පෙරදින අප උත්තරීතර පාර්ලිමේන්තුව ඇරඹීමට පෙර ප්‍රකාශිත කුජ දින න්‍යාය පත්‍ර ප්‍රකාර එහි තෙවැනි අංගය වන්නේ ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාව විසින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෝ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩකර ඇතිදැයි සෙවීමට විශේෂ කාරක සභාවක් පත්කරන ලෙස කරන ලද ඉල්ලීමයි. පාර්ලිමේන්තුවට සිනාසීම ද එහි වැසි 225 දෙනාගෙන් බහුතරයකගේ වරප්‍රසාද කඩවීමක් දැයි නොදන්නේ වුවද, මෙයනම් අපුර්වාකාර යෝජනාවකි. තමන් සතු අනන්‍ය මූල්‍ය බලය ස්වයං ද්‍රවශීලතාවක් ඔස්සේ ඔහේ පාවෙන්නට හැර ඕනෑම විධායක ජනාධිපතිවරයෙක් හට එය චප්ප ජබිරි කොට අපහරණය කරන්නට ඉඩ හසර සදා, රටම බංකළොත් වූ කලෙකදී පවා අපේ පාර්ලිමේන්තුව බලන්නේ අසල්වැසියාගේ ඇසේ පොල් පරාලයයි. එනයින් අපේ සමහරක් මන්ත්‍රීවරුන් රස නුගුණ නොව ගඳ සුවඳ පවා නොදැනෙන ජීවීන් විශේෂයක් දෝයි වරෙක සිතෙන්නේය.
අදවනවිට දේශපාලනිකව අප්‍රාණික ගාමිණී ලොකුගේ හැර මෙම ඉල්ලීමට අස්සන් කොට ඇති සෙස්සෝ සියල්ල නවකයෝය. එපිරිස අතර සිටින මැදිවියේ මන්තිරියෙකුගේ උද්වේගකර මෙන්ම සම්භාව්‍ය පස්වැනි මණ්ඩලයේ සලරුවක් පරදවන වීඩියෝ පටයක් ද මෑත අතීතයේ සමාජජාල මාධ්‍ය පරිශීලකයන් අතර ඉතා වේගයෙන් සංසරණය විය. අස්සන්ධාරීන්ගේ හරුබස්ස මැනුමට එයම ප්‍රමාණවත් වනු ඇත.
එකී අවාසනාවන්ත පසුබිම මැද්දේ ජනාධිපති ලේකම් මැතිවරණ කොමිෂන් සභාව හා පවත්වන්නට මාන බලන අශුද්ධ සංධානය මෙරටේ පළමු රාජ්‍ය නිළධරයා, සෙසු නිලයන්ට දෙන සාමාන්‍ය රාජකාරි නියෝග සීමාවෙන් ඔබ්බට ගොස් ඇති බව දැන්වීම මෙන්ම එතුළින් අපේ මැතිවරණ කොමිසමේ ස්වයංසිද්ධ නස්පැත්තිය විමසීම මෙම ලිපියේ අරමුණයි.
අදවනවිට මෙරටේ මැතිවරණ කොමිෂන් සභාව මුහුණ දී ඇත්තේ එය තම අභිමානවත් ඉතිහාසයේ මුහුණදෙන සාතිශය ඛේදජනක මෙන්ම උභතෝකොටිකමය අවුල් ජාලයකටය. ඒ මෙපරිදිය. සිද්ධීන් පෙළගසා ඇත්තේ යම් ප්රමුඛතාමය නියමයක් ඔස්සේ නොවේ.
අ. මැතිවරණ කොමිසම පෙරදින ජනාධිපතිවරයා මුණ ගැසිණි. ඒ ජනාධිපති කාර්යාලයේ ඇරයුමකිනි. අවසන සාමාජිකයන් දෙකඩ කොට සභාපතිවරයා හට පමණක් ජනාධිපතිවරයා මුණ ගැසීමට අවස්ථාව ලබා දුනි. ජනාධිපති ලේකම්වරයා අනෙක් සාමාජිකයන් දෙදෙනා හා සාකච්ජාවක් පැවැත්වූ අතර ඊට ඇරයුම් කොට තිබූ එක් සාමාජිකයෙක් වූයේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයෙක් වන ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවානයි. එහි ඇති කදිම හාස්‍යය වන්නේ මැතිවරණය පවත්වන්නට සල්ලි ඉල්ලන මැතිවරණ කොමිෂන් නඩුවේ මෙකී තැනැත්තා ප්‍රධාන භූමිකාවක් කිරීමයි. පුංචිහේවා සභාපතිවරයා සමයේ ''අපි මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී නොසිටින්නෙමු''යි පවසා දැන් මෙලෙස ඔවුන් සමඟින් පයුරුපායාසනයේ යෙදෙන්නට ජනාධිපති ලේකම් පහසුකාරකත්වය දරන්නේ ඉක්මනින් මැතිවරණය පවත්වන්නට නම් විය නොහැකිය.
ආ. ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගේ සහය ලබාගනිමින් ඉමහත් දුෂ්කරතා මධ්‍යයේ පූර්ව කොමිසම උසාවි ගියේ තම ආහාර ජීර්ණය පහසු කර ගැනීම සඳහා නොවේ. ලංකාවේ නීතිපති මැතිවරණ කොමිසමට නීති සහය නොදුන් නිසාය. එහෙත් දැන් බළලා මල්ලෙන් එළියට පැන ඇත්තේය. කොමිසම වෙනස් වූ විගස පෙර කී බරසාර ප්‍රතිපත්ති ඉවතලා ඇති සේය. දැනටමත් එවැනි ආකාරයේ ඉල්ලීමක් කොමිසම මඟින් ගෙන්වා ගැනීමට තරම් අදාළ පාර්ශව උපක්රමශීලි වී ඇත. නීතිපති දෙපාර්තමේන්තුව නීති සහය නුදුන්නේ මැතිවරණ කොමිසම මැතිවරණය පැවැත්වීමට යෑම නිසා බව ඉතා පැහැදිළි කරුණකි. දැන් ඇසිය යුත්තේ, බලෙන් සහය දෙන්නට පෙරට එන්නේ වත්මන් කොමිසම මැතිවරණ පැවැත්වීමට අකමැති නිසාද යන්නයි.
ඇ. ආචාර්ය රමේශ් රාමසාමි වෙනුවට විශ්‍රාමික දිසාපතිවරයෙක් ආදේශ කිරීමේ මෙහෙයුමක් ද අරඹා තිබීම තවත් එක් ඛේදනීය පැතිකඩකි. ආචාර්ය රමේෂ් යනු මෙරටේ විශ්ව විද්‍යාල ප්‍රජාව විසින් බිහිකරන ලද ඉතා ප්රගතිශීලි සහ ප්රජාතන්ත්රවාදය පිළිබඳව වෙසෙස් අධ්‍යයනයක හා පර්යේෂණයක නිරත උද්යෝගිමත් සරසවි ඇදුරෙකි. එපමණක් නොව ඔහුගේ නියෝජනයේ පවත්නා ප්‍රබලත්වය නම් ඔහු කඳුකර වැසියෙක් වීමයි. එහෙත් අපේ ඊනියා ප්‍රභූ ජනයා හට මේ ටික මදිය. මැතිවරණ කොමිෂන් සභාව මෙන්ම තවත් තැන් කිහිපයක රැඳුණු ශෝබනකාරී විධායක නිළධරයන් පිරිසක් ජනාධිපති ලේකම්වරයා හට බලකරනු ලබන්නේ සරසවි ඇදුරෙක් නොව දිසාපතිවරයෙක් මීට ඔබන ලෙසයි. කොමිසමක ව්‍යුහය යනු ශෛලමය නිර්මිතයක් නොවේ. නිදසුනක් ලෙස නියෝජ්‍ය කොමසාරිස් ධූරයට ඉහළින් සිටින එකෙකුන් නම් කිරීම සිරිත වුව වත්මන් කොමිසමේ දෙදෙනෙක්ම සිටී. එපමණක් නොව විශ්‍රාමික සිවිල් පරිපාලකයන් නිසා අපි අසමත්ව ඇති තරමද ඇති පදම්ය. එබැවින් මේ තරුණ සරසවි ඇදුරා නොකපන්න යැයි සිවිල් සමාජය, සරසවි සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හඬ නැගිය යුතුය. සුළුතරයක් වූ වඳ පිදුණු අදහසින් ඉදිමුණු උතුරේ දෙමළ දේශපාලකයන් සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ එවැනි ආකාරයේම උද්දච්ච වර්ගවාදී අදහසින් පිබිදුණු විධායක නිළධරයන් අතලොස්සකගේ ග්‍රහණයට දෙමළ නියෝජනය යට නොකිරීම කොමිෂන් සභා ස්වාධීනත්වයේ තවත් පැතිකඩක් විය යුතුමය.
ඈ. අංග සම්පුර්ණ කොමිසමක් ස්ථාපිත නොකිරීමේ වංචනික පියවරක් වෙත සපැමිණීම. දැනට මැතිවරණ කොමිසම සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විතය. අනෙක් දෙදෙනා නැත්තේ ඇයිදැයි අපි පෙර ලිපියෙන් පැහැදුවෙමු. දැන් එයම උපක්‍රමයක් වී ඇති සෙයකි. එනම් අනෙක් දෙදෙනා නොගෙන්වා මේ තිදෙනාගෙන් පෙරට යෑමේ සුහුරු භාවිතයයි. එහි භයංකාරත්වය වන්නේ කොමිසම මුහුණදෙන බරපතලම සංසිද්ධිය වන පළාත් පාලන මැතිවරණ නඩුකර සියල්ලේ ඉරණම විසදෙන්නේ මෙකී තිදෙනා අභියස වීමයි. එබැවින් අනෙක් සාමාජිකයන් දෙදෙනා පත්කළ නොහැක්කේ මන්දැයි ව්‍යවස්ථාදායක සභාව පිළිතුරු බැඳිය යුත්තේය. ඊට අදාළව අපට පෙණෙන එක් බාදාවක් වන්නේ එහි ලේකම් ධම්මික දසනායකයි. අපගේ නිළධාරීන් සතු අසීමිත බල තණ්හාවේ එක් සජීවී ප්රතිමුර්තියක් වන්නේ මොහුය. නව මහලේකම්වරියක් පාර්ලිමේන්තුවට පත්ව ඇත. ඒ කුෂානි රෝහණධීරයි. ඇය තම කාර්යයන් මැනවින් සිදුකරමින් ඉදිරියට යන සමයක ඇයගේ විෂය පථය තුළ පැවතිය යුතු ව්‍යවස්ථාදායක සභාවේ ලේකම් ධූරය ධම්මික දසනායක දරමින් සිටී. ඒ රාජකාරි සමයේ ඔහු එකී ධූරය දැරු බැවින්ලු. එය කුෂානිට අදාළ නොවන්නේ මන්දැයි ව්‍යස්ථාදායක සභාවේ සාමාජිකයන් හට නොතේරීම හතර හිනා දනවන සංතෑසියක් නොවන්නේද?
අප නිරතුරු පුනරුච්චාරණය කරන පරිදි වත්මන් කොමිෂන් සභා සභාපති රත්නායකයන් එකදු රුපියලකුදු අලාභයක් රජයට නොකොට නොහොඳක් නොඅසා රාජ්‍ය සේවයෙන් සමුගත් මහත්මයෙකි. එහෙත් අපි නැවතත් පුනරුච්චාරණය කිරීමට කැමැත්තෙමු. මෙරටේ මැතිවරණ පැවැත්වීම යනු ජනාධිපතිවරයාගේ හෝ වත්මන් සභාපතිවර රත්නායකයන්ගේ පරිපාලන සේවා බැචා යැයි දැක්වෙන සමන් ඒකනායකගේ අභිලාශ මත්තේ විසඳිය යුත්තක් නොවේ. ඊට නිශ්චිත ජන සම්මතවාදී නිලවරමක් ඇත්තේය. සභාපතිතුමන් ඊට සවන්දීම යෙහෙකි. යටත් පිරිසෙන් දැන්වත් ජන්දය තියන්න සල්ලි දෙන්න යැයි ලියුම් කරදරයක් හෝ යැවිය යුතුය. එසේ නැතහොත් මැතිවරණ කොමිසම අපි බලා සිටියදීම සමන් ඒකනායක කොමිසම බවට රූපාන්තරණය වනු ඇත්තේය.
| මංජුල ගජනායක