රජයේ කන්තෝරුවල කට්ටිය වැඩියි

රජයේ කන්තෝරුවල කට්ටිය වැඩියි

රටේ පවතින දුර්වල හා පිරිහුණු ආර්ථික තත්ත්වය යටතේ රාජ්‍ය සේවය ද පවතින රජයට මෙන්ම කලින් පැවැති රජයන්වලට ද බරකි. ඒ සඳහා එක එක නොගැළපෙන කතා හා අදහස් දැක්වීම් විවිධ ඇමැතිවරු විසින් කරනු ලබයි. එක් ඇමැතියෙක් රාජ්‍ය සේවය වැඩි බවත්, මහජනතාවට දරා ගත නොහැකි බවත් රැස්වීම්වල ප්‍රකාශ කරන අතර වෙනත් ඇමැතිවරයෙක් රාජ්‍ය සේවයේ පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කරන බවට පුරාසාරම් දොඩති. කෙසේ හෝ රාජ්‍ය සේවය නඩත්තු කිරීමට පවතින අපහසුතාවයන් පිළිබඳ දීර්ඝ කාලීන කථාබහ පවතින අතර සංඛ්‍යාව අතින් රාජ්‍ය සේවය වැඩි බවත් ගුණාත්මක අතින් රාජ්‍ය සේවය පිරිහී ඇති බවත් බොහෝ දෙනාගේ මතය වී ඇති අතර එම තත්ත්වයන් වෙනස් කිරීම සඳහා ද බාලගිරි දෝෂය වැළඳී ඇත.

කෙසේ වුවද රාජ්‍ය සේවයේ ප්‍රමාණය හා ගුණය පිළිබඳ විවිධ මතිමතාන්තර පැවතියත්, ඒ පිළිබඳ පසුගිය මෙන්ම වර්තමාන රජය ද මෙම තත්ත්වයන් අවබෝධ කරගෙන සිටියත් ඒවා කතාවලට සීමා වී ඇත. වැඩිනම් අඩු කරන්නේ කොහොම ද? රාජ්‍ය සේවයේ යහපත් පරිවර්තනයක් සිදුකළ යුත්තේ කෙසේද? රාජ්‍ය සේවය ගුණාත්මක වෙනසකට භාජනය කළ යුත්තේ කෙසේ ද? ආදී ජනප්‍රිය ගැටලු විසඳීම සඳහා මේ දක්වා පැවැති රජයන් අපොහොසත් වී ඇති අතර ගැටලුව විසඳීම වෙනුවට තව තවත් උග්‍ර කර ගැනීම පවතින යථාර්ථය බවට පත්ව ඇත.

  • රාජ්‍ය සේවය වැඩි ද?

ලෝකයේ බොහෝ රටවල් සමඟ සැසඳීමේ දී ශ්‍රී ලංකාවේ විශාල රාජ්‍ය සේවයක් පවතින බව පිළිගැනේ. ජනගහනයෙන් හැම 15 දෙනෙකුටම එක් රාජ්‍ය සේවකයෙක් සිටින බව බොහෝ තැන්වල පුන පුනා ප්‍රකාශ කෙරේ. එමෙන්ම රාජ්‍ය සේවයේ වගකීම් දරන ඇමැතිවරුන්, උසස් නිලධාරීන් මෙන්ම වෙනත් වගකිවයුතු දේශපාලකයන් ද රාජ්‍ය සේවය වැඩි බවත් මහජන මුදලින් නඩත්තු කිරීම අපහසු බවත් නිරන්තරව ප්‍රකාශ කරන මතයකි. විශ්‍රාම වැටුප් හා රාජ්‍ය සේවයේ වැටුප් ගෙවූ පසු භාණ්ඩාගාරයේ ඉතිරිවන මුදලක් නොමැති තරම් බව ද මුදල් ඇමැතිවරුම ප්‍රකාශ කරති.

ඒ අතර ඒ ඒ ආයතනවල පුරප්පාඩු පවතින බවත් ඒවා කඩිනමින් සම්පූර්ණ නොකරන්නේ නම් රාජ්‍ය සේවය කඩාවැටෙන බවටත් තවත් ඇමැතිවරු ආඩපාලි කියති. ඒ කුමන පුරප්පාඩු තිබිය දී වුවද රාජ්‍ය සේවය වැඩි බවට චෝදනා කරමින් ද රාජ්‍ය සේවයට ඔහේ යන්නන් වාලේ සැලකීමේ රජයේ ප්‍රතිපත්ති ද එලෙසම ක්‍රියාත්මක වීම දක්නට ලැබෙන දෙයකි.

රාජ්‍ය සේවය වැඩි බව චෝදනා කරන දේශපාලකයන්ම රජයේ සේවය වැඩි කිරීම සඳහා කටයුතු කළ පිරිස වේ. රටේ පුරවැසියාට රැකියා සැපයීම හෝ රැකියා සුලභ කිරීම රජයේ ආර්ථික ප්‍රතිපත්ති හරහා සිදු කළ යුතු අතර රාජ්‍ය සේවයට හැකි පමණ පුරවා රැකියා දීම රජයට පාරාවළල්ලකි. එය ශ්‍රී ලංකාවට දැන් හොඳටම දැනී ඇති ප්‍රශ්නයකි.

රාජ්‍ය සේවය ව්‍යාප්ත වී ඇති පහළම ස්ථරය වන්නේ ග්‍රාම නිලධාරි වසමයි. එක්තරා කාලයක ග්‍රාම නිලධාරිවරුන් විසිනු ඉටුකරනු ලැබූ සේවාවන් කිරීමට විවිධ නාම මාත්‍රික නිලධාරීන් විශාල සංඛ්‍යාවක් වර්තමානයේ රාජ්‍ය සේවය තුළට ඇතුළුකර ඇත. එක්තරා කාලයක දී දේශපාලන වශයෙන් බඳවා ගත් විශේෂ සේවා නිලධාරීන් රාජ්‍ය සේවයට ඇතුළු කිරීම සඳහා එකල පැවැති ග්‍රාම නිලධාරි වසම් ප්‍රමාණය සියයට 40 කින් පමණ වැඩි කරනු ලැබීය. සීමා නිර්ණය කමිටුවක ලේකම්වරයකු ලෙස ප්‍රාදේශීය හා දිස්ත්‍රික් පාලන සීමා නිර්ණය වැඩසටහන් අත්දැකීම වූයේ ශ්‍රී ලංකාවට ග්‍රාම නිලධාරි වසම් 8000 ක ප්‍රමාණයක් ප්‍රමාණවත් බවයි. පසු කාලීනව ග්‍රාම නිලධාරීන්ගේ සේවයම කිරීම සඳහා සංවර්ධන නිලධාරීන් විශාල සංඛ්‍යාවක් ග්‍රාම නිලධාරි වසම් කේන්ද්‍ර කර ගනිමින් රාජ්‍ය සේවයට ඇතුළත් කරගනු ලැබීය.

ග්‍රාමීය/ ප්‍රාදේශීය හා දිස්ත්‍රික් පරිපාලනය තුළ මෙලෙස විශාල රාජ්‍ය සේවයක් ස්ථාපිත කරනු ලැබුවේ දුර නොසිතන දේශපාලනය මගිනි. වෙනත් සෑම ආයතනයකටම මෙන්ම නිසි පරිදි ගණන් බලන්නේ නම් රාජ්‍ය සේවයේ අධික සංඛ්‍යාව නිශ්චිත පරිදි ගණන් බැලිය හැක.

  • අවශ්‍යතාවය ගණන් බැලීම

රාජ්‍ය සේවයේ අවශ්‍යතාවය ගණන් බැලීම නිසි රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණ වැඩසටහනක දී සිදුවිය යුතුය. සේවක සංඛ්‍යා ගණන් බැලීම සඳහා නිසි විද්‍යාත්මක ක්‍රම පවතින අතර එය ඒ ඒ සේවාවන් අනුව වෙනස් වේ. රටට අවශ්‍ය ග්‍රාම නිලධාරි වසම් ප්‍රමාණය ගණන් බැලීම සිදුකරීම සඳහා යොදාගත් ක්‍රමය වූයේ නාගරික, අර්ධ නාගරික, ග්‍රාමීය වශයෙන් ග්‍රාම නිලධාරි වසම් හඳුනාගැනීම හා ඒ අනුව එක් ග්‍රාම නිලධාරි වසමකට අයත් පවුල් සංඛ්‍යාව හා භූගෝලීය අවශ්‍යතාවයන් ද සලකා බැලීමෙනි. එම කාලයේදී ග්‍රාම නිලධාරි වසමකට අයත් පවුල් සංඛ්‍යාව හා භූගෝලීය අවශ්‍යතාවයන් ද සලකා බැලීමෙනි. එම කාලයේදී ග්‍රාම නිලධාරි වසම් 5000 ක් පුරප්පාඩුව පැවැති අතර වැඩ බැලීමේ පදනම මත වසර 5 ක් පමණ එම පුරප්පාඩු එලෙසම පැවැතිණි. මේ පිළිබඳ අදාළ සීමා නිර්ණය කමිටුව එකල ජනාධිපතිවරයාට හා ජනාධිපති මුදල් ලේකම්වරුන්ට මේ බව පෙන්වා දුන්න ද ග්‍රාම නිලධාරි වසම් අඩු කිරීම දේශපාලන කරුණක් හෝ දේශපාලන අවාසියක් සේ සලකා ඒ සඳහා ඔවුන්ගේ අවධානය යොමු නොවුණි. සෑම රාජ්‍ය සේවාවකම අවශ්‍ය සංඛ්‍යාව ගණන් බැලීම සඳහා ගතයුතු විවිධ ක්‍රියාමාර්ග හා මාර්ගෝපදේශ මාලාවන් එකල ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය මගින් ඉදිරිපත් කරනු ලැබූවත් ඒ සඳහා දේශපාලන අවධානය අසුබවාදී විය.

පෞද්ගලික අංශයේ බොහෝ ආයතනවල සේවා සංඛ්‍යාව මෙන් විශාල ගුණයක සේවක පිරිස් රජයේ ආයතනවල ඇත. උදාහරණයක් ලෙස රජයේ බැංකු හා මාධ්‍ය ආයතන සලකා බැලිය හැක. බොහෝ පාඩු ලබමින් පවතින අධික සේවක ප්‍රමාණයක් නඩත්තු කිරීම හා ඒවා වෙනස් කිරීමට දක්වන අවම අවධානය ශ්‍රී ලංකාවේ දේශපාලනය හා බැඳී පවතී. ඒ අනුව රාජ්‍ය සේවයේ පිරිස අවම කිරීම කථාව දෝලාවෙන් ගමන පයින් සංකල්පය තුළ හිර වී ඇත.

  • නිසි ප්‍රමාණයට රාජ්‍ය සේවය සකස් කිරීම.

සෑම ආයතනයකට අවශ්‍ය මානව සම්පත් ප්‍රමාණය ගණන් බැලීම සඳහා ප්‍රමුඛ අවධානයක් රජය විසින් දැක්විය යුතුය. රජයේ ආයතනවල සේවා ප්‍රමාණයන් පාරිභෝගික තත්ත්වයන්, පාරිභෝගික සංඛ්‍යාවන්, කාලය තුළ කළ යුතු නිශ්චිත වැඩ ප්‍රමාණයක් ඒ ඒ රජයේ සේවයක් ලබාගැනීමට පැමිණෙන සංඛ්‍යාව ආදිය ගණන් බැලීමෙන් හා ඒවා වසර ගණනක් පැවැති තත්ත්වයන් විග්‍රහ කිරීම තුළ අවශ්‍ය සංඛ්‍යාව හා ඉදිරි වසර කිහිපයක් සඳහා අවශ්‍ය විය හැකි සේවක සංඛ්‍යා පුරෝකථනය කිරීම මගින් එය සිදු කළ හැක. එම ගණන් බැලීම් සමඟ රාජ්‍ය සේවය අවම කිරීමේ සැලසුමක් ගොඩනැඟිය හැක. ඒ අනුව දැනට සේවයේ නියුතු සේවකයන්ගේ ආරක්‍ෂාව සැලසෙන පරිදි හා හානිදායක තත්ත්වය අවම කර ගනිමින් එම ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමට වැඩපිළිවෙළක් සකස් කරගත හැකි වනු ඇත.

රාජ්‍ය සේවයේ අත්දැකීමක් අනුව ස්වදේශ කටයුතු අංශයේ අතිරේක ලේකම් ලෙස එම අංශයේ අංශ 4 ක් යටතේ සේවය කළ 80 ක් පමණ පිරිස 45 දක්වා අඩු කිරීම සිදුකරනු ලැබීය. එයට අමතරව රාජ්‍ය පරිපාලන ගොඩනැඟිල්ලේ මහල් 1 1/2 ක් තුළ ස්ථාපනය කර තිබූ ස්වදේශ කටයුතු අංශය තනි මහලකට ගෙන ඒම තුළ ඉඩකඩ පරිභෝජනය ද 30%ක් වැඩියෙන් අවම කිරීමට ද හැකි විය. පසුකාලීනව දේශපාලන වුවමනාවන් තුළ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙනත් ස්ථානයකට ගෙන ගොස් තවදුරටත් නිලධාරීන් හා අධික වියදමක් සහිත ගොඩනැඟිල්ලක් යටතේ විශාල රජයේ මුදල් වැය කරන ව්‍යාපෘතියක් බවට ස්වදේශ කටයුතු අංශය පත්කරනු ලැබීය.

රාජ්‍ය සේවය අවම කිරීම හා අවශ්‍ය ප්‍රමාණයට (CORRCT SIZE) ප්‍රතිනිර්මාණය මත වෙනත් බොහෝ අමතර වියදම් අවම කර ගැනීමේ හැකියාව මත රජයේ වැය පක්‍ෂය අවම කරගත හැකි වනු ඇත. නිලධාරි සංඛ්‍යාව අවම කිරීම, අත්‍යවශ්‍ය නොවන තනතුරු අඩු කිරීම අනවශ්‍ය ශාඛා හා ආයතන ආදිය අවම කිරීම අනවශ්‍ය සේවාවන් ඉවත් කිරීම ආදිය සිදුකළ හැක.

මෙවැනි කාර්යයන් සාර්ථක කර ගැනීම සඳහා ඉහළම දේශපාලන අදිකාරිය සමඟ වෘත්තීමය මානව සම්පත් උපදේශනය යටතේ හානි අවම කර ගනිමින් කටයුතු කළ හැකි යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම අවශ්‍ය වේ.

  • බර දරාගෙන සිටින්නේ ඇයි?

ආණ්ඩුව හෝ එක එක ඇමැතිවරුන් රාජ්‍ය සේවයේ බර පිළිබඳ විවිධ අදහස් හා කථාවන් සිදුකළත් එම බර අඩුකර ගැනීමට නොහැකි වී ඇත්තේ ප්‍රධාන බාධාවන් කිහිපයක් මත වේ. ඉන් ප්‍රධාන තැන ගන්නේ දේශපාලනයයි. ලක්‍ෂ 8කට පමණ පැවැති රාජ්‍ය සේවය ලක්‍ෂ 14ක් දක්වා වැඩි කිරීම දේශපාලකයා දකින්නේ වික්‍රමයක් ලෙසිනි. එය ඔවුන්ගේ ඡන්ද පොරොන්දුවකි. රාජ්‍ය සේවය නියම ප්‍රමාණයට ගෙන ඒම එම දේශපාලනය විසින් හඳුන්වන්නේ රාජ්‍ය සේවය කප්පාදුව කරනවා යන දේශපාලන පාඨය ජනගත කිරීමෙනි. ඔවුන් ද බලයට පැමිණි පසු රාජ්‍ය සේවය බරක් ලෙස ප්‍රකාශ කළත් පිළිගත හැකි වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකරන්නේ එය එක්තරා දුරකට දේශපාලන සියදිවි නසා ගැනීමක් විය හැකි බැවිනි.

අනෙක් ප්‍රධාන සාධකය වන්නේ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික හා දේශපාලනමය වෘත්තීය සමිති ව්‍යාපාරයයි. බොහෝ රාජ්‍ය ආයතන පිරිහී ඇති බවට මෙම වෘත්තීය සමිති පවතින රජයන්ට චෝදනා එල්ල කළත් එම පරිහානියට බලපාන බොහෝ කරුණු වෙනස් කිරීමට වෘත්තීය සමිතිවලින් ලැබෙන සහාය නොමැති තරම් වේ. දේශපාලනමය හෝ වෙනත් ඕනෑම ක්‍රමයකට රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් හරහා වෘත්තීය සමිති සාමාජිකත්වය වැඩිකර ගතහැකි බවත් ඒ හරහා ලැබෙන දායක මුදල් වැඩිවන බවත් ඉන් අනතුරුව වෘත්තීය සමිති සටන් සඳහා පිරිස වැඩිවෙන බවත් ඔවුන් අත්දැකිමෙන් දනී. එමෙන්ම ශ්‍රී ලංකාවේ බොහෝ වෘත්තීය සමිති පැරණි වාමාංශික මතවාදයන් හි හිරවී ඇති පිරිසක් වන අතර බොහෝ මෙබඳු කරුණු පිළිබඳ ලිබරල්වාදීව සලකා බැලීම සඳහා ඔවුන් උනන්දු නොවේ. සටන්වලට අමතරව සහයෝගීතාවයන් තුළින් රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කිරීම හා නිසි ප්‍රමාණයකට සකස් කිරීමේ න්‍යාය පත්‍රයක් ඒ අනුව ඔවුන්ට තවත් සටන් පාඨ නිර්මාණයට හේතු වනු ඇත.

  • අඩු කිරීමේ විකල්ප යොමුවීම්

රාජ්‍ය සේවා බර අවම කිරීම සඳහා හානිදායක නොවන බොහෝ විකල්ප විසඳුම් වෙත යොමුවීමේ ඉඩකඩ ඇත. මෙම විකල්ප විසඳුම් බොහෝදුරට විවෘත රාජ්‍ය සේවා සංකල්ප යටතේ සිදුකළ හැක. බොහෝ දියුණු රටවල රාජ්‍ය සේවාව විවෘත එකකි. ඇතුළුවීම හා පිටවීම ඉතා සරල ය. ඇතුළුවීම විශේෂයෙන්ම හැකියාව හා කුසලතාවය මත රඳාපවතී. මෙම තත්ත්වයන් රාජ්‍ය සේවයේ කළමනාකාර තනතුරු සඳහා විශේෂයෙන් සලකා බැලේ. රාජ්‍ය සේවයේ කළමනාකරණ වගකීම් දැරීම සඳහා ඉතාමත් ම සුදුසු හා ඉතාමත්ම ඉහළ කුසලතා හා හැකියාවන් සහිත නිලධාරීන් හඳුනාගැනීම රාජ්‍ය සේවයේ ගුණය හා ප්‍රමාණය නඩත්තු කිරීමට පහසුවක් වනු ඇත. රාජ්‍ය සේවය කාර්යක්‍ෂමව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය වන්නේ විශාල පිරිසක් නොව වඩා කාර්යක්‍ෂම සුළු පිරිසක් බව නිසි කළමනාකරණ තීරණය කරනු ඇත. ඒ අනුව රාජ්‍ය සේවයේ එබඳු වගකීම් හා වගවීම් දැරිය හැකි රාජ්‍ය සේවා කළමනාකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම රජයේ ප්‍රමුඛ අවධානය යොමු වූ වැදගත් අංශයක් වනු ඇත.

  • කොන්ත්‍රාත් සේවාවන් (Contractional Servies)

දිනකට පැය කිහිපයක් හෝ වරින්වර අවශ්‍ය වන සේවාවන් සඳහා ස්ථිර සේවකයන් බඳවා ගැනීම අවම කළ හැක. උදාහරණයක් ලෙස සමහර රජයේ අයතනවල සේවය කරන වෘත්තීමය සේවකයන්ගේ සේවය නිරන්තර අවශ්‍ය නොවන්නකි. එබඳු තනතුරු අහෝසි කොට එබඳු සේවාවන් අවශය පරිදි බාහිර ආයතනවලින් හෝ පෞද්ගලික අංශයෙන් මිල ගණන් කැඳවා ලබාගැනීම බොහෝදුරට වාසිදායක වේ. එබඳු තනතුරු දරන විශාල පිරිසක් රාජ්‍ය සේවය තුළ ඇත. එබඳු පිරිස් සඳහා පෞද්ගලික අංශය හෝ ඔවුන්ගේම පෞද්ගලික ව්‍යාපාර ගොඩනඟා ගැනීමේ අවස්ථාවන් ලබාදීම සිදුකළ හැක. බොහෝ දියුණු රටවල එබඳු වෘත්තීය සේවාවන් අවශ්‍ය පරිදි ලබාගැනීමේ ඉඩකඩ රාජ්‍ය සේවය තුළ ඇත. මේ අනුව පෞද්ගලික අංශය ප්‍රසාරණය කිරීම හා පෞද්ගලික අංශයෙන් අවශ්‍ය සේවාවන් ලබාගැනීම ආදිය මගින් ඌන සේවා වියුක්ති තත්ත්වයන් අවම කර ගැනීමටත් රාජ්‍ය සේවාවේ සංඛ්‍යාව අවම කර ගැනීමටත් හැකියාව පවතී.

  • වෘත්තීය සමිති සහයෝගිතාවය

රාජ්‍ය සේවය වඩා කාර්යක්‍ෂම හා විශාල නොවූ රාජ්‍ය සේවාවක් බවට පත්කර ගැනීම සඳහා වෘත්තීය සමිති එකඟතාව හා සහයෝගය අවශ්‍ය එකකි. කාර්යක්‍ෂම හා ප්‍රමාණවත් රාජ්‍ය සේවාවක් මගින් සේවයේ නියුතු අයගේ වරප්‍රසාද හා සුරක්‍ෂිතතාවය වඩා ශක්තිමත් කිරීමේ හැකියාව මත එම එකඟතාවයන් ගොඩනැඟිය හැකි වේ. එමෙන්ම බොහෝ රාජ්‍ය ආයතන ලාභ ලැබීමේ තත්ත්වයන් හෝ පාඩු අවම කර ගැනීමේ ක්‍රමෝපායන් සඳහා වෘත්තීය සමති එකඟතා ගිවිසුම් මගින් රාජ්‍ය සේවය ප්‍රමාණවත් ලෙස සකස් කර ගැනීමේ හැකියාව ඇත. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ ගතානුගතික වෘත්තීය සමිති සබඳතාවය වෙනස්කර ගතහැකි උපාය මාර්ග වන්නේ ද වරප්‍රසාද බෙදා ගැනීමේ සංකල්පයක් වෙත මාරු වීම තුළ පමණි.

  • පැලැස්තර ප්‍රතිසංස්කරණ වෙනුවට

වෙනත් සෑම කාර්යයකටම මෙන්ම රටේ සංවර්ධනය සඳහා බලපාන රාජ්‍ය සේවය සඳහා ද නිදහසින් පසු බලයට පැමිණි බොහෝ රජයන් ලබා දී ඇත්තේ පැලැස්තර විසඳුම් වේ. සෑම විටම දේශපාලන වාසි හා බලයට පත්වීමේ අරමුණු සමග රාජ සේවය ද කළ යුතු බොහෝ ප්‍රතිසංස්කරණ ගොඩගැසී ඇත. ඒවා යථාවත් කිරීමට හෝ නිවැරදි කිරීම සඳහා රජයට ඇත්තේ වංචා සහගත න්‍යාය පත්‍රයකි. කළ යුතු දේ පසෙකට දැමීම හා කරන බව පෙන්වා නොකර සිටීම හා අදාළ පාර්ශ්වයන් මුලා කිරීම ප්‍රතිසංස්කරණවාදී ක්‍රමෝපාය වී ඇත. 1980 ගණන්වලදී ශ්‍රී ලංකාවට ආධාර ලබාදෙන ආයතන විසින් රාජ්‍ය සේවයේ හා රාජ්‍ය යාන්ත්‍රණයේ කළයුතු ව්‍යුහාත්මක වෙනස්කම් යෝජනා කළ ද ඒවා දේශපාලන න්‍යාය පත්‍රයන්ට යටවිය. ක්‍රමානුකූල කාර්යක්‍ෂම රාජ්‍ය සේවයක් ඇතිකිරීම සෑම මැතිවරණයකදීම පොරොන්දුවක් වුවත් ඒ සඳහා කටයුතු කිරීම බලයට පැමිණි පසු අමතක කර දමනු ලබයි. මෑතකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා එබඳු යෝජනා ඉදිරිපත් කරනු ලැබූවද, රජයේ ප්‍රතිචාරයන් විද්‍යාත්මක මානව සම්පත් කළමනාකරණ හා සැලසුම් ක්‍රමවේදයන්ගෙන් බැහැර වූ ඒවා වේ.

රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණ හෝ අවශ්‍ය ප්‍රමාණයට සීමා කිරීම සඳහා රජය මෑතක දී ගනු ලැබූ පියවරයන් ද එබඳු පැලැස්තර විසඳුම් වේ. පළමුව කළ යුතු වන්නේ ඒ සඳහා උසස් බුද්ධිමය සංවාදයක් තුළින් ඵලදායී න්‍යාය පත්‍රයක් සකස් කිරීමයි. විශේෂයෙන් ම රාජ්‍ය සේවය ප්‍රතිනිර්මාණය සඳහා අවශ්‍ය වන වෘත්තීමය ආයතනයක් හා ඒ සඳහා කුසලතා සහිත කණ්ඩායමක් යෙදවීම මෙබඳු කාර්යයන් සඳහා අවශ්‍ය සාධකයකි. එබඳු විධිමත් යොමුවක් නොමැතිව රාජ්‍ය සේවය ප්‍රමාණවත් පරිදි ප්‍රතිසංස්කරණය සඳහා විදේශ නිවඩු චක්‍රලේඛ ආදී තාවකාලික විසඳුම් මත රජය විශ්වාසය තබා ඇත. රජයේ කළමනාකාරිත්වය විධිමත් කිරීමක් සිදුවන බවක් නොපෙනේ. සාම්ප්‍රදායික චක්‍රලේඛ හරහා සිදුවන්නේ බලාපොරොත්තු ප්‍රතිඵලයට වඩා වෙනස් වූ ප්‍රතිඵලයකි.

එබඳු ප්‍රවේශයන් මත මහජන මුදල් වැයවීම පෙර පරිදිම සිදු වේ. ගතානුගතික වෘත්තීය සමිතිවල ගොදුරක් බවට රජයේ සේවය තවදුරටත් පත්වෙමින් තිබේ. කෙසේ හෝ රජයේ සේවය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව ප්‍රතිනිර්මාණය කිරීම තවදුරටත් දේශපාලන ග්‍රහණයේ හිරවී ඇති අතර ඒ මගින් ඇතිවන අහිතකර ප්‍රතිඵල පිළිබඳව ද තවදුරටත් රඳවා ඇත්තේ උදාසීන සබඳතාවකි.

| ජිනසිරි දඩල්ලගේ

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි

(දිවයින)