ඉකුත් අගෝස්තු 30 වන දින “2022 අන්තර්වාර අයවැය” ඉදිරිපත් කරමින් ජනාධිපති වික්‍රමසිංහ මේ ආණ්ඩුවේ මුදල් ඇමති වශයෙන් පාර්ලිමේන්තුවට කියුවේ “රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයක්” පිහිටුවන්නට ආණඩුව තීන්දු කළ බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 200 ක් වෙන් කරන බවත් ය. මහ භාණ්ඩාගාරයට දිගින් දිගටම රාජ්‍ය ව්‍යාපාරවල පාඩු දරන්නට නොහැකි හෙයින් වෙනත් විධික්‍රමයක් සඳහා අවධානය යොමු කළ යුතු යැයි ඔහු කියා තිබුණි. එවැනි රාජ්‍ය ව්‍යාපාර 50 ක් ගැන සඳහන් කෙරුණු අතර ලංවිම, ඛනිජ තෙල් සංස්ථාව හා ශ්‍රී ලංකන් ගුවන් සේවය විශේෂයෙන් සඳහන් විය.
ඊට පෙර දිනෙක පාර්ලිමේන්තුවේ නව සැසි වාරය ආරම්භ කරමින් ජනාධිපති වික්‍රමසිංහ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් රාජ්‍ය ව්‍යාපාර පවත්වා ගැනීම ලෝකයේ පිළිගත් මතයක් නොවන්නේ යැයි කියූ කතාව රාජ්‍ය ව්‍යාපාර අලෙවි කිරීම සඳහා වටාපිටාව හදන්නක් වූවකි. එය සනාථ කරමින් ඔහු අන්තර්වාර අයවැය ඉදිරිපත් කරන්නට පෙර දිනෙක විදේශ මාධ්‍ය සමග පවසා තිබුණේ “පෞද්ගලීකරණය” පිළිබඳව වෘත්තීය සමිති දරණ අදහස් ඔහුට වැදගත් නොවන බවය.
ජනාධිපති අන්තර්වාර අයවැය ඉදිරිපත් කරන්නට පෙර දිනෙක බලශක්ති ඇමති කාංචන විජේසේකර ලංවිම, ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්ධන ගබඩා සංකීර්ණ සමාගම පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් ඉංග්‍රීසියෙන් තැබූ “ට්විට” සටහන් දෙකක් ෆේස් කිසිවකු විසින් බුක් පිටුවක උපුටා දක්වා තිබිණ. අන්තර්වාර අයවැයෙන් ජනාධිපති අවධාරණය කළ රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය කිරීමේ යෝජනාව වැදගත් සංවාදයකට තැබීම සඳහා ඇමතිවරයාගේ ඒ සටහන් හොඳ පිවිසුමකි.
ඇමතිවරයාගේ ට්විට අදහස් සිංහලෙන් කැටි කරන්නේ නම්, සියල්ලට පෙර කිව යුත්තේ එය “ප්‍රයිවටයිස් කරන්න” යැයි කියන්නාවූ ජනප්‍රිය කතාව නොවන බවය. ඔහු කියා තිබුණේ (01) සියලු රාජන් ව්‍යාපාර “ප්‍රතිව්‍යුහගත” කළ යුතු බවය. (02) සේවක දායකත්වය අනුව වැටුප් ගෙවීම අනිවාර්ය කළ යුතු යැයි කියා ඇත. (03) එවැනි ආයතන, ඒවායේ සේවකයින් අඩකින් පවත්වා ගෙන යා හැකි බවත් කියා තිබිණ. ලංවිම සේවකයින් 26,000 න් අඩකින්ද තෙල් සංස්ථාව හා ඊට අනුබද්ධ ආයතනයේ සේවකයින් 4,200 න් 500 කින්ද ඒවා සාර්ථකව පවත්වා ගෙන යා හැකි යැයි ඔහු කියා ඇත. ඔහු කියන්නේ දේශපාලනයෙන් තොර එවැනි ප්‍රතිව්‍යුහගත කිරීම් සමග රාජ්‍ය ආයතන සාර්ථකව පවත්වා ගත හැකි බවය.
අන්තර්වාර අයවැය ඉදිරිපත් කළ දිනට පෙර දින විදුලිය ගාස්තු වැඩි කිරීම ගැන පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් රාජපක්ෂ ආණ්ඩුවල සිටි ගෝසාකාරී ඇමතිවරයෙකුද ලංවිම ගැන වැදගත් සඳහන් කිරීම් කිහිපයක් කළේය. ඒ පණිවිඩකරුගේ පැටිකිරිය ගැන කතා කරන්නට තරම් වැදගත් කිසිත් නැත. එනිසා මේ කතා කරන්නේ ඔහු පාර්ලිමේන්තුවේදී රටට දුන් පණිවිඩය ගැන පමණි. ඔහු පාර්ලිමේන්තුවට කියූවේ ලංවිම 2015 වසරේද රුපියල් බිලියන 20 ක් ලාභ ලැබූ බව ය. ඒ වනවිට සේවක සංඛ්‍යාව 14,000 ක් යැයි ඔහු කීවේය. 2020 වන විට ලංවිම බිලියන 04 ට වැඩිය පාඩු ලැබූ බවත් ඒ වනවිට සේවක සංඛ්‍යාව 20,000 ක්ව තිබූ බවත් ඔහු කීවේය. මේ කියන ලංවිම බිඳ වැටීම ජනාධිපති වික්‍රමසිංහ 2015 ආරම්භයේ සිට 2019 අවසානය දක්වා අවුරුදු 05 ක් අගමැති වශයෙන් රට පාලනය කළ ආණ්ඩුවේ කෙරුවාව බවද අමතක නොකළ යුත්තකි.
විදුලිය ගාස්තු වැඩි කිරීම ගැන විපක්ෂයේ ඉල්ලීමක් අනුව විවාදය තීන්දු වූවත් අද ප්‍රධාන විපක්ෂයවන එදා වික්‍රමසිංහ ආණ්ඩුවේ පාර්ශවයක් වූ ඔවුන් කිසිවකු ඒ තොරතුරු අභියෝග නොකළහ. 2015 ජනවාරියේ ඔවුන් ආණ්ඩු බලය ගන්නා විට ලංවිම ලාභ ලැබූ ආයතනයක් නොවුනා යැයි විපක්ෂයේ ආර්ථික ඔස්තාර්ලා නොකීහ. එවගේම බලශක්ති ඇමති හෝ ආණ්ඩුවේ වෙනත් ඇමතිවරයෙකු හෝ ඒ දත්ත සහ තොරතුරු ප්‍රශ්න නොකළහ.
රාජ්‍ය ව්‍යාපාර සාර්ථකව පවත්වා ගැනීමේ ආකෘතීන් ගැන කතා කිරීමට පෙර අපේ රටේ රාජ්‍ය ව්‍යාපාර ආරම්භ කිරීමේ දේශපාලන එළැඹුම කෙටියෙන් සටහන් කළ යුතු යැයි සිතමි. දැන් පවතින පොදු මතය වන්නේ දේශපාලකයින් ඔවුන්ගේ හෙංචයියන්ට රැකියා ලබා දීමට හා දූෂිත ගනුදෙනු සඳහා රාජ්‍ය සංස්ථා නඩත්තු කෙරෙන්නේය යන්න ය. මේ වන විට එතැනට පත්ව ඇත්තේ ඊට හාත්පසින් වෙනස් වූ අවශ්‍යතාවයක් වෙනුවෙන් ආරම්භ කෙරුණු රාජ්‍ය ව්‍යාපාරයන් ය.
නිදහසින් පසු පණහේ දසකයේ සිට අපේ රටේ ධනේශ්වර ආර්ථික වර්ධනයක් ඇති වූයේ නැත. ඇතිවූයේ වෙළඳ හා වාණිජ ක්ෂේත්‍රයෙහි පුළුල්වීමකි. එනිසා අත්‍යාවශ්‍ය සේවා හා කාර්මික වර්ධනයකට අවශ්‍ය පෞද්ගලික ආයෝජන කළ හැකි ධනපතියන් නොවුනි. පොදු මගී ප්‍රවාහනය ඊට එක් නිදසුනකි. පොදු මගී ප්‍රවාහනය ජාතික මට්ටම දක්වා දියුණු කිරීමට අවශ්‍ය නව ආයෝජන බස් හිමියන්ට නොවුනි. කලමනාකාරිත්වයක්ද නොවුනි. එනිසා සමාජ අවශ්‍යතාවක් ලෙස පොදු මගී ප්‍රවාහනය දියුණු කිරීමේ වගකීම ආණ්ඩුව බාර ගත යුතු විය. 1957 ජනවාරියේ බස් ජනසතුව ඒ සඳහා වූ දේශපාලන තීන්දුවක් විය.
අනතුරුව 1957 අංක 49 දරණ රාජ්‍ය කාර් මික සංස්ථා පනත සම්මත කෙරුණේ විශේෂයෙන් කාර් මික වර්ධනයක් සඳහාද රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍ය වූයෙනි. එතැන් සිට එම පනත යටතේ 1965 ඩඩ්ලි සේනානායකගේ ආණ්ඩුවද ඇතුළුව අවුරුදු 10 ට වැඩි කලක් ලංකා සම්භාණ්ඩ, ලංකා තෙල් හා මේධ, ජාතික පේෂ කර්මාන්ත, පරන්තන් රසායනික, ලංකා පිඟන්, ලංකා ටයර්, ලංකා ධීවර සංස්ථාව, ජාතික කිරි මණ්ඩලය වැනි ව්‍යාපාරික ආයතන දුසිම් දෙකකට වැඩි සංඛ්‍යාවක් සංස්ථාපිත කෙරුණි.
ජයවර්ධන ජනාධිපති 1977 දී අලි ඇතුන් වුව ආනයනය අපනයනය කළ හැකි අයුරින් අර් ථික විවෘත කිරීමත් සමග රාජ්‍ය ව්‍යාපාර සම්බන්ධ කතාව අලුත් විය. එය ඉදිරිපත් කෙරුණේ රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික ව්‍යාපාරිකයින්ට බාර දිය යුතු යැයි තර්ක කරමින්ය. පළමුව කිව යුත්තේ “පෞද්ගලීකරණය” ජනප්‍රිය කෙරුනේ රාජ්‍ය වත්කම් විකුණා දැමීමට යැයි කියා ය. එය ඉතාම නිර්ලජ්ජී ලෙස කෙරුවේ ජයවර්ධන පාලනය යටතේ ය. ඔහුගේ පාලන කාලයේ “පෞද්ගලීකරණය” ලෙස ටයර් හා ස්කාගාර සංස්ථාව, පූගොඩ හා තුල්හිරිය පේෂ කර්මාන්ත ශාලා වැනි රාජ්‍ය ව්‍යාපාර අලෙවි කර දැමිණ.
ඒ සඳහා ගොඩ නගා ඇති තර්කය අතිශය බාල තර්කයකි. බහුතරයක් සිතා සිටින්නේත් විද්වත් යැයි සිතන ආර්ථික විශේෂඥයින් කියන්නේත් රාජ්‍ය ව්‍යාපාර පාඩු ලබන නමුත් පෞද්ගලික ව්‍යාපාර එළෙස නොවන්නේ යැයි කියා ය. රාජ්‍යයට “ලාභය” පිළිබඳව අවබෝධයක් නොමැති හෙයින් ඒ වෙනුවෙන් ව්‍යාපාර කලමනාකරණය කිරීමේ හැකියාවක් රාජ්‍යයට නැතැයි ඔවුහු කියති. පාඩු ලබන්නේ අපේ රාජ්‍ය ව්‍යාපාර පමණක් නොවේ. ඇමෙරිකාවේ යෝධ සමාගම්ද පාඩු ලබති.
නිදසුනක් දෙකක් ගතහොත් ඇමෙරිකානු යෝධ බහුජාතික මාධ්‍ය හා සන්නිවේදන සමාගමක් වන “ඒඕඑල් ටයිම් වෝන” සමාගම 2002 වසරේ ලැබූ ගුද්ධ පාඩුව ඩොලර බිලියන 143.1 කි. ඇමෙරිකානු රක්ෂණ හා මූල්‍ය සමාගමක් වන රටවල් 80 ක ව්‍යාපාර කටයුතු කරන හා සේවක සේවිකාවන් 49,600 (2019 වසරේ) ඉන්නා ඇමෙරිකන් ඉන්ටනැෂනල් ගෲප් (ඒඅයිජී) ලැබූ පාඩුව ඩොලර බිලියන 127.6 කි. මහ බි්‍රතාන්‍යයේ රෝයල් බෑන්ක් ඔෆ් ස්කෝට්ලන්ඩ් (ආර්.බී.එස්) 2008 දී ඩොලර බිලියන 37.5 ක් පාඩු ලැබුවේය. ඊට අමතරව 2017 වන විට ඔවුන් ප්‍රධාන නගර වල ඔවුන්ගේ ශාඛා 259 ක් වසා දැමුවේ ඒවායේ මුදල් ගනු දෙනු සියයට 30 කින් පහත වැටී ඇතැයි වාර්තා කිරීමෙනි.
ලංකාවේ පෞද්ගලික ව්‍යාපාරවල කෙරුවාව ඊට වඩා හපන් ය. කලමනාකාරිත්ව අවුල් නිසා පාඩු ලැබ වසා දමන්නට වූ පෞද්ගලික ව්‍යාපාර ඕනෑ තරම් ඇත. ඒවායෙන් සමහරක් වෙළඳපල අවබෝධයක් නැතිව ආරම්භ කළ ව්‍යාපාර වන්නේය. තවත් සමහරක් එකවර යෝධ ව්‍යාපාරයක් වන්නට සිතා ආයෝජනය කිරීම සඳහා දරා ගත නොහැකි ණය ලබා ගැනීමෙන් කඩා වැටුණු ව්‍යාපාරයන් ය. කවරෙකුට හෝ එවැනි ව්‍යාපාර ගැන තොරතුරු අවශ්‍ය නම්, සමාගම් මැදුරෙන් හා කම්කරු දෙපාර්තමේන්තුවෙන් තොරතුරු දැන ගැනීමේ පනත උපයෝගී කරගෙන තොරතුරු ලබා ගත හැකිය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් එළෙසින් ලබා ගත් තොරතුරු අනුව 2017 සැප්තැම්බරයේදී “සන්ඩේ ටයිම්ස්” පුවත් පත පළ කළ විශේෂාංගයකින් හෙළිදරව් කර තිබූයේ 2010 සිට 2016 වන විට ආයෝජන මණ්ඩල අනුමැතිය ඇතිව රජයේ ඉඩම්ද බදු සහනද ලබා ගත් සමාගම් 721 ක් වසා දමා ඇතැයි කියා ය. (විස්තර සඳහා - https://www.sundaytimes.lk/170903/news/721-boi-companies-closed-down-from-2010-to-2016-257726.html) මේ සම්බන්ධව විගණකාධිපති වාර්තාවේ දත්ත ආයෝජන මණ්ලයේ දත්ත හා නොසැසඳෙන බවත් එහි ගණන් හිලව් ආයෝජන මණ්ඩලයේ ගණන් හිලව් වලට වඩා වැඩි බවත් පුවත් පත් විශේෂාංගයෙහි සඳහන් වේ. ඒවා බොහෝමයක් වසා දමා ඇත්තේ වරප්‍රසාද, බදු විරාම ආදියෙන් ලැබිය හැකි උපරිම වාසි ලබා ගෙන, රජයට හා බැංකු වලට ගෙවිය යුතු කිසිවක් නොගෙවා ව්‍යාපාර වසා දමා යෑම එකම අරමුණ වූ බැවිනි.
වැදගත්ම කාරණාව නම්, සමාජ ආර්ථික ක්‍රියාවලියේ මහ පරිමාණ දූෂණ වංචා සිදුවන්නේ පෞද්ගලික ව්‍යාපාර සමගින් බව ය. ලාභ උපරිම කර ගැනීමේ ඔවුන්ගේ දූෂණ සඳහා යොදවා ගන්නා රාජ්‍ය යාන්ත්‍රණය හා දේශපාලන ව්‍යාපාර විසින් සමස්ථ සමාජයම සදාචාරයක් නැති, විනයක් නැති, ආත්මාර්ථකාමී සමාජයක් බවට ක්‍රමානුකූලව පත්කර ගන්නා විට ය. සිය වසකටත් වඩා වැඩි දීර්ග කාලයක් සමාජ යහපත පිළිබඳව, මානව ගුණ ධර්ම පිළිබඳව දියුණු සමාජ සංවාද සමගින් ගොඩ නගා ගත් සමාජ සම්මතයන් හා සම්ප්‍රදායන් නොමැති අපගේ වැනි වඩවසම්වාදී වෙළඳපල සමාජයන්හි විවෘත වෙළඳපල ආර්ථික යනු මහ නගර කේන්ද්‍රීය අති දූෂිත ආර්ථික ආකෘතියකි. අති දූෂිත ව්‍යාපාරිකයින් හා දේශපාලනඥයින් පෞද්ගලීකරණය වෙනුවෙන් පෙනී සිටින්නේ ජනතාව සඳහා නොව, ඔවුන්ට කෙටි කලකින් ලබා ගැනීමට හැකි වාසි වෙනුවෙනි.
රාජ්‍ය ව්‍යාපාර සම්බන්ධයෙන් ජනාධිපති වික්‍රමසිංහ ලෝක මතය යැයි පෞද්ගලීකරණය වෙනුවෙන් දැක්වූ අදහස ‘80 දසකයේ “තැචර්-රේගන්” යුගයේ මතයකි.
එය කල් ඉවත් වූ මතයකි. “ජනාධිපති කියන්නේ ඇත්තදැයි” අගෝස්තු 14 වන දින ඉරිදා අරුණ පුවත් පතට මා ලියූ ලිපියෙන් ඒ අදහස අභියෝග කකරමින් යුරෝපා සංගමයේ “ආර්ථික හා මූල්‍ය කටයුතු අධ්‍යක්ෂ ජනරාල්ගේ කාර්යාලය විසින් ප්‍රකාශයට පත්කර ඇති 2016 අංක 031 දරණ “ආයතනික පත්‍රිකාව” මා උපුටා දැක්වූයේ යුරෝපයේ තවමත් ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යාපාර ගැන තොරතුරු කීමටය. යුරෝපයෙහි රාජ්‍ය ව්‍යාපාර ස්ථාපිත කෙරුණු ආකෘතීන් කිහිපයක් ඇත. ඇතැම්වා රාජ්‍ය සතු බහුතර කොටස් සහිතව පවත්වා ගන්නේය. තවත් ආයතන පූර්ණ වශයෙන් රාජ්‍ය ආයතන ලෙස පවත්වා ගන්නේය. තවත් ආයතන පූර්ණ වශයෙන් රාජ්‍ය සතු වූවත් ඒවායේ දෛනික පැවැත්ම පූර්ණ වශයෙන් පෞද්ගලික ව්‍යාපාර වැනිය. ජර්මනියේ “ඩොයිට්ස්ෂෙ බාහ්න්-ඒජී” දුම්රිය සමාගම එවැන්නකි. එය 1949 දී ප්‍රතිව්‍යුහගත කරනු ලැබ ඇත්තේ කොටස් හිමිකරුවන්ගේ හවුල් ව්‍යාපාරයක් වශයෙනි. එයට අයත් උප සමාගම් 09 කි. ඒවා දුම්රිය ප්‍රවාහන ක්ෂේත්‍රයේ විවිධ වගකීම් හා කාර්යන් සඳහාවන සමාගම් ය. උදාහරණයක් වශයෙන් දුම්රිය මාර්ග හා යටිතල පහසුකම් අයත් එක් සමාගමක්ද දුම්රිය ස්ථාන හා සේවා සඳහා තවත් සමාගමක් ද ඇත. එහෙත් “ඩොයිට්ස්ෂෙ බාහ්න්-ඒජී” දුම්රිය සමාගමේ පූර්ණ අයිතිය ඔවුන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ඇත්තේ ජර්මානු ෆෙඩරල් ජනරජයට ය.
පෞද්ගලීකරණය වෙනුවෙන් නැගෙන තවත් තර්කයක් වන්නේ රාජ්‍ය සතු ව්‍යාපාර ලබන පාඩු වෙනුවෙන් මහජනතාවගේ බදු මුදල් යොදවමින් රටක් දියුණු කළ නොහැකිය යන්න ය. ඇත්තය. එනිසා පාඩු නොලබා ඒවා පවත්වා ගන්නේ කෙසේදැයි විමසිය යුතුය. හැමදා සාර්ථකයැයි කිසිදු සහතිකයක් නැති, බදු මුදල් පවා හරියාකාරව නොගෙවන්නේ යැයි විවෘත චෝදනා ඇති අතිශය දූෂිත පෞද්ගලික අංශයට රාජ්‍ය ව්‍යාපාර අලෙවිකර දැමීම විසඳුමක් නොවන බව අවධාරණයෙන් යුතුව කිව යුත්තකි. පෞද්ගලික අංශයේ දූෂණ සම්බන්ධයෙන් මා හැම විට නගන ප්‍රශ්නය නැවත නැගුවහොත් “මේ රටේ පෞද්ගලික ව්‍යාපාරයක් ජාවාරම්කරුවෙක් සම්බන්ධ නැති මහ පරිමාන යෝධ දූෂණ එකක් හෝ නම් කළ හැකිද?” රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය කරන්නට යැයි කියන්නේ ඒවා අන්ත දූෂිත ව්‍යාපාරිකයින්ට භාර දීමට ය.
“ලංකා මෙරයින් සර්විස් සමාගම” (එල්.එම්.එස්) 2005 ජනවාරියේදී පෞද්ගලීකරණය කළ ආකාරය එවැනි දූෂිත ගනුදෙනු සම්බන්ධ අධිකරණයෙන් ඔප්පු කෙරුණු කදිම සාක්ෂියකි. ඊට සම්බන්ධ “ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම”, මේ රටේ යෝධ පෞද්ගලික ව්‍යාපාරයකි. එය වැදගත් පිරිසිදු පෞද්ගලික ව්‍යාපාරයක් යැයි සමාජ පිළිගැනුමක්ද ලැබූවකි. ඔවුන් ලබා ගත් කොළඹ වරායේ ඉන්ධන බන්කරිං අධිකාරයක් තිබූ රාජ්‍ය ව්‍යාපාරයක් වූ එල්.එම්.එස් සමාගම 2008 ජූලි මාසයේදී අවලංගු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එය අති දූෂිත ගනුදෙනුවක් යැයි තීන්දු කළේය. එල්.එම්.එස් සමාගමට තිබූ රජයේ ඉඩම රුපියල් මිලියන 01.2 ට (සැබෑ වටිනාකම ඊට වැඩි විය යුතුව තිබිණ) ජෝන් කීල්ස් වෙත පවරමින් අදාල ඔප්පුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 2005 ජනවාරි 19 වන දින ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිනිය ලෙස අත්සන්කර තිබූයේ මහ භාණ්ඩාගාරයට ඒ වෙනුවෙන් සතයක්වත් ලැබී නොතිබියදී ය. මෙහි අරුමය නම්, ඒ වන විටද ලාභ ලබමින් තිබූ එල්.එම්.එස් සමාගම පෞද්ගලීකරණය කිරීම සඳහා අයැදුම් පත් කැඳවූ දිනයේ ජෝන් කීල්ස් සමාගම ඉන්ධන බන්කරිං සමාගමක් පිහිටුවා ඒ වෙනුවෙන් බදු සහන සහ අනෙක් වරප්‍රසාද ආයෝජන මණ්ඩලයෙන් ඉල්ලා තිබූයේ එල්.එම්.එස් සමාගම සතු නිල ලිපිනය යොදා ගනිමින් ය. (විස්තර සඳහා https://www.consultants21.com/pdf/On%20Corruption/SE16.pdf &
රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය පිළිබඳ දූෂිත කතා කෙටි කළහොත් එය සිදු කළ යුත්තේ මේ වනවිට දරුවන්ට කෑම වේලක් දෙන්නට නොහැකි අන්ත අසරණ දුප්පතුන් ගෙදර තිබෙන හට්ටි වළං විකුණා ගෙනෙන හාල් සේරුව ලිපේ තියන්නේ කෙසේදැයි අන්දමන්දව ඉන්නා ආකාරයට නොවේ.
ඒ සඳහා ලොව සාර්ථකව අත්හදා බැලූ ආකෘතීන් කිහිපයක් යුරෝපයේද ඇත. අපගේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව සතුවූ දුරකතන සේවා පද්ධතිය 1996 දී ශ්‍රී ලංකා ටෙලිකොම් ලෙස ප්‍රතිව්‍යුහගත කිරීම අපගේම සාර්ථක අත්දැකීමකි. එය පෞද්ගලීකරණය කිරීමකැයි පොදුවේ කෙරෙන සඳහන සාවද්‍ය බැව් කරුණාවෙන් සළකණු මැනව. එහි සියයට 48 ට වැඩි කොටස් ප්‍රමාණයක් රජය සතුවන අතර, මැලේසියානු මැක්සිම් කොමියුනිකේෂන් සමාගම සතුව ඇත්තේ කොටස් සියයට 44 කි. එහි අධ්‍යක්ෂ මණ්ඩලයද ආණ්ඩුව විසින් තීන්දු කෙරෙනන්නකි.
එනිසා ලංවිම, ඛනිජ තෙල් සංස්ථාව වැනි අතිශය වැදගත් ආයතන පිළිබඳව තීන්දු කළ යුත්තේ සියලු විස්තර සමගින් ඒවා පාඩු ලබන්නේ කෙසේදැයි ජනතාවට කීමෙන් පසුව ය. ජනතාවද මතක තියා ගත යුතු වැදගත්ම හා මූලිකම කාරණාව නම්, මේ සියලු වත්කම්වල අයිතිය ඇත්තේ ආණ්ඩුවට නොවන බවය. ඒවායේ පූර්ණ අයිතිය ඇත්තේ ජනතාවටය. එනිසා ඒවා පාඩු ලබනවා නම් ඒ කෙසේදැයි දැන ගැනීමටත් ඒ සඳහා කළ යුත්තේ කුමක්දැයි තීන්දු කිරීමත් ජනතාවගේ අයිතියක් බැව් ආණ්ඩුවත් දේශපාලකයිනුත් දැන සිටිය යුතුය.
ඉරිදා අරුණ