වෙනවා. ඒවට බිල් ගෙවිය යුත්තේ මහජනතාවද?
ලංවිම මේ වගේ පාඩු ලබන අති දූෂිත රාජ්‍ය ආයතනයක් වීමේ වගකිම ඇත්තේ ඇමතිවරයාට විතරක් නෙවෙයි. ඒ වගකීමේ වැඩි කොටස ඇත්තේ එහි ඉංජිනේරුවන්ට සහ ඉහළ පරිපාලකයින්ටයි. විදේශ ණය හා ආධාර සමග ලංවිම ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සතු ශක්‍යතා සොයා බලා වාසි අවාසි තක්සේරු කරන්නේ ඇමතිවරයා නෙවෙයි. ලංවිම ඉංජිනේරුවන්. පෞද්ගලික විදුලි ජනන සමාගම් වලින් මිලට ගන්නා විදුලි ඒකකයක මිල ගණන් හදා නිර්දේශ කරන්නෙත් ඇමතිවරයා නෙවෙයි. ඉංජිනේරුවන් සහ ඉහළ පරිපාලකයින්. ඒ ව්‍යාපෘති සඳහා උපදේශකයින්, කාර්යාල සේවකයින්, ක්ෂේත්‍ර නිලධාරීන් බඳවා ගැනීම, ඔවුන්ට විශේෂ දීමනා, වැටුප් තීන්දු කිරීම, ඒවාට කාර්යාල ගොඩනැගිලි කුලියට ගැනීම්...... ඒවා තීන්දු කරන්නෙත් මේ ඉංජිනේරුවන් සහ ඉහළ නිලධාරීන්. ලංවිම පාඩු ලැබීමට හා එහි දූෂණ වලට ඉංජිනේරුවන් සමග ඉහළ නිලධාරීන් වගකියන්න ඕනේ ඒ නිසයි.
ඒ වගේ බොහෝ තීන්දු ගැනීමේදී ඉංජිනේරුවන් තීරණාත්මක බලයක් හදාගෙන තියෙනවා ඔවුන්ගේ වාසියට. සෞඛ්‍ය ක්ෂේත්රයේ වෛද්‍යවරුන් රෝගීන් ඇපයට තබා ඔවුන්ට අවශ්‍ය ආකාරයට තීන්දු ගන්නවා වගේ විශේෂයෙන් ඉංජිනේරුවන් ඔවුන්ට රටම කළුවරේ තියන්න පුළුවන් කියලා ඔවුන්ගේ තීරණ වෙනුවෙන් අයුතු බලයක් හදාගෙන ඉන්න බව කවුරුත් දන්න රහසක්.
ඉංජිනේරුවන් ඇතුළු ලංවිම සේවක සේවිකාවන්ගේ “උපයන විට ගෙවීමේ” බදු ලංවිම මුදලින් ගෙවන්නට ඇමතිවරුන් එකඟ වූයේද ඒ හේතුව නිසයි. එය සාධාරණය කෙරුවේ රාජ්‍ය ආයතන බොහෝමයක “උපයන විට ගෙවීමේ” බද්ද ආයතනය විසින් ගෙවන බව කියලා. නමුත් පෞද්ගලිකව ගෙවිය යුතු බද්දක් මහජන මුදලින් ගෙවීම කවුරු කෙරුවත් එය අවභාවිතාවක්, ඒ නිසා වෙනත් අය ගැන කියලා තමන්ගේ අවභාවිතාවන් සාධාරණය කිරීමම ලජ්ජා නැති නිවට කමක්.
මේ ඉංජිනේරුවන්ගේ බලහත්කාර බලය සහ ඔවුන්ගේ දූෂිත ක්‍රියාකලාපය සම්බන්ධ හොඳම නිදසුන, පසුගිය ජුලි 31 වන දින “ද අයිලන්ඩ්” පුවත් පතේ ප්‍රවෘත්තියකින් කියවෙනවා. රටම බරපතල ආර්ථික අර්බුදයකට හසුවෙලා ලක්ෂ ගණනකට ආදායම් මාර්ගත් අහිමිව ඉන්ධන, ආහාර, ඖෂධ හිඟයෙන් හෙම්බත්ව ඉඳගෙන දවස් ගණන් පෝලිම්වල ලගිනකොට, ඒ පෝලිම්වල පුද්ගලයින් 15 ක් පමණ මිය ගිය බවට වාර්තාවන විට, “ලංවිම ඉංජිනේරුවන් කැළණිතිස්ස ගබඩාවෙන් ඔවුන්ගේ වාහන වලට ඩීසල් ගසා ගනී” (CEB engineers pump diesel into their vehicles from Kelanitissa stores) යන සිරස්තලය ඇතිව පළ කළ ප්‍රවෘත්තිය, ඉංජිනේරුවන්ගේ පැටිකිරිය තේරුම් ගන්න හොඳටම ප්‍රමාණවත්.
එවැනි ඉංජිනේරුවන්ගේ සහ ඉහළ පරිපාලකයින්ගේ බලහත්කාර, ආත්මාර්ථකාමී, දූෂිත වැඩ නිසා සිදුවෙන්නේ විදුලිය ගාස්තු වැඩිවීම විතරක්ම නෙවෙයි. ලංවිම වාර්ෂිකව විශාල පාඩු ලබන ආයතනයක් බවට පත් කෙරෙනවා. නාගරික මැදපංතිකයින් පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට කරන ගෝසාව තව වැඩි වෙනවා.
නාගරික මැදපංතිකයින් හිතන්නේ පෞද්ගලික ව්‍යාපාර කවමදාකවත් පාඩු ලබන්නෙ නැති කාර්යක්ෂම ව්‍යාපාර කියලයි. බදු ඉවත් කරලා වගේම අපේ බදු මුදල් වැයකර සියලු පහසුකම් ලබා දිලා, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඇතිව විදේශ ආයෝජකයින් සමග ආරම්භ කළ පෞද්ගලික ව්‍යාපාර 722 ක් අවුරුදු 05 ක් ඇතුළත 2016 වනවිට බංකොලොත් කියලා වහලා දාලා. සමහර ව්‍යාපාරිකයින් අර්ථසාධක අරමුදල් සේවක භාරකාර අරමුදල් පාරිතෝෂික මුදල් ගෙවන්නෙත් නැතුව රටින් පැනලා ගිහින්.
රාජ්‍ය ආයතන විතරයි මෙහෙම බංකොලොත් වෙන්නෙ කියලා හිතන අයට කියන්න තියෙන්නේ, පෞද්ගලික ව්‍යාපාර බංකොලොත් වුනාම රාජ්‍ය අරමුදල් වලටත් පොලු තියලා පැනලා යනවා කියලයි.
නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ රාජ්‍ය ව්‍යාපාර අලෙවිකර දමන්න කියුවට, යුරෝපයේ සහ ඇමෙරිකාවේ රාජ්‍ය ව්‍යාපාර සාර්ථකව නඩත්තු කෙරෙනවා. යුරෝපා සංගමයේ ආර්ථික හා මූල්‍ය කටයුතු අධ්යක්ෂ ජනරාල්ගේ කාර්යාලය ප්‍රකාශයට පත් කර ඇති “යුරෝපා සංගමයේ රාජ්‍ය සතු ව්‍යවසාය ඃ පශ්චාත් අර්බුද සන්දර්භයක උගත් පාඩම් හා ඉදිරිය” මැයෙන් වන ආයතනික පත්‍රිකා අංක 031/ජුලි 2016 ට අනුව, “දියුණු ආර්ථිකයන්හි වත්කම් හා රැකියා සඳහා වැඩි දායකත්වයක් ඇත්තේ රාජ්‍ය සතු ව්‍යාපාර වලින්ය. ආර්ථික සහයෝගිතා සහ සංවර්ධනය සඳහාවන සංවිධානයේ (OECD) සාමාජික රටවල් එකතුව ගත් විට, බහුතර හිමිකාරිත්වයක් ඇති රාජ්‍ය ව්‍යාපාර සතු වත්කම්වල වටිනාකම ඩොලර බිලියන 2,000 ක් පමණ වේ. ජාලගත කර්මාන්ත ක්ෂේත්රයන්හි රාජ්‍ය සතු ව්‍යාපාර වැදගත් කාර්ය භාරයක් ඉටු කරති. OECD සංවිධානය ගණන් බලා ඇති ආකාරයට, බල ශක්ති හා ප්‍රවාහන අංශයන්හි සමස්ථ වටිනාකමින් සියයට 40 ක් පමණ ඇත්තේ රාජ්‍ය සතු ව්‍යාපාර වලය. රැකියා වලින්ද සියයට 43 ක් පමණ ඇත්තේ රාජ්‍ය සතු ව්‍යාපාර වලය......... එවගේම ප්‍රංශය, ඉතාලිය, ස්වීඩනය වැනි යුරෝපා සංගමයේ පළමු රටවල් 15 වේද රාජ්‍ය සතු ව්‍යාපාර කැපී පෙනෙති.”
ඒ වාර්තාවට අනුව රාජ්‍ය ව්‍යාපාර සාර්ථකව පවත්වා ගෙන යන්න පුළුවන්. ඒකට අවශ්‍ය වෙන්නේ දියුණු කලමනාකාරිත්වයක් පමණක්ම නෙවෙයි. ඒවයේ සාර්ථකත්වයට මහජනතාවට තොරතුරු විවෘත කිරීම සහ සමාජ වගවීම් සඳහා බැඳීම් ශක්තිමත් සම්මතයන් හැටියට හදා ගැනීම අවශ්‍ය වෙනවා. ඒ වගේම, රාජ්‍ය ව්‍යාපාරවල අරමුණු ලාභ ලැබීමට එහා යන සමාජ යහපත සමග බැඳෙන නිසා ඒවා නියාමනය කිරීමේ දියුණු ක්‍රමවේද හදා ගැනීමත් අවශ්‍යයයි.
එනිසා මේ විදුලි ගාස්තු වැඩි කිරීමට නිකම්ම විරුද්ධ නොවිය යුතුයි. විරුද්ධ විය යුත්තේ සමාජයට වැඩදායක පාඩු නොලබන රාජ්‍ය ව්‍යාපාරයක් හැටියට ලංවිම හදා ගන්න පුළුවන් කොන්දේසිත් ඉදිරිපත් කරමින්.
මගේ යෝජනාව ඒ නිසා, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභාවත් සමාජ වගවීමට බැඳලා ඔවුන්ට කියන්න ඕනේ විදුලි ගාස්තු වැඩි කරන්න ලංවිමට දුන්න අනුමැතිය වහා අත් හිටු වන්න කියලා.
ඒ සමග වහාම (1) දැනට ලංවිම සේවයේ ඉන්න ඒ ඒ සේවා සඳහා අනුමත නිල සේවක සංඛ්‍යාව හා මාණ්ඩලික තනතුරු කොපමණද (2) ඉංජිනේරුවන් අදාල ශ්‍රේණි අනුව මාසිකව අතට ගන්න වැටුප, ඔවුන්ට ගෙවන දීමනා සහ වෙනත් වරප්‍රසාද මොනවද (3) ඉහළ පරිපාලන නිළධාරීන්ටත් ගෙවන මාසික වැටුප් හා දීමනා කොපමණද (4) අවසාන වශයෙන් ලංවිම සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම් කෙරුණේ කවදාද සහ ඒ කොපමණකින්ද (5) ලංවිම විදුලිය මිලට ගන්නා පෞද්ගලික සමාගම් මොනවාද සහ ඒවායෙන් විදුලිය මිලට ගන්නා කොන්දේසි සහ ඒකකයකට ගෙවන මිල කීයද කියලා දෙසතියක් ඇතුළත විස්තර සියල්ල ප්‍රසිද්ධ කරන්න කියලා ඔවුන්ට බලකර කියන්න ඕනේ.
ඒ තොරතුරු ලැබුණු පසු විදුලිය ගාස්තු වැඩි කිරීම වෙනුවට ලංවිම පාඩු පියවන්න වෙනත් විධි ක්‍රම තියේද කියලා අපි කතා කරමු.
2022 අගෝස්තු 12